ළමා චෛතසික පීඩනයේ ඵලවිපාක
ළමයකුට බිලිඳු වියේ සිට ළමා අවදිය හා ගැටවර විය පසු කොට වැඩිහිටිභාවයට එළඹෙන තුරුම ආදරය, කරුණාව, දයාව මෙන්ම සහයෝගය, අවධානය හා සැලකිල්ල ඔවුන්ගේ චෛතසිකය, පෞරුෂත්වය සහ චර්යා රටාව හැඩගැන්වී මෙහිලා දැඩි බලපෑමක් හා කාර්යභාරයක් ඉටුකරන බව අප කවුරුත් පාහේ දන්නා කාරණාවකි. එමෙන්ම මෙහි අනෙක් පැත්ත — එනම්, හිංසාව අකාරුණික බව නොසැලකිල්ල ආදියද ඒ ආකාරයටම දැඩි එහෙත් ඍණ බලපෑමක් ඇති කරයි. ACE යොදාගනිමින් සිදුකල එක් අධ්‍යයනයකින් හෙළි වූයේ විෂාදයෙන්(depression) පෙළෙන කාන්තාවන් අතරේ දළ වශයෙන් සියයට 54ක් සහ සියදිවි හානි කර ගැනීමට තැත් කරන කාන්තාවන්ගෙන් 58% ළමා වියේ අයහපත් අත්දැකීම් වලට සම්බන්ධ බවයි. ((Felitti & Anda, 2009) — Child Wellfare Information Gateway).
ළමා වියේදී නිරන්තර තාඩන පීඩනවලට ලක්වීම, ඊට ගොදුරු වන්නන්ට විපත්තිදායක ප්‍රතිඵල ගෙන එයි. මෙය, විශේෂයෙන්ම චෛතසික ළමා පීඩනයේ පැහැදිලි ඵල විපාකයකි. තවද එලෙස මානසික පීඩාවට පත් අය වැඩිහිටියන් ලෙස පුළුල් සමාජයට එක් වීමේදී ඔවුන්ගෙන් සමාජයට එල්ල වන බලපෑම ද අහිතකරය. දැන් අපි චෛතසික හෙවත් මානසික හිංසාව හේතුවෙන් ළමයා තුළ ඇති වන අහිතකර බලපෑම් කිහිපයක් ගැන සැලකිල්ල යොමු කරමු.
- නිරන්තරයෙන්ම බියෙන් සහ ශෝකයෙන් පසුවන ළමුන්ට නිසියාකාරව ආහාර ගැනීමට නොහැකිය. මෙය ඔවුන්ගේ නිසියාකාර වර්ධනයට අහිතකර ලෙස බලපායි. එවැනි ළමුන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වීම සහ වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑම් සුලබ අත්දැකීමකි.
- චෛතසික හිංසනය ළමයකුගේ මානසික වර්ධනය අඩාල කිරීමෙහිලා බලපාන ප්‍රධාන සාධකයකි. එවැනි අයගේ බුද්ධිය හීන වීම ස්මරණ ශක්තිය දුර්වල කිරීමට ද හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ගැටලු හා රෝගාබාධ ඇතිවීමට ඉඩ තිබේ.
- නිවසේ හෝ පාසලේදි නිරතුරුව හිංසනයට ලක්වන ළමයා පූර්ණ චිත්තවේග පූර්ණ පරාසය(full range of emotions) අත්විඳීමට හෝ ප්‍රකාශයට පත්කිරීමට අසීරු වෙයි. චිත්තවේග පාලනය කිරීමේදී ද(controling their emotions) ඔවුහු දුර්වලකම් දක්වති. මෙයට හේතුව, ඔවුන්ගේ චිත්තවේගී වර්ධනය අඩාල වීම නිසා සාමාන්‍ය ළමයෙකු මෙන් සිතීමට හෝ හැඟීම් ඇතිකරගැනීමට ඔවුන් අපොහොසත් වීමයි.
- මෙවැනි මානසික හිංසනයට පත්වන ළමයි චර්යාමය ගැටලු එකක් හෝ කිහිපයකටම ගොදුරු වීමේ අවදානම වැඩිය. ගැටලු අතර ඉගෙනීමෙහි අපහසුතාවන්, අන් අය සමඟ සබඳතා පවත්වාගෙන යාමේ ප්‍රශ්න, සමජානුයෝජනයෙ දී(socializing) අපහසුතා ඇතිවීම මෙන්ම කලහ කාරි, ප්‍රචණ්ඩකාරී හා ආක්‍රමණශීලී චර්යාවන්ගෙන් යුක්තවීමේ ප්‍රවණතා දක්වති. එපමණක් නොව මේ තත්ත්වය අපරාධ සිදුකිරීම දක්වා වර්ධනය වීමටත් සහ වෙන කිසිවෙකු තබා තමන් ගැනම පවා තැකීමක් නොදැක්වීම කරා වැඩිදියුණු විය හැකිය.
මේ ආකාර බලපෑම් වලට අමතරව මානසික හිංසනයට ගොදුරු වන ළමුන් කෙරෙහි විවිධාකාරයෙන් වෙනත් බලපෑම් ද ඇතිවිය හැක.පර්ඩු සරසවියේ මෑතක සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ළමා වියේදී ශාරීරික හෝ මානසික හිංසනයට ලක්වූ විට වැඩිහිටියන් වශයෙන් පිළිකා රෝගය වැළඳීමේ වැඩි අවදානමකට ලක්වන බවයි. ළමා කාලයේ හිංසනයට ලක් වන අය මත්ද්‍රව්‍ය භාවිතයට මත්පැනට ලොල් වීමට ඇති අවස්ථා ද වැඩිය. කුඩා අවධියේදී හිංසනයට පත්වන ළමයින්, විධිමත් ආකාරයෙන් ප්‍රතිකාර කිරීමට ලක් නොවුවහොත් වැඩිහිටියන් වශයෙන් ඔවුන් ද ළමුන් පීඩාවට පත් කිරීමට ඇති ඉඩකඩ වැඩිය.
මෙහිහිදී නැගිය හැකි ප්‍රශ්නයක් වන්නේ ඒ ආකාරයෙන් ළමා වියේදී හිංසනයට පීඩාවට පත් ළමයින් කෙරෙහි ඇතිවන බලපෑම් වලින් ළමයා මුදා ගත නොහැකිද යන්නයි. එය පැහැදිලිවම කළ හැක්කක් බව විශේෂඥ මතයයි. එහි මුල් පියවර හිංසාවට පත් ළමයාට ඉන් ගොඩ ඒම පිණිස උපකාර කිරීමයි. ඊ ළඟ පියවර වන්නේ ළමයා හිංසාවට පත් කරන (දෙමාපිය, සහෝදරාදීන් ඇතුලු) හිංසකයන්ට ඉන් ගැලවීමට උපකාර වීමයි.
eschooltoday හි පළවන Your basic guide to emotional child abuse ලිපියෙහි Effects of emotional child abuse සහ HEALTHLINE වෙබඩවියේ Long-term effects of emotional abuse යන කොටස ඇසුරෙනි