ට්‍රම්පීය වර්ගයේ දේශපාලනය ගැන ෆුකුයාමාගේ විවරණයක්.

විශ්වාසයෙහි (Trust) තීරණාත්මක ආකාර දෙකක් පවතී. පළමුවැන්න නම් නීතියේ ආධිපත්‍යය සහ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි විධිමත් ආයතන කෙරෙහි පවතින විශ්වාසයයි. නීතිය පිළිබඳව පොදු අවබෝධයක් ජනතාව තුළ තිබිය යුතු අතර, රජය එම නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට සහතිකයක් ඔවුන්ට තිබිය යුතුය. දෙවන ආකාරය නම් “සමාජ ප්‍රාග්ධනය” (social capital) ලෙස හඳුන්වනු ලබන, මිනිසුන්ට එකට වැඩ කිරීමට ඉඩ සලසන අවිධිමත් සම්මතයන් (norms) කෙරෙහි පවතින විශ්වාසයයි. මෙම ආකාර දෙකම පදනම් වී ඇත්තේ සදාචාරාත්මක ගුණධර්ම මතය. රජයක අංග ලෙස පවතින ආයතන ස්ථාවර සහ ප්‍රශස්ත ලෙස පුරෝකතනය කළ හැකි කාර්මයක්ෂම මට්ටමක පවතින්නේ නම් ජනතාව රජය කෙරෙහි විශ්වාසය තබන අතර, පුද්ගලයන් වශයෙන් එකිනෙකා අවංක, විශ්වාසවන්ත සහ පොරොන්දු ඉටු කරන්නන් වන්නේ නම් ඔවුන් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබයි.

විශ්වාසය යනු කාලයත් සමඟ ගොඩනැඟෙන්නකි: පුරවැසියන් එකිනෙකා සමඟ ගනුදෙනු කරන්නේ නම්, ඔවුන් ස්වභාවිකවම අවංක සහ විශ්වාසවන්ත බව පෙන්වන අය සමඟ වැඩ කිරීමට යොමු වේ. විශ්වාසය වර්ධනය වන්නේ නැවත නැවතත් සිදු කෙරෙන අන්තර් ක්‍රියාකාරිත්වයන් (repeated interaction) හරහා පමණි.

නූතන ආර්ථිකයක සහ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක නිසි ක්‍රියාකාරිත්වය සඳහා සමාජ ප්‍රාග්ධනය සහ විධිමත් ආයතන කෙරෙහි පවතින විශ්වාසය යන දෙකම අත්‍යවශ්‍ය වේ. ආර්ථික සමෘද්ධිය ගොඩනැඟෙන්නේ රජය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට සහ ව්‍යාපාරික ආරවුල් සාධාරණ ලෙස විසඳන බවට පවතින විශ්වාසය මතය. සමාජ ප්‍රාග්ධනය විධිමත් ආයතන සඳහා ලිහිසි තෙල් (lubricant) මෙන් ක්‍රියා කරන අතර ව්‍යාපාරික ගනුදෙනු සුමටව පවත්වා ගැනීමට උපකාරී වේ. දේශපාලනයේදී, සමාජ ප්‍රාග්ධනය යනු පුරවැසියන්ට “සිවිල් සමාජය” ලෙස අප හඳුන්වන කණ්ඩායම් සහ සංගම් ලෙස එකට වැඩ කිරීමට ඉඩ සලසන බලවේගයයි. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් සිවිල් සමාජයක් මත රඳා පවතී: එවැනි තත්වයන් යටතේ පුරවැසියන් හුදකලා වූ පුද්ගලයන් නොවන අතර, පොදු අරමුණු සහ අවශ්‍යතා මගින් එක්සත් වූ කණ්ඩායම් ලෙස එකට ක්‍රියා කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.

