වයස්ගත වීම යනු අනිවාර්යයෙන්ම කායිකව දුබල වීම නොවේ. ප්‍රාථමික සෛල (Stem Cells) භාවිතයෙන් වයස්ගත වීමේදී සිදුවන කායික පසුබෑම යළි යථා තත්ත්වයට පත් කළ හැකි බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ.

සර්කෝපීනියා (Sarcopenia): වයසට යෑමේදී මාංශ පේශි ස්කන්ධය අඩු වී යාම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.

Cell Stem Cell සඟරාවේ පළ වූ නව පර්යේෂණයකට අනුව, ප්‍රාථමික සෛල මාත්‍රාවක් ලබා දීමෙන් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන ‘කායික දුබලතාව’ (Frailty) නමැති තත්ත්වය අවම කර, ඔවුන්ගේ ශාරීරික දරා ගැනීමේ ශක්තිය වැඩි කළ හැකිය.

මෙම පර්යේෂණයේදී වයස අවුරුදු 70 ත් 85 ත් අතර පසුවන, කායික දුබලතාවෙන් පෙළෙන වැඩිහිටියන් 148 දෙනෙකුට laromestrocel (දානය කරන ලද ඇට මිදුළු වලින් ලබාගත් Mesenchymal ප්‍රාථමික සෛල ප්‍රතිකාරයකි) විවිධ මාත්‍රාවලින් ලබා දී පරීක්ෂාවට ලක් කරන ලදී.

මාස නවයකට පසු, ඉහළම සෛල මාත්‍රාව ලබාගත් පිරිස සාමාන්‍ය මිනිත්තු හයක ඇවිදීමේ පරීක්ෂණයකදී, ප්ලේසෙබෝ (Placebo – ප්‍රතිකාරයක් නොවන සාමාන්‍ය එන්නතක්) ලබාගත් පිරිසට වඩා සාමාන්‍යයෙන් මීටර් 60ක් පමණ වැඩි දුරක් ඇවිදීමට සමත් වූහ. මෙය දළ වශයෙන් සියයට 20 ක දියුණුවකි.

“ප්‍රතිඵල විශ්මයජනකයි,” යැයි මෙම ප්‍රතිකාරය නිපදවන Longeveron සමාගමේ ප්‍රධාන විද්‍යා නිලධාරී වෛද්‍ය ජෝෂුවා හෙයාර් (Dr Joshua Hare) පවසයි.

“ඉන්ෆ්ලැමේජිං” (Inflammageing) සහ කායික දුබලතාව

කායික දුබලතාව යනු සාමාන්‍ය වයස්ගත වීමෙන් බලාපොරොත්තු වන මට්ටමට වඩා වැඩි අවදානම් සහගත තත්ත්වයකි. ආසාදන, වැටීම් හෝ ශල්‍යකර්ම වැනි ආතති තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව මෙහිදී දැඩි ලෙස දුර්වල වේ. බ්‍රිතාන්‍ය වයෝවෘද්ධ වෛද්‍ය සංගමයට අනුව, දැඩි ලෙස කායික දුබලතාවයෙන් පෙළෙන අයෙකු වසරක් ඇතුළත මිය යාමේ සම්භාවිතාව සාමාන්‍ය අයෙකුට වඩා පස් ගුණයකින් වැඩිය.

වෛද්‍ය හෙයාර් පවසන්නේ මෙයට හේතුව ජීව විද්‍යාත්මකව සිදුවන ප්‍රදාහය (Inflammation) බවයි. වයසට යෑමත් සමඟ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අසමතුලිත වන අතර, එමගින් සිරුර තුළ ‘සයිටොකයින්’ (Cytokines) නම් ප්‍රදාහකාරී අණු වැඩිපුර නිපදවයි. මෙම ක්‍රියාවලිය ඔහු “Inflammageing” ලෙස හඳුන්වයි.

මෙම අඛණ්ඩ ප්‍රදාහය නිසා රුධිර වාහිනී වලට හානි සිදුවන අතර, සිරුරේ ස්වභාවික ප්‍රාථමික සෛල සංචිත ක්ෂය වී මාංශ පේශි අහිමි වීම (Sarcopenia) වේගවත් වේ.

ප්‍රාථමික සෛල මගින් සිදුවන වෙනස

ඇට මිදුළු වල දක්නට ලැබෙන Mesenchymal ප්‍රාථමික සෛල වලට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇත. වැදගත්ම කරුණ නම්, මෙම සෛල බාහිරින් ලබා දීමේදී සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අවදානම ඉතා අවම වීමයි.

පර්යේෂණයේදී සෛල ලබාගත් රෝගීන්ගේ ඇවිදීමේ දුර ප්‍රමාණය වැඩි වූවා පමණක් නොව, ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් සහ චලන හැකියාවන් පිළිබඳ ඔවුන් කළ ස්වයං ඇගයීම් වලදී ද සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කළහ. පර්යේෂකයන් පවසන්නේ ප්‍රතිකාරය ලබාගත් පිරිසෙන් තුනෙන් එකක් “දුබලතාවයෙන් තොර” (Non-frail) තත්ත්වයට පත්වූ බවයි.

මෙය දුබලතාවය නැවැත්වීම සඳහා මෙතෙක් ලැබී ඇති ප්‍රබලතම වෛද්‍ය සාක්ෂියක් බව ලොන්ජෙවිටි ඉනිෂියේටිව් (The Longevity Initiative) හි අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්ඩෘ ස්ටීල් පවසයි.

අනාගත මාවත

මෙම ප්‍රතිකාරය සිරුර තුළ ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. සමහර විට මෙම සෛල සිරුරේ අවශ්‍ය ස්ථාන කරා ගොස් නව සෛල නිර්මාණය කරනවා විය හැකිය. නැතහොත් වයස්ගත වීමට එරෙහි අණු නිකුත් කරමින් සිරුරේ පවතින සෛල ප්‍රබෝධමත් කරනවා විය හැකිය.

කෙසේ වෙතත්, මෙය සාමාන්‍ය සායනික භාවිතයට පැමිණීමට නීතිමය බාධාවන් පවතී. දැනට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වැනි ආයතන ‘කායික දුබලතාව’ (Frailty) යනු නිශ්චිත රෝගයක් ලෙස පිළිගන්නේ නැත. එබැවින් මෙම ඖෂධය පළමුව ඇල්සයිමර් (Alzheimer’s) රෝගය සඳහා අනුමත කරවා ගැනීමට පර්යේෂකයන් උත්සාහ කරයි.

වෛද්‍ය හෙයාර් පවසන පරිදි, පසුගිය වසර 120 තුළ මිනිස් ආයු කාලය දෙගුණ වී ඇතත්, අප නිරෝගීව ජීවත් වන කාලය (Healthspan) ඒ හා සමානව වැඩි වී නැත. මෙම නව සොයාගැනීම් හරහා මිනිසුන්ට තම ජීවිතයේ අවසාන භාගය රෝගී නොවී, ක්‍රියාශීලීව ගත කිරීමට මාවත විවර වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending