මේස කොනක වැදීමක්, ක්‍රීඩා කරන විට සිදුවන වැටීමක්… මෙවැනි සුළු සිදුවීම් අපේ ජීවිතයේ සුලබය. ඒ මොහොතේ නොදැනුනත්, පසුදා උදෑසන සම මත දිස්වන දසුනෙන් අපට ඒ බව මතක් කර දෙයි: ඒ තැලුමකි. මුලදී රතු හෝ දම් පැහැයෙන් දිස්වන මෙම තැලුම, ක්‍රමයෙන් කොළ, කහ, සහ අවසානයේ දුඹුරු පැහැයට හැරී සම්පූර්ණයෙන්ම මැකී යයි. මෙම වර්ණ මාලාව ඇති කරන යාන්ත්‍රණය කුමක්ද?
තැලුමක් යනු කුමක්ද සහ එහි වර්ණ වෙනස් වන්නේ කෙසේද?
තුවාලයක් සිදුවන විට, සමට යටින් ඇති කේශනාලිකා (capillaries) නමැති කුඩා රුධිර නාල තෙරපී, එම ස්ථානයේ ලේ ගැලීමක් සිදුවිය හැකිය. තුවාලයේදී සම මතුපිට කැඩී ගියහොත් ලේ පිටතට ගලයි. නමුත් සමට හානියක් නොවූ විට, රුධිර සෛලවලට පිටවීමට තැනක් නැති නිසා ඒවා තුවාල වූ ස්ථානයේ එකතු වේ. මෙසේ සිර වූ රුධිරය නිසා තැලුම මුලදී රතු හෝ රෝස පැහැයෙන් දිස්වේ.
මෙම වර්ණ වෙනස් වීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය මෙසේය:
- කළු සහ නිල්: කේශනාලිකාවලින් පිටතට පැමිණි පසු, රතු රුධිර සෛලවල ඇති හිමොග්ලොබින් (hemoglobin) වල ඔක්සිජන් ඉවත් වේ. එම නිසා තැලුම කළු හෝ නිල් පැහැයක් ගනී.
- කොළ: වැඩි වේලාවක් යන්නට මත්තෙන්, ප්‍රතිශක්තිකරණ සෛල (immune cells) එම ස්ථානයට පැමිණ සෛලීය සුන්බුන් ඉවත් කිරීමට පටන් ගනී. මෙම සෛලවල ඇති එන්සයිම, හිමොග්ලොබින් බිඳ දමා බිලිවර්ඩින් (biliverdin) නමැති කොළ පැහැති වර්ණකයක් බවට පත් කරයි.
- කහ: ඉන්පසුව, බිලිවර්ඩින් තවදුරටත් පරිවෘත්තීය වී බිලිරුබින් (bilirubin) නමැති කහ පැහැති අපද්‍රව්‍යයක් බවට පත් වේ.
- දුඹුරු: දින කිහිපයකට හෝ සති කිහිපයකට පසු, අවසානයේ ඉතිරි වන්නේ හිමොග්ලොබින්වල තිබූ යකඩ (iron) සංඝටකයයි. එමගින් තැලුම දුඹුරු පැහැයෙන් දිස් වේ.
සෑම තැලුමක්ම එක වගේ නොපෙනෙන්නේ ඇයි?
තැලුම් වර්ණ වෙනස් වීම පිළිබඳ පොදු අවබෝධය මෙය වුවද, ඒවායේ පෙනුමට සහ හඳුනා ගැනීමට බලපාන සාධක රාශියක් ඇත. තුවාලයේ ගැඹුර, එම ස්ථානයේ ඇති මේද ප්‍රමාණය, උෂ්ණත්වය, සහ විශේෂයෙන්ම සමේ පැහැය ඒ අතර ප්‍රධානය.
“තැලුම්වල වර්ණ පිළිබඳ අපගේ සම්භාව්‍ය අවබෝධය පැමිණෙන්නේ සුදු පැහැති සම (Caucasian skin) ඇසුරෙන්,” යැයි ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලයේ අධිකරණ හෙද නිලධාරිනියක සහ තැලුම් පිළිබඳ විද්‍යාඥවරියක වන කැතරින් ස්කැෆයිඩ් (Katherin Scafide) පවසයි. “ඉතින්, පැහැදිලිවම, ඉතා අඳුරු සමක් ඇති කෙනෙකුගේ අලුත් තැලුමක් රතු හෝ නිල් පාටින් පෙනෙන්නේ නැහැ. එය එකම ආකාරයේ වර්ණ වෙනස්වීමකට ලක්වන්නේ නැහැ.”
සමට පැහැය ලබා දෙන මෙලනින් (melanin) වර්ණකය පිහිටා ඇත්තේ තැලුම් ඇතිවන ස්ථරයට මදක් ඉහළිනි. මෙලනින් සාන්ද්‍රණය අනුව තැලුමක පෙනුම සහ එය හඳුනාගැනීමේ නිරවද්‍යතාවය වෙනස් විය හැකිය. “යමක් නොපෙනුන පමණින්, එහි කිසිවක් නැතැයි අදහස් නොවේ,” ස්කැෆයිඩ් අවධාරණය කරයි.
අයිස් තැබීමෙන් සුවය ඉක්මන් වේද? 🧊
අලුත් තැලුමකට අයිස් තැබීමෙන් එය ඉක්මනින් සුව වන බවට පොදු මතයක් ඇත. නමුත් පරීක්ෂණවලින් පෙනී යන්නේ වෙනත් දෙයකි. සීතල උෂ්ණත්වය මගින් රුධිර වහනය සීමා කරන නමුත්, එමගින් රුධිර සංසරණයද අඩු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, තුවාලය සුව කිරීමට අවශ්‍ය සෛල සහ ජෛව අණු එම ස්ථානයට පැමිණීමද අඩාල වේ.
“තුවාලයක් වූ විට අප ඉදිමීම අඩු කිරීමට අයිස් තබනවා, එය කෙටි කාලීනව ඉතා හොඳයි. නමුත් ඔබ ඕනෑවට වඩා අයිස් භාවිතා කළහොත්, සුව වීමට වැඩි කාලයක් ගත විය හැකියි,” ස්කැෆයිඩ් පවසයි.
තැලුම් හඳුනාගැනීමේ නව තාක්ෂණය
ස්කැෆයිඩ් දැනට තැලුම් හඳුනාගැනීමේදී ඇතිවන පක්ෂග්‍රාහීත්වය අඩු කිරීමේ ක්‍රම පිළිබඳව පර්යේෂණ කරයි. එහිදී ඇය ප්‍රධාන වශයෙන් විකල්ප ආලෝක ප්‍රභව (alternate light sources) කෙරෙහි අවධානය යොමු කරයි.
තැලුමක විවිධ අවස්ථා වල ඇති සෑම වර්ණකයකටම අනන්‍ය වූ ආලෝක අවශෝෂණ වර්ණාවලියක් ඇති අතර, ඒවා ආලෝකය පරාවර්තනය කරන්නේ විවිධ ආකාරයෙනි. භාවිතා කරන ආලෝක ප්‍රභවය අනුව තැලුමක් වඩාත් කොළ හෝ නිල් පැහැයෙන් දිස්විය හැකිය. සුදුසු තරංග ආයාමයකින් යුත් ආලෝකය භාවිතා කිරීමෙන්, තැලුම දැකීම වළක්වන පරාවර්තනය වන ආලෝකය ඉවත් කර, හඳුනාගැනීමේ නිරවද්‍යතාවය වැඩි කළ හැකි බව ස්කැෆයිඩ් පෙන්වා දෙයි. ඇය සහ ඇගේ කණ්ඩායම තැලුම් 2,903ක් පරීක්ෂා කළ පාලිත පරීක්ෂණයකදී, සුදු ආලෝකයට සාපේක්ෂව නිශ්චිත තරංග ආයාම සහිත ආලෝකය භාවිතා කිරීමෙන් තැලුම් හඳුනාගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
“අපගේ පවතින සම තක්සේරු කිරීමේ ක්‍රමයේ ඕනෑවට වඩා පක්ෂග්‍රාහීත්වයක් තිබෙනවා. අප වඩා හොඳ, වෙනස් ප්‍රවේශයන් සොයාගත යුතුයි,” ඇය පවසයි. මෙම ගැටලු විසඳීමට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) අනාගතයේදී අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇතැයි ස්කැෆයිඩ් විශ්වාස කරයි.
ආචාර්ය සහානා සීතාරාම් ද සයන්ටිස්ට් අඩවියට ලියූ ලිපියක් ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න