සෑම සමාජයකටම ඉහළ මට්ටමේ ආයතනික විශ්වාසයක් හෝ පුරවැසියන් අතර පොදු විශ්වාසයක් හිමි නොවේ. දශක කිහිපයකට පෙර, සමාජ විද්‍යාඥ එඩ්වඩ් බැන්ෆීල්ඩ් (Edward Banfield) විසින් දකුණු ඉතාලියේ නගරයක් විස්තර කරමින් එය “සදාචාර විරෝධී පවුල්වාදය” (amoral familism) ලෙස නම් කරන ලද ලක්ෂණයෙන් යුක්ත බව පැවසීය. එවැනි සමාජයක මිනිසුන් විශ්වාස කළේ තම සමීපතම පවුලේ සාමාජිකයන් පමණි; ආගන්තුකයන් සැලකුවේ වියහැකි තර්ජනයක් ලෙස වන අතර ඔවුන්ව ඈත් කර තැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ඉතාලියේ බහුලව දක්නට ලැබුණු පාපන්දු සමාජ, පුවත්පත්, ස්වයං-සහාය සමිති, වෘත්තීය සමිති සහ අනෙකුත් සිවිල් සංවිධාන දකුණු ඉතාලියේ දක්නට නොලැබුණි.

දකුණු ඉතාලියේ සමෘද්ධිමත් වූ සංවිධාන දෙක වූයේ කතෝලික පල්ලිය සහ මාෆියාවයි. මාෆියාවේ බිහිවීම අවිශ්වාසයේ සෘජු ප්‍රතිඵලයක් විය: නීතියේ ආධිපත්‍යය දුර්වල වීම සහ රජය කෙරෙහි පවතින අවිශ්වාසය නිසා, ව්‍යාපාරික හවුල්කරුවන්ට ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට හෝ තම දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි විය. ඒ වෙනුවට ඔවුන්ට තම පාර්ශවයෙන් ප්‍රචණ්ඩත්වය පෙන්වා තර්ජනය කිරීමට “මාෆියෝසීන්” (Mafiosi) හෙවත් “ගෞරවනීය මිනිසුන්” (men of honor) භාවිතා කිරීමට සිදු විය. මෙවැනි පෞද්ගලික බලය ක්‍රියාත්මක කිරීම්, ආරක්ෂකයන් කප්පම්කරුවන් බවට පත්වීමත් සමඟ සමස්තයක් ලෙස වැඩි ප්‍රචණ්ඩත්වයකට මග පාදයි. මෙම රෝගී තත්වය දකුණු ඉතාලියේ පමණක් නොව ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශවල ද දැකගත හැකිය.

ඊට ප්‍රතිපක්ෂව, ඩෙන්මාර්කය සහ අනෙකුත් ස්කැන්ඩිනේවියානු රටවල් “ඉහළ විශ්වාසයක් ඇති” (high-trust) සමාජ ලෙස සැලකේ. එම විශ්වාසය පුරවැසියන් අතර තිරස් අතට මෙන්ම, පුරවැසියන් සහ රජය අතර සිරස් අතට ද විහිදී පවතී. මෙම කලාපයේ ජීවත් වන ඕනෑම අයෙකු දන්නා පරිදි ඕනෑම සමාජයක මෙන්ම මෙහි ද අපරාධ, දූෂණය, වංචාව සහ ද්‍රෝහී වීම් පවතී. නමුත් එම අහිතකර තත්වයන්ගේ සමස්ත මට්ටම, උදාහරණයක් ලෙස දකුණු යුරෝපයට වඩා බෙහෙවින් අඩුය.

මාගේ 1996 වසරේ ප්‍රකාශිත “Trust” (විශ්වාසය) නැමැති කෘතියේ මම එක්සත් ජනපදය ද “ඉහළ විශ්වාසයක් ඇති” සමාජයක් ලෙස හැඳින්වූයෙමි. එය මාගේ පුද්ගලික මතයක් පමණක් නොව, එක්සත් ජනපදය තුළ ඉහළ විශ්වාසයක් පවතින බව විදේශීය නිරීක්ෂකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සටහන් කර තිබූ කරුණකි. 1830 ගණන්වල එක්සත් ජනපදයේ සංචාරය කළ ප්‍රංශ ලේඛක ඇලෙක්සිස් ද ටොක්විවිල් (Alexis de Tocqueville), ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට ශක්තිමත් “සංවිධාන වීමේ කලාවක්” (art of association) සහාය දක්වන බව සඳහන් කළේය. එහිදී සාමාන්‍ය පුරවැසියන් විවිධ ක්ලබ්, අසල්වැසි සංගම් සහ ආගමික සංවිධාන ලෙස පහසුවෙන් එකට එකතු වූහ. මෙය ඔහුගේ මව් රට වූ ප්‍රංශයට වඩා හාත්පසින්ම වෙනස් වූ බවත්, ප්‍රංශයේදී පොදු අරමුණක් සඳහා ස්වයංසිද්ධව එකතු විය හැකි ප්‍රංශ ජාතිකයන් දස දෙනෙකු පවා සොයාගත නොහැකි වූ බවත් ඔහු පැවසීය.

