අභ්‍යවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම 1 :අභ්‍යවකාශ ගවේෂණය

Posted by

අප බොහෝ දෙනාගේ විශ්වය මේ මිහිතලයෙහි හෝ නුබතලයෙහි අපට පෙනෙන, දැනෙන, ඇසෙන දෙයට සීමාවෙයි. එහෙත්, මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට, මිහිපිට සිටින නරයෙකුට බොහෝ කොට නොපෙනෙන විශ්වයක් චිත්ත රූපයට නගා ගැනීමටත් සිතියම් ගත කිරීමටත් දැන් අවස්ථාව උදා වී තිබේ.  රාත්‍රී අහසේ ග්‍රහතරු නිරීක්ෂණය තවදුරටත් පෘථිවියේ සිට කළ යුත්තක් නොවේ. විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබ ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථාන, අභ්‍යවකාශ, දුරේක්ෂ, අභ්‍යාවකාශ යානා සහ ග්‍රහලෝක මත බිම් සරන රෝවර් යානා මගින් අද අපට විශ්වය හෙළි කරන නව යුගයක් උදාකර දී ඇත. පසුගිය වසර 20 තුළ ලබාගෙන ඇති උත්කර්ෂණීය අභ්‍යාවකාශ රූප පිටුපස ඇති විද්‍යාත්මක කතාන්දර ගැන සොයා බැලීම මේ ලිපි පෙළෙහි අරමුණයි. අභ්‍යාවකාශ ගවේෂණයකිරීමට ඇති පෙළඹවීම කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රවණතා මෙන්ම අභ්‍යාවකාශ ගවේෂණයේ නිම් වළලු පුළුල් කිරීමේ දී ඇතිවන සීමාවන් ගැන ද අපි විමසා බලමු.

අභ්‍යාවකාශ ගවේෂණය

අප බොහෝ දෙනෙකුට අභ්‍යාවකාශ ගවේෂණය ගැන කතා කරන විට මතක් වන්නේ අභ්‍යාවකාශ චාරිකා, සඳ මතුපිට පා තැබීම ආදියයි. එහෙත් බොහෝ දෙනෙකුට අමතකව ගිය කාරණයක් ද ඇත. දැනට වසර 40 ක පමණ සිට කිසිම මිනිසෙකු චන්ද‍්‍රයා හෝ ඉන් ඔබ්බට ගමන් කිරිමට සමත් වී නැත. ඇයි ඒ? යන්න නිතැතින්ම නැගෙන ප්‍රශ්නයයි. හේතු විවිධය. අභ්‍යාවකාශ ගමන් වියදම් අධිකය. විශේෂයෙන්ම මිනිසුන් සහිත යානා අභ්‍යාවකාශ ගත කිරීමේ දී සැලකිල්ල යොමු විය යුතු කාරණා බොහෝයි. අභ්‍යාවකාශයේදී ආශ්වාස ප්‍රශ්වාස කිරිම සඳහා වාතය අවශ්‍යය. ආහාර වුවමනාය. විකිරණයෙන් ආරක්ෂා වීමද වැදගත්ය. ඒ අභ්‍යාවකාශ ගවේෂණයට වැදගත්වන කරුණු අතරින් කිහිපයකි.

අභ්‍යාවකාශ ගවේෂණ සම්බන්ධයෙන් මෑතක ප්‍රබෝධය වර්ධනය වූයේ 1960 ගණන්වලදීය. ඊට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ  ඇමරිකා එක්සත් ජනපදය (ඇ.එ.ජ.) සහ රුසියාව ඇතුළුව සෝවියට් දේශය අතර පැවති දේශපාලනික තරගකාරිත්වය හා ප්‍රතිවාදිකමයි. මිනිසෙකු හඳට යැවීම සඳහා එකල ඇමරිකාවට බලවත් උනන්දුවක් මෙන්ම පෙළඹවීමක්ද විය. එයට හේතුව සිය තරඟතරුවූ සෝවියට් දේශය ද හඳට යෑමට උත්සාහ දැරීමයි. අභ්‍යාවකාශ කටයුතු වෙනුවෙන් ඇමරිකාව විශේෂ ආයතනයක් (ඔව්, නාසා ආයතනය තමයි) පිහිට වූ අතර ඊට අරමුදල් සැපයීම 1966 වසරේ උපරිම මට්ටමකට ළඟා විය. එය ඇ.එ.ජ. අයවැයෙන් 4%ක් වූ අතර අද එය (එකලට වඩා විශාල) අයවැයකින් සියයට 0.5කි.

අභිප්‍රේරණය ගැන තවදුරටත් කතා කරන්නේ නම්, ගවේෂණය සඳහා චන්ද්‍රයාට ඔබ්බෙන් ඇති ඉලක්කය පැහැදිලිවම අඟහරු ග්‍රහයායි. එම ඉලක්කය සඳහා ඇති විද්‍යාත්මක පෙළඹවීම වඩාත් පැහැදිලිය. එමෙන්ම වැදගත් කමින් ද යුක්තය. සමස්ථ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පෘථිවියට වඩාත් සමාන අඟහරු ග්‍රහයාගේ පෘෂ්ටයයි. ඈත කාල‍යක ජිවීන් පිළිබඳ සාක්ෂිවලින් ගම්‍යවන වන්නේ ජීවය පොදුය යන කාරණයයි.

ඒ කෙසේ වුවත් අඟහරු ග්‍රහයා පිහිටා තිබෙන්නේ චන්ද්‍රයාට වඩා බොහෝ ඈතින්. අඟහරු බලා යන්නයි ආපහු එන්නයි එක පැත්තකට මාස හයක් ගත වෙයි. ඉතින්, අජටාකාශගාමීන් එපමණ කාලයක් විකි‍රණයෙන් ආරක්ෂා කර ගැනීම බලගතු ප්‍රශ්නයකි. යථාර්ථවාදීව ගණන් බැලුවොත්, මිනිසුන් සහිතව  සිදුකෙරෙන අඟහරු මෙහෙයුමකට ඩොලර් බිලියන 50ට වැඩියෙන් වැයවෙයි.

හැබැයි, මිනිසෙකු යවනු වෙනුවට රොබෝ විමර්ෂණ මෙහෙයුමක්  සිදුකිරීමෙන් විවිධ ප්‍රශ්න මගහරවා ගත හැකිවෙයි. කක්ෂගත බමන යානා (orbiters) සහ මතුපිට ගවේෂණයේ යෙදෙන රෝවර් යානා හෙවත් බිම් සරන යානා කොපමණ නම් දියුණුද, ඉදිරිගාමී ද කියතහොත්, එම ග්‍රහයා වෙත මිනිසෙකු යැවූ තරමට ම ඒවායින් ප්‍රතිඵල අ‍ත්පත් කර ගත හැකිය. මිනිසෙකු යවනවාට වඩා අඩු පිරි‍වැයක් යෙදවීමට හැකිවීමත් වඩාත් ආරක්ෂාකාරීවීමත් සැලසෙන වාසිය.

රතු ග්‍රහයා ලෙස හඳින්වෙන අඟහරු වෙත මෙතෙක් යවන ලද වඩාත්ම සංක්ලිෂ්ට (sophisticated) ගවේෂණ යානය ක්‍රි:ව: 2012 අගෝස්තුවේදී සාර්ථක ලෙස ගොඩ බස්සන ලදි. කියුරියෝසිටි (Curiosity) යනුවෙන් නම් කෙරුණු මෙකී සැරිසර විද්‍යාගාරය ප්‍රමාණයෙන් හා බරෙන් කුඩා මෝටර් රියකට සමයි. එහි කැමරා සහ වෙනත් උපකරණ ගණනාවක්ම අඩංගුය. න්‍යෂ්ටික බල ප‍්‍රභවයකින් ද සමන්විතය. අඟහරු ග්‍රහයා මත ජීවය ආරම්භවීමට හා පැවතීමට සුදුසු තත්ත්වයක් මෙයට කිසියම් කලකට පෙර තිබුණේ ද යන්න නිර්ණය කිරීම මෙහි ගවේෂණයේ මූලික අරමුණයි. කියුරියෝසිටි මෙහෙයුමේ සම්පූර්ණ පිරිවැය ඩොලර්  බිලියන 2.5කි.

කියු‍රියෝසිටි රෝවර් යානයෙහි උපරිම වේගය තත්පරයට අඟල් