චලනය වන වස්තුන් ගැන ශතක ගනනාවක් තිස්සේ අන් අය කළ නොයෙක් හැදෑරීම් විමසා බැලූ  නිවිටන් සියළුම ආකාරයේ චලිතයන්ගේ ස්වාභාවය විස්තර කරන සංයුක්ත නියාම කිහිපයක් අනාවරණය කළා. මේ කියන නියාම කිහිපය මොනතරම් සංසිද්ධීන් සංඛ්‍යාවක් විස්තර කිරීමට යොදාගත හැකිදැයි කිවහොත් ඒ මගින් ඇත්තටම පෙන්නුම් කරන්නේ ස්වාභාවධර්මයේ නියත නිශ්චිත හැසිරීම පිළිබඳ අදහස කෙතරම් ප‍්‍රබල සංකල්පයක්ද යන්නයි. චලිතය පිළිබඳ නිව්ටන්ගේ ඒ නියාම තුන ශ‍්‍රාස්ත‍්‍රීය භෞතික විද්‍යාවේ අඩිතාලම වශයෙන් සැලැකෙන අතර විද්‍යාවක් කෙබඳු දෙයක් විය යුතුද යන්නට දිය හැකි කදිම නිදර්ශනයක් වශයෙන්ද සැලකිය හැකියි.

නිව්ටන්ගේ නියාම වලින් කියන්නේ හුදෙක් කිසියම් පද්ධතියක් මත බල පවත්වන බලයන් වල හැසිරීම දැන වටහා ගැනීම තුළින් පමණක් එම පද්ධතියේ කිනම් ආකාරයක චලිතයන් ඇති විය හැක්කේද යන්න කල්තියා කිව හැකි බවයි. මේ නියාම තුන වෙන් වෙන් වශයෙන් විස්තර කළත් ඒවා ඇත්ත වශයෙන්ම කටයුතු කරන්නේ එකම ගියර පද්ධතියක ඇති ගියර තුනක් ලෙසටයි. විද්‍යාව හසුරුවන අනෙකුත් මූලික නියාම ධර්ම මෙන්ම චලිතය පිළබඳ නිව්ටන්ගේ මේ නියාමත් අපට පෙනෙන්නේ ඉතාමත් සරල සංකල්ප ලෙසටයි. එහෙත් ඒ නියාම වල සරල ස්වාභාවයට ඔබ්බෙන් පවතින විචක්ෂණභාවය හා පොහොසත්කම එතෙක් මෙතෙක් භෞතික විද්‍යාව හැදෑරූ ශීෂ්‍ය පරම්පරාවන් ගනණාවක් විසින් මනාව තහවුරු කරනු ලැබූ දෙයක්. නොඑසේ නම් නෙප්චූන් වටා චන්ද්‍රයන් භ‍්‍රමණය වන අකාරයේ සිට ඔබේ මෝටර් රථ ඇන්ජිම තුළ වායු පුපුරා දහනය වන ආකාරය දක්වා වු සෑම සංසිද්ධියක්ම ඒ නියාම මගින් විස්තර කළ හැකි වන්නේ කෙසේද?

පළමු වැනි නියාමය: වස්තුවක් මත යොදන කිසියම් බලයක් නිසා ඇතිවන වෙනසක් නොවන්නට සෑම වස්තුවක්ම එක්කෝ ස්වාභාවයෙන්ම නිශ්චලව පවතී, නැතහොත් ඍජුරේඛීය ඒකාකාර චලිතයකට ලක්ව පවතී.

බැලූ බැල්මටම ඉතා පැහැදිලි නිරවුල් කියමනක් ලෙස මෙය පෙනුනනද නිව්ටන් විසින් එතුළ සැඟවුණු සංකල්ප දෙකක් අඩංගු කර තිබෙනවා. ඉන් එක් සංකල්පයක් නම් ඉනර්ෂියා (inertia)  හෙවත් ‘අවස්ථිතියයි’. අවස්ථිතිය යනුවෙන් මෙතැනදී හඳුන්වන්නේ යෙදී සිටි කටයුත්තේම යෙදීසිටීමට වස්තුවක ඇති නිරන්තර ප‍්‍රවණතාවයයි. ඒ අනුව පෙරළෙන බෝලයක් දිගින් දිගටම පෙරළීමේ ප‍්‍රවණතාවයකිනුයි පවතින්නේ. භ‍්‍රමණය වන ග‍්‍රහ වස්තුවක් නොකඩවා භ‍්‍රමණය වීමේ ප‍්‍රවණතාවයෙනුයි හැසිරෙන්නේ. මේසයක් මත නිශ්චලව ඇති පොතක් එසේ නිශ්චලව සිටීමේ ප‍්‍රවණතාවයෙනුයි ඉන්නේ. කොටින්ම ‘අවස්ථිතිය’ යන්නෙන් අදහස් වන්නේ නිරතව හිටි දේ හැරෙන්නට වෙනත් දෙයක් කිරීමට ඇති අකමැත්තයි.

නිව්ටන්ගේ මේ මුල් නියාමයෙන් කියවෙන අනෙක් ප‍්‍රධාන කාරණය වන්නේ චලිතයේ වෙනස්කම් හිටිවන ඇතිවන ඒවා නොව කිසියම් බලයක් යෙදීම නිසා ඇතිවන ඒවා බවයි. පැන්සලක් මේසයකින් බිමට වැටීම, සුළං හැමීම, විළඳ පිපිරීම වැනි මේ සියලූම චලිතයන්ට හේතුව වන්නේ කිසියම් බලයක් යෙදීමයි. මෙවැනි උදාහරණ සිය ගණනක් ඔබේ දෛනික ජීවිතයේදී හමු විය හැකියි. කිසියම් වස්තුවක් හිටිහැටියේ ත්වරණයකට ලක්වෙයි නම් ඉන් අදහස් වන්නේ ඒ වස්තුව කිසියම් බලයකට හසුවී ඇති බවයි. ඒ අනුව හැම ක‍්‍රියාවක්ම පිටුපස ඇති ක‍්‍රියාපදය යම්කිසි බලයක් බව අපට කිව හැකියි.

එහෙත් මේ පළමුවෙනි නියාමයෙන් එකී බලයන් මොනවාද යන්නවත්, එකී බලයන් ඇතිවෙන්නේ කෙසේද යන්නවත් ඒ කියන බලයන් කුමන වර්ගයේ ඒවාද යන්නවත් කියවෙන්නේ නැහැ. ඇත්තටම බැලූවොත් පරමාණු කිහිපයක් එක්ව අණු වශයෙන් බන්ධනය කර තබා ගැනීමේ බලයන් මොනවාද යන්න විද්‍යාඥයන් සොයා දැනගත්තේ නිව්ටන්ගෙන් අවුරුදු දෙසීයක් පමණ ගතවුනාට පසුවයි. පරමාණුවක් තුළ ඇති න්‍යෂ්ථිය ඒකරාශිකර තබාගන්නේ මොනයම් බලයන් නිසාද යන්න නිශ්චිතව තේරුම් ගැනීමට අප තවමත් උත්සාහ කරනවා. ඒ කෙසේ වුණත් බලයක් යෙදෙන විට ඒනිසා සිදුවන්නේ කුමක්ද යන්න නිව්ටන්ගේ පළමුවැනි නියාමයෙන් අපට පැහැදිලිව කියා දෙනවා. වඩාත්ම වැදගත් දෙය එවැනි බලයන් ස්වාභාධර්මය තුළ ඇති බව අප වටහා ගන්නේ කෙසේද යන්න මේ නියාමයෙන් කියාදෙන එකයි. දෙවැනි නියාමය ගැන හෙට කතා කරමු.

One response to “ඕනෑම දෙයක් චලනය වෙන්නේත් නිශ්චලව ඉන්නේත් එයට ඕනෑ නිසා නොව ඒමත යෙදෙන බලයක් නිසයි”

විජිත වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending