ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ විවරණයක්

විශ්වාසයෙහි (Trust) තීරණාත්මක ආකාර දෙකක් පවතී. පළමුවැන්න නම් නීතියේ ආධිපත්‍යය සහ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි විධිමත් ආයතන කෙරෙහි පවතින විශ්වාසයයි. නීතිය පිළිබඳව පොදු අවබෝධයක් ජනතාව තුළ තිබිය යුතු අතර, රජය එම නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට සහතිකයක් ඔවුන්ට තිබිය යුතුය. දෙවන ආකාරය නම් “සමාජ ප්‍රාග්ධනය” (social capital) ලෙස හඳුන්වනු ලබන, මිනිසුන්ට එකට වැඩ කිරීමට ඉඩ සලසන අවිධිමත් සම්මතයන් (norms) කෙරෙහි පවතින විශ්වාසයයි. මෙම ආකාර දෙකම පදනම් වී ඇත්තේ සදාචාරාත්මක ගුණධර්ම මතය. රජයක අංග ලෙස පවතින ආයතන ස්ථාවර සහ ප්‍රශස්ත ලෙස පුරෝකතනය කළ හැකි කාර්මයක්ෂම මට්ටමක පවතින්නේ නම් ජනතාව රජය කෙරෙහි විශ්වාසය තබන අතර, පුද්ගලයන් වශයෙන් එකිනෙකා අවංක, විශ්වාසවන්ත සහ පොරොන්දු ඉටු කරන්නන් වන්නේ නම් ඔවුන් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබයි.
විශ්වාසය යනු කාලයත් සමඟ ගොඩනැඟෙන්නකි: පුරවැසියන් එකිනෙකා සමඟ ගනුදෙනු කරන්නේ නම්, ඔවුන් ස්වභාවිකවම අවංක සහ විශ්වාසවන්ත බව පෙන්වන අය සමඟ වැඩ කිරීමට යොමු වේ. විශ්වාසය වර්ධනය වන්නේ නැවත නැවතත් සිදු කෙරෙන අන්තර් ක්‍රියාකාරිත්වයන් (repeated interaction) හරහා පමණි.
නූතන ආර්ථිකයක සහ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක නිසි ක්‍රියාකාරිත්වය සඳහා සමාජ ප්‍රාග්ධනය සහ විධිමත් ආයතන කෙරෙහි පවතින විශ්වාසය යන දෙකම අත්‍යවශ්‍ය වේ. ආර්ථික සමෘද්ධිය ගොඩනැඟෙන්නේ රජය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට සහ ව්‍යාපාරික ආරවුල් සාධාරණ ලෙස විසඳන බවට පවතින විශ්වාසය මතය. සමාජ ප්‍රාග්ධනය විධිමත් ආයතන සඳහා ලිහිසි තෙල් (lubricant) මෙන් ක්‍රියා කරන අතර ව්‍යාපාරික ගනුදෙනු සුමටව පවත්වා ගැනීමට උපකාරී වේ. දේශපාලනයේදී, සමාජ ප්‍රාග්ධනය යනු පුරවැසියන්ට “සිවිල් සමාජය” ලෙස අප හඳුන්වන කණ්ඩායම් සහ සංගම් ලෙස එකට වැඩ කිරීමට ඉඩ සලසන බලවේගයයි. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් සිවිල් සමාජයක් මත රඳා පවතී: එවැනි තත්වයන් යටතේ පුරවැසියන් හුදකලා වූ පුද්ගලයන් නොවන අතර, පොදු අරමුණු සහ අවශ්‍යතා මගින් එක්සත් වූ කණ්ඩායම් ලෙස එකට ක්‍රියා කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.
සෑම සමාජයකටම ඉහළ මට්ටමේ ආයතනික විශ්වාසයක් හෝ පුරවැසියන් අතර පොදු විශ්වාසයක් හිමි නොවේ. දශක කිහිපයකට පෙර, සමාජ විද්‍යාඥ එඩ්වඩ් බැන්ෆීල්ඩ් (Edward Banfield) විසින් දකුණු ඉතාලියේ නගරයක් විස්තර කරමින් එය “සදාචාර විරෝධී පවුල්වාදය” (amoral familism) ලෙස නම් කරන ලද ලක්ෂණයෙන් යුක්ත බව පැවසීය. එවැනි සමාජයක මිනිසුන් විශ්වාස කළේ තම සමීපතම පවුලේ සාමාජිකයන් පමණි; ආගන්තුකයන් සැලකුවේ වියහැකි තර්ජනයක් ලෙස වන අතර ඔවුන්ව ඈත් කර තැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ඉතාලියේ බහුලව දක්නට ලැබුණු පාපන්දු සමාජ, පුවත්පත්, ස්වයං-සහාය සමිති, වෘත්තීය සමිති සහ අනෙකුත් සිවිල් සංවිධාන දකුණු ඉතාලියේ දක්නට නොලැබුණි.
දකුණු ඉතාලියේ සමෘද්ධිමත් වූ සංවිධාන දෙක වූයේ කතෝලික පල්ලිය සහ මාෆියාවයි. මාෆියාවේ බිහිවීම අවිශ්වාසයේ සෘජු ප්‍රතිඵලයක් විය: නීතියේ ආධිපත්‍යය දුර්වල වීම සහ රජය කෙරෙහි පවතින අවිශ්වාසය නිසා, ව්‍යාපාරික හවුල්කරුවන්ට ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට හෝ තම දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි විය. ඒ වෙනුවට ඔවුන්ට තම පාර්ශවයෙන් ප්‍රචණ්ඩත්වය පෙන්වා තර්ජනය කිරීමට “මාෆියෝසීන්” (Mafiosi) හෙවත් “ගෞරවනීය මිනිසුන්” (men of honor) භාවිතා කිරීමට සිදු විය. මෙවැනි පෞද්ගලික බලය ක්‍රියාත්මක කිරීම්, ආරක්ෂකයන් කප්පම්කරුවන් බවට පත්වීමත් සමඟ සමස්තයක් ලෙස වැඩි ප්‍රචණ්ඩත්වයකට මග පාදයි. මෙම රෝගී තත්වය දකුණු ඉතාලියේ පමණක් නොව ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශවල ද දැකගත හැකිය.
ඊට ප්‍රතිපක්ෂව, ඩෙන්මාර්කය සහ අනෙකුත් ස්කැන්ඩිනේවියානු රටවල් “ඉහළ විශ්වාසයක් ඇති” (high-trust) සමාජ ලෙස සැලකේ. එම විශ්වාසය පුරවැසියන් අතර තිරස් අතට මෙන්ම, පුරවැසියන් සහ රජය අතර සිරස් අතට ද විහිදී පවතී. මෙම කලාපයේ ජීවත් වන ඕනෑම අයෙකු දන්නා පරිදි ඕනෑම සමාජයක මෙන්ම මෙහි ද අපරාධ, දූෂණය, වංචාව සහ ද්‍රෝහී වීම් පවතී. නමුත් එම අහිතකර තත්වයන්ගේ සමස්ත මට්ටම, උදාහරණයක් ලෙස දකුණු යුරෝපයට වඩා බෙහෙවින් අඩුය.
මාගේ 1996 වසරේ ප්‍රකාශිත “Trust” (විශ්වාසය) නැමැති කෘතියේ මම එක්සත් ජනපදය ද “ඉහළ විශ්වාසයක් ඇති” සමාජයක් ලෙස හැඳින්වූයෙමි. එය මාගේ පුද්ගලික මතයක් පමණක් නොව, එක්සත් ජනපදය තුළ ඉහළ විශ්වාසයක් පවතින බව විදේශීය නිරීක්ෂකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සටහන් කර තිබූ කරුණකි. 1830 ගණන්වල එක්සත් ජනපදයේ සංචාරය කළ ප්‍රංශ ලේඛක ඇලෙක්සිස් ද ටොක්විවිල් (Alexis de Tocqueville), ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට ශක්තිමත් “සංවිධාන වීමේ කලාවක්” (art of association) සහාය දක්වන බව සඳහන් කළේය. එහිදී සාමාන්‍ය පුරවැසියන් විවිධ ක්ලබ්, අසල්වැසි සංගම් සහ ආගමික සංවිධාන ලෙස පහසුවෙන් එකට එකතු වූහ. මෙය ඔහුගේ මව් රට වූ ප්‍රංශයට වඩා හාත්පසින්ම වෙනස් වූ බවත්, ප්‍රංශයේදී පොදු අරමුණක් සඳහා ස්වයංසිද්ධව එකතු විය හැකි ප්‍රංශ ජාතිකයන් දස දෙනෙකු පවා සොයාගත නොහැකි වූ බවත් ඔහු පැවසීය.
දැන් මම එක්සත් ජනපදය “ඉහළ විශ්වාසයක් ඇති” සමාජයක් ලෙස හඳුන්වන්නේ නැත. 1990 ගණන්වල සිට ඇමරිකානු සමාජය තුළ වර්ධනය වන ධ්‍රැවීකරණයක් (polarization) අපි දකිමු. මෙම ධ්‍රැවීකරණය මුලින්ම ඇති වූයේ දේශපාලනික වශයෙන්, එනම් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ වෙනස්කම් මතය. පක්ෂ රේඛාවලින් ඔබ්බට ගොස් සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත අඩු විය. මෙම ධ්‍රැවීකරණය 2010 ගණන්වලදී තවදුරටත් ගැඹුරු වූ අතර එය සමාජ විද්‍යාඥයන් “ආවේදනාත්මක ධ්‍රැවීකරණය” (affective polarization) ලෙස හඳුන්වන තත්වයට පරිණාමය විය. මෙහි අර්ථය නම්, පක්ෂග්‍රාහී පිරිස් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් එකඟ නොවීම පමණක් නොව, තම විරුද්ධවාදීන් අතිශයින්ම ද්වේෂසහගත සහ වංක පිරිසක් ලෙස විශ්වාස කිරීමට පටන් ගැනීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැඟීමත් සමඟ රට එක්සත් කිරීමට හෝ සියලු ඇමරිකානුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයෙකු වීමට උත්සාහ නොකරන දේශපාලන නායකයෙකු අපට හමු විය; ඒ වෙනුවට ඔහු කළේ අවිශ්වාසය වපුරමින් තමන් සමඟ එකඟ නොවන ඕනෑම අයෙකු “මාක්ස්වාදීන්, උමතු පුද්ගලයන් සහ පිස්සන්” ලෙස නම් කරමින් යක්ෂාරෝපණය කිරීමයි.
සමාජ විශ්වාසයේ මෙම බිඳ වැටීම සිදු වී ඇත්තේ එක්සත් ජනපදයේ පමණක් නොව, එය තවත් බොහෝ රටවලට ද බලපා ඇත. එය “කුමන්ත්‍රණ න්‍යායන්” (conspiracy theories) ලෙස ප්‍රකාශයට පත් වේ: එනම් සමාජය තිරය පිටුපස සිටින රහසිගත ප්‍රභූ පිරිසක් විසින් හසුරුවන බවත්, ඔවුන්ගේ රහස් ගනුදෙනු හෙළිදරව් කළ යුතු බවටත් පවතින විශ්වාසයයි. මෙවැනි ජනතාවාදී (populism) රැල්ලක් ඇති වීමට සමාජීය සහ තාක්ෂණික සාධක ගණනාවක් බලපායි. බොහෝ සමාජවල විවිධත්වයෙන් යුත් විශාල නාගරික වැසියන් සහ ගම්බද වැසියන් අතර පැහැදිලි බෙදීමක් ඇති වී තිබේ. මෙය අධ්‍යාපන මට්ටම් මත පදනම් වූ තියුණු බෙදීමක් ද පිළිබිඹු කරයි. අධ්‍යාපනයක් ලැබූ නාගරික වැසියන් ලිබරල් පක්ෂවලට ඡන්දය දීමට නැඹුරු වන අතර, ජනතාවාදී ව්‍යාපාර සාමාන්‍යයෙන් ග්‍රාමීය සහ කුඩා නගරවල ඡන්දදායකයන් මත රඳා පවතී.
තාක්ෂණය ද මෙම ධ්‍රැවීකරණයට දායක වී ඇත. අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයේ ස්වභාවය වෙනස් කර ඇත. මීට පෙර ප්‍රභූන් විසින් පාලනය කරන ලද මාධ්‍ය නාලිකා කිහිපයක් මත විශ්වාසය තැබූ පුරවැසියන්ට දැන් ලෝකයේ ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගත හැකිය. තොරතුරුවල ගුණාත්මකභාවය පාලනය කළ පෙරහන් (filters) දැන් බිඳ වැටී ඇති අතර, මෙය පොදු යථාර්ථයක් පිළිබඳ අවබෝධයක් නැති, එකිනෙකට වෙනස් සමාන්තර තොරතුරු විශ්වයන් බිහිවීමට හේතු වී ඇත.
ජාත්‍යන්තර සබඳතාවලදී ද විශ්වාසය ඉතා වැදගත් වේ. නීති ක්‍රියාත්මක කිරීමට ගෝලීය පාලකයෙකු නොමැති බැවින් ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය යනුවෙන් දෙයක් නැත. ජාත්‍යන්තර නීතිය නීතිමය ස්වභාවයට වඩා සම්මතයන් (normative) මත පදනම් වූවක් වන අතර, එහිදී සිදුවන්නේ අනෙකුත් රාජ්‍යයන් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන නීති සහ හැසිරීම් ප්‍රකාශ කිරීමයි. මෙය විශ්වාසය ඉතා වැදගත් කරුණක් බවට පත් කරයි: ගෝලීය පිළිවෙළ රඳා පවතින්නේ අවිධිමත් සම්මතයන් අනුගමනය කරමින් රාජ්‍යයන් තම අනාගත හැසිරීම් පුරෝකථනය කළ හැකි මට්ටමක පවත්වා ගැනීම මතය.
1945 සිට ගෝලීය ස්ථාවරත්වය පදනම් වී ඇත්තේ “වැළැක්වීම” (deterrence) මතය. මුල් කාලයේදීම වැටහුණු කරුණක් වූයේ න්‍යෂ්ටික අවිවලින් ආරක්ෂා වීම රටවලට ඉතා අපහසු බවයි. සාමය පවත්වා ගැනීමට හැකි වූයේ න්‍යෂ්ටික ප්‍රහාරයකට න්‍යෂ්ටික ප්‍රහාරයකින්ම ප්‍රතිචාර දක්වන බවට වූ විශ්වසනීය තර්ජනය නිසා පමණි. මෙම වැළැක්වීමේ ක්‍රමය සාම්ප්‍රදායික යුද්ධ සඳහා ද ව්‍යාප්ත වූ අතර, නේටෝ (NATO) සංවිධානයේ 5 වන වගන්තිය මගින් එය තහවුරු කරන ලදී: එනම් එක් සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් සියලුම රටවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමයි. ජාත්‍යන්තර තරඟකරුවන් සහ සතුරන් ඔබේ වටිනාකම් විශ්වාස කළ යුතු නැත, නමුත් ඔබ ආක්‍රමණයකට එරෙහිව විශ්වාසදායක ලෙස බලය භාවිතා කරනු ඇතැයි ඔවුන් විශ්වාස කළ යුතුව තිබුණි.
ෆ්‍රැන්සිස් ෆුකුයාමා – Persuasion පුවත් ලිපියෙන්




ප්‍රතිචාරයක් ලබාදෙන්න