දැන් මම එක්සත් ජනපදය “ඉහළ විශ්වාසයක් ඇති” සමාජයක් ලෙස හඳුන්වන්නේ නැත. 1990 ගණන්වල සිට ඇමරිකානු සමාජය තුළ වර්ධනය වන ධ්‍රැවීකරණයක් (polarization) අපි දකිමු. මෙම ධ්‍රැවීකරණය මුලින්ම ඇති වූයේ දේශපාලනික වශයෙන්, එනම් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ වෙනස්කම් මතය. පක්ෂ රේඛාවලින් ඔබ්බට ගොස් සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත අඩු විය. මෙම ධ්‍රැවීකරණය 2010 ගණන්වලදී තවදුරටත් ගැඹුරු වූ අතර එය සමාජ විද්‍යාඥයන් “ආවේදනාත්මක ධ්‍රැවීකරණය” (affective polarization) ලෙස හඳුන්වන තත්වයට පරිණාමය විය. මෙහි අර්ථය නම්, පක්ෂග්‍රාහී පිරිස් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් එකඟ නොවීම පමණක් නොව, තම විරුද්ධවාදීන් අතිශයින්ම ද්වේෂසහගත සහ වංක පිරිසක් ලෙස විශ්වාස කිරීමට පටන් ගැනීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැඟීමත් සමඟ රට එක්සත් කිරීමට හෝ සියලු ඇමරිකානුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයෙකු වීමට උත්සාහ නොකරන දේශපාලන නායකයෙකු අපට හමු විය; ඒ වෙනුවට ඔහු කළේ අවිශ්වාසය වපුරමින් තමන් සමඟ එකඟ නොවන ඕනෑම අයෙකු “මාක්ස්වාදීන්, උමතු පුද්ගලයන් සහ පිස්සන්” ලෙස නම් කරමින් යක්ෂාරෝපණය කිරීමයි.

සමාජ විශ්වාසයේ මෙම බිඳ වැටීම සිදු වී ඇත්තේ එක්සත් ජනපදයේ පමණක් නොව, එය තවත් බොහෝ රටවලට ද බලපා ඇත. එය “කුමන්ත්‍රණ න්‍යායන්” (conspiracy theories) ලෙස ප්‍රකාශයට පත් වේ: එනම් සමාජය තිරය පිටුපස සිටින රහසිගත ප්‍රභූ පිරිසක් විසින් හසුරුවන බවත්, ඔවුන්ගේ රහස් ගනුදෙනු හෙළිදරව් කළ යුතු බවටත් පවතින විශ්වාසයයි. මෙවැනි ජනතාවාදී (populism) රැල්ලක් ඇති වීමට සමාජීය සහ තාක්ෂණික සාධක ගණනාවක් බලපායි. බොහෝ සමාජවල විවිධත්වයෙන් යුත් විශාල නාගරික වැසියන් සහ ගම්බද වැසියන් අතර පැහැදිලි බෙදීමක් ඇති වී තිබේ. මෙය අධ්‍යාපන මට්ටම් මත පදනම් වූ තියුණු බෙදීමක් ද පිළිබිඹු කරයි. අධ්‍යාපනයක් ලැබූ නාගරික වැසියන් ලිබරල් පක්ෂවලට ඡන්දය දීමට නැඹුරු වන අතර, ජනතාවාදී ව්‍යාපාර සාමාන්‍යයෙන් ග්‍රාමීය සහ කුඩා නගරවල ඡන්දදායකයන් මත රඳා පවතී.

තාක්ෂණය ද මෙම ධ්‍රැවීකරණයට දායක වී ඇත. අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයේ ස්වභාවය වෙනස් කර ඇත. මීට පෙර ප්‍රභූන් විසින් පාලනය කරන ලද මාධ්‍ය නාලිකා කිහිපයක් මත විශ්වාසය තැබූ පුරවැසියන්ට දැන් ලෝකයේ ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගත හැකිය. තොරතුරුවල ගුණාත්මකභාවය පාලනය කළ පෙරහන් (filters) දැන් බිඳ වැටී ඇති අතර, මෙය පොදු යථාර්ථයක් පිළිබඳ අවබෝධයක් නැති, එකිනෙකට වෙනස් සමාන්තර තොරතුරු විශ්වයන් බිහිවීමට හේතු වී ඇත.

ජාත්‍යන්තර සබඳතාවලදී ද විශ්වාසය ඉතා වැදගත් වේ. නීති ක්‍රියාත්මක කිරීමට ගෝලීය පාලකයෙකු නොමැති බැවින් ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය යනුවෙන් දෙයක් නැත. ජාත්‍යන්තර නීතිය නීතිමය ස්වභාවයට වඩා සම්මතයන් (normative) මත පදනම් වූවක් වන අතර, එහිදී සිදුවන්නේ අනෙකුත් රාජ්‍යයන් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන නීති සහ හැසිරීම් ප්‍රකාශ කිරීමයි. මෙය විශ්වාසය ඉතා වැදගත් කරුණක් බවට පත් කරයි: ගෝලීය පිළිවෙළ රඳා පවතින්නේ අවිධිමත් සම්මතයන් අනුගමනය කරමින් රාජ්‍යයන් තම අනාගත හැසිරීම් පුරෝකථනය කළ හැකි මට්ටමක පවත්වා ගැනීම මතය.

1945 සිට ගෝලීය ස්ථාවරත්වය පදනම් වී ඇත්තේ “වැළැක්වීම” (deterrence) මතය. මුල් කාලයේදීම වැටහුණු කරුණක් වූයේ න්‍යෂ්ටික අවිවලින් ආරක්ෂා වීම රටවලට ඉතා අපහසු බවයි. සාමය පවත්වා ගැනීමට හැකි වූයේ න්‍යෂ්ටික ප්‍රහාරයකට න්‍යෂ්ටික ප්‍රහාරයකින්ම ප්‍රතිචාර දක්වන බවට වූ විශ්වසනීය තර්ජනය නිසා පමණි. මෙම වැළැක්වීමේ ක්‍රමය සාම්ප්‍රදායික යුද්ධ සඳහා ද ව්‍යාප්ත වූ අතර, නේටෝ (NATO) සංවිධානයේ 5 වන වගන්තිය මගින් එය තහවුරු කරන ලදී: එනම් එක් සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් සියලුම රටවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමයි. ජාත්‍යන්තර තරඟකරුවන් සහ සතුරන් ඔබේ වටිනාකම් විශ්වාස කළ යුතු නැත, නමුත් ඔබ ආක්‍රමණයකට එරෙහිව විශ්වාසදායක ලෙස බලය භාවිතා කරනු ඇතැයි ඔවුන් විශ්වාස කළ යුතුව තිබුණි.

1945 වසරේ සිට ක්‍රියාත්මක වන වඩාත්ම වැදගත් ජාත්‍යන්තර සම්මතය වන්නේ, තවත් ස්වෛරී රාජ්‍යයක භූමිය සහ සම්පත් අත්පත් කර ගැනීම සඳහා බලය භාවිතා කිරීමට එරෙහි සම්මතයයි. මෙම සම්මතය මිලිටරි බලය භාවිතා කිරීමට එරෙහි පොදු සම්මතයට වඩා බෙහෙවින් ප්‍රබල වූ අතර, මෑතක් වන තුරුම එක්සත් ජනපදය ලොව පුරා විවිධ යුද්ධවල නිරත වෙමින් සහ මිලිටරි මැදිහත්වීම් සිදු කරමින් වුවද මෙම මූලධර්මය අනුගමනය කළේය. එක්සත් ජනපදය සිය ක්‍රියාවන් සාධාරණීකරණය කළේ ආරක්ෂක පියවරක් ලෙස හෝ අහිතකර දේශපාලන වෙනස්කම් වැළැක්වීමේ පදනම මතය. කොරියානු යුද්ධය සහ 1991 ගල්ෆ් යුද්ධය යන දෙකම සිදු කළේ භූමිය යටත් කර නොගත යුතුය යන මූලධර්මය තහවුරු කිරීමටය. වියට්නාම යුද්ධය කළේ උතුරු වියට්නාමය විසින් දකුණු වියට්නාමය අත්පත් කර ගැනීම වැළැක්වීමටය; ඇෆ්ගනිස්ථාන ආක්‍රමණය සිදු කළේ නිව්යෝර්ක් නුවර ද්විත්ව කුළුණු වෙත ප්‍රහාර එල්ල කළ අල්-කයිඩා තර්ජනය තුරන් කිරීමට වන අතර, 2003 ඉරාක යුද්ධය ආරම්භ කළේ ඉරාකය සතුව ඇතැයි අනුමාන කළ සමූලඝාතක අවි නැවැත්වීමටය. අවසානයේදී, මෙම බිය බොහෝ දුරට අතිශයෝක්තියට නැංවූ ඒවා බව ඔප්පු වුවද, එහි තිබූ ගැටලුව වැරදි විනිශ්චය මිස තමන්ගේ පටු වාසි හඹා යාම නොවේ.

මෙය අපව මෙම වසර මුලදී සිදු වූ සිදුවීම් සහ ග්‍රීන්ලන්තය (Greenland) අත්පත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ඉල්ලීම වෙත යොමු කරයි. මෙම පියවරේ විශේෂයෙන්ම කම්පනීය කාරණය නම්, එය කිසිදු ආත්මාරක්ෂක මූලධර්මයක් හෝ දේශපාලන වටිනාකම් ආරක්ෂා කිරීමක් මත සාධාරණීකරණය නොකිරීමයි. ඒ වෙනුවට, එය එක්සත් ජනපදයේ විශ්වාසවන්ත ගිවිසුම්ගත මිතුරෙකු වූ ස්වෛරී රටක භූමිය සහ සම්පත් සඳහා සිදු කළ නිරුවත් සහ ආත්මාර්ථකාමී කොල්ලයකි. මෙය, සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනයෙන් ඉරාකය මුදා ගැනීමෙන් පසු එහි තෙල් පාලනය එක්සත් ජනපදය විසින් අත්පත් කර ගත යුතුව තිබුණා යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ පවතින විශ්වාසයට අනුකූල වේ. මෙම මානසිකත්වය 19 වන සියවසේ අධිරාජ්‍යවාදී බලවතුන් අතර පැවති එකක් වුවද, භූමිය අත්පත් කර ගැනීමේ අභිලාෂයන් ලෝක යුද්ධ දෙකකට මග පෑදූ 20 වන සියවසේ මුල් භාගයේ ඛේදනීය ඉතිහාසයෙන් පසුව එය ලොවෙන් ඉවත් කර දමන ලදී.

අද වන විට, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ඔහුගේ දේශීය ප්‍රතිපත්තිය සමඟ අත්වැල් බැඳගෙන ඇත. ජනවාරි මාසයේදී නැවත බලයට පත්වීමෙන් පසු, ජනාධිපතිවරයා සිය බලතල සීමා කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති බොහෝ පාලන සහ සමබරතා (checks and balances) මඟහරිමින් විධායක නියෝග මගින් රට පාලනය කිරීමට උත්සාහ කර ඇත. වෙනත් වචනවලින් කිවහොත්, ඔහු ඒකාධිපතියෙකු වීමට වෙර දරන්නෙකි. ඒ හා සමානව, ඔහු ඇමරිකානු ජාත්‍යන්තර හැසිරීම් පිළිබඳ නීතිමය සහ සම්මත සීමාවන් නොසලකා හැර ඇත. ඔහු දැන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධී බව තීරණය කර ඇති බදු (tariffs), ලොව සෑම රටකටම පාහේ පනවා ඇත.

ජනාධිපති ට්‍රම්ප් අවස්ථා නවයකදී ඒකපාර්ශ්විකව බලය භාවිතා කර ඇති අතර, එහි උච්චතම අවස්ථාව වූයේ පෙබරවාරි 28 වන දින ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයයි. එසේ කිරීමේදී ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යුද්ධ සඳහා අවසර දීමේ වගකීම පැවරී ඇති එක්සත් ජනපද කොංග්‍රසය ද මඟ හැර ඇත. අනාගතයේදී ජාත්‍යන්තර තලයේ ඒකපාර්ශ්විකව කටයුතු කිරීමෙන් ඔහුව වළක්වන්නේ කුමක්දැයි මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් විමසූ විට, ඔහු පැවසුවේ “මගේම සදාචාරය” යනුවෙනි. ඔහුගේ සදාචාරය බොහෝ විට මාෆියා ලොක්කෙකුගේ සදාචාරයට සමාන බව පෙනී යන බැවින්, මෙය එතරම් සැනසිලිදායක කරුණක් නොවේ.

ග්‍රීන්ලන්තයට එරෙහිව කළ තර්ජන මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු අත්ලාන්තික් සබඳතාවයේ (North Atlantic relationship) ඉතිරිව තිබූ සියලු විශ්වාසයන් විනාශ කර දමා ඇත. එක්සත් ජනපදය නැවත කවදා හෝ විශ්වාස කළ හැකිද යන්න යුරෝපීයයන් තමන්ගෙන්ම විමසමින් සිටිති. මෙම අවස්ථාවේදී මා පවසන්නේ එහි පිළිතුර “නැත” යන්න බවයි.

මෙයට හේතු කිහිපයක් තිබේ. වඩාත්ම වැදගත් දෙය නම් රිපබ්ලිකන් පක්ෂය හඳුනාගත නොහැකි තරමට වෙනස් වී තිබීමයි. 2016 ට පෙර, එය නිදහස් වෙළඳාම, සීමිත රජයේ පාලනය, සංක්‍රමණිකයන් සඳහා විවෘතභාවය, මිත්‍ර පාර්ශවයන්ගේ ශක්තිමත් ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පිළිවෙළක් සඳහා කැප වූ පක්ෂයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැඟීමත් සමඟ, එය එක්සත් ජනපදය පිටත ලෝකයට වසා දැමීමට අවශ්‍ය “ඇමරිකාව ප්‍රථමයෙන්” (America First) යන න්‍යාය පත්‍රය වටා රොක් වී ඇත. ට්‍රම්ප් යුරෝපයේ සහ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා පුටින්ගේ රුසියාව, කිම් ජොන් උන්ගේ උතුරු කොරියාව සහ ෂී ජින්පිංගේ චීනය වැනි ඒකාධිපති පාලනයන්ට විවෘතව පක්ෂපාතී වී ඇත. ඔහු දේශීය විරුද්ධවාදීන්ට සතුරන් සහ ද්‍රෝහීන් ලෙස පහර දෙමින් එක්සත් ජනපදය තුළ විශ්වාසය පැහැදිලිවම පළුදු කර ඇති අතර, විරුද්ධවාදීන්ට පෞද්ගලිකව පහර දීම හරහා දේශපාලන කතිකාවේ ගුණාත්මකභාවය පිරිහීමට ලක් කර ඇත. විශ්වාසය රඳා පවතින්නේ අවංකභාවය සහ විශ්වාසවන්තභාවය යන සදාචාරාත්මක ගුණාංග මත බව මම කලින් සඳහන් කළෙමි. නමුත් පවසන සෑම වාක්‍යයකින්ම පාහේ නිර්ලජ්ජිත ලෙස බොරු පවසන නායකයෙකුට එවැනි ගුණාංග අමුත්තකි.

නේටෝ (NATO) සංවිධානයට ඇති ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීම සම්බන්ධයෙන් අනාගතයේදී ඇමරිකාව විශ්වාස කළ හැකි යැයි විශ්වාස කිරීම යුරෝපීයයන් කරන මෝඩකමක් වනු ඇතැයි මම සිතමි. මෙය නීතිමය කරුණක් නොව සදාචාරාත්මක කරුණකි: එක්සත් ජනපද ජනාධිපතිවරයා මිත්‍ර රටවලට සහාය දීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, එහි නීතිමය තත්ත්වය කුමක් වුවත් නේටෝවේ 5 වන වගන්තිය මළ මිනියක් හා සමාන වනු ඇත. යුරෝපයට තමන්ගේම ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම භාර ගැනීම හැර වෙනත් විකල්පයක් නැති අතර, වඩා ශක්තිමත් සාමූහික ක්‍රියාවන්ට ඉඩ සැලසෙන පරිදි නේටෝව සහ යුරෝපීය සංගමය යන දෙකම ප්‍රතිසංස්කරණය කළ යුතුය. ජෝ බයිඩන්ගේ තේරී පත්වීමත් සමඟ එක්සත් ජනපදය සිය පැරණි ස්වරූපයට පැමිණෙනු ඇතැයි යුරෝපීයයන් 2020 දී බලාපොරොත්තු වූ නමුත්, ට්‍රම්ප් පෙර මැතිවරණය පෙරළා දැමීමට උත්සාහ කර තිබියදී පවා 2024 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ව නැවත තේරී පත් කිරීමට ඇමරිකානු ඡන්දදායකයන් කටයුතු කළහ.

කෙසේ වෙතත්, මම වඩාත් සුබවාදී ස්වරූපයකින් මෙය අවසන් කිරීමට කැමැත්තෙමි. පසුගිය දශකය තුළ ආයතනවලට සිදු වූ හානිය නොතකා, ඇමරිකානු පද්ධතිය තුළ ඇති පාලන සහ සමබරතාවන් දිගටම ක්‍රියාත්මක වන බව මම විශ්වාස කරමි. මෙම පාලනයන්ගෙන් වඩාත්ම වැදගත් වන්නේ මැතිවරණයයි. එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ඇති බවටත්, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පමණක් නොව සෙනෙට් මණ්ඩලය ද නැවත අත්පත් කර ගනු ඇති බවටත් බොහෝ සාක්ෂි තිබේ. මෑතකදී පැවැත්වූ හංගේරියානු මැතිවරණයෙන් පෙන්නුම් කළේ ඡන්දදායකයින්ට පැහැදිලි තේරීම් කළ හැකි බවත් වික්ටර් ඕර්බන් වැනි ඒකාධිපති නායකයන් ප්‍රතික්ෂේප කළ හැකි බවත්ය. යුරෝපය පුරා ජනතාවාදී රැල්ලක් පැතිර යනු ඇතැයි පසුගිය වසරේ බොහෝ දෙනෙකු තුළ පැවති බිය සැබෑ වනු ඇතැයි මම විශ්වාස නොකරමි. යුරෝපීය අන්ත දක්ෂිණාංශිකයන් එකට තබා ගන්නා මැලියම් බවට පත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී නැත. දේශීය හා විදේශීය සිදුවීම් පිළිබඳ පාලනය ගිලිහී යන බව පෙනෙන, වයසට යන, මානසිකව පිරිහෙන 80 හැවිරිදි මිනිසෙකු සමඟ සමීපව බැඳී සිටීමට කිසිදු පක්ෂයක් කැමති නොවනු ඇත.

ජාත්‍යන්තර විශ්වාසය විහිදී යන්නේ දේශීයව පවතින ඉහළ විශ්වාසය පදනම් කරගෙනය. මෙහිදී ඩෙන්මාර්කයට වැදගත් නායකත්ව භූමිකාවක් ඉටු කළ හැකිය. ඩෙන්මාර්කයේ දේශීය ආයතනවල පවතින ශක්තිය අවසානයේදී යුරෝපය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ඵලදායී පාලනයේ බලකොටුවක් ලෙස එහි ස්ථානය සහතික කරන අතර එය අනෙකුත් බොහෝ රටවලට අනුගමනය කළ හැකි ආදර්ශයකි. “ඩෙන්මාර්කය වැනි තත්ත්වයට පත්වීම” (getting to Denmark), තම ආයතනවලට එල්ල වී ඇති වත්මන් ප්‍රහාරයෙන් මිදීමට උත්සාහ කරන ඇමරිකානුවන්ට ද ආශ්වාදයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ෆ්‍රැන්සිස් ෆුකුයාමා – Persuasion පුවත් ලිපියෙන්

Francis Fukuyama is the Olivier Nomellini Senior Fellow at Stanford University. His latest book is Liberalism and Its Discontents. He is also the author of the “Frankly Fukuyama” column, carried forward from American Purpose, at Persuasion.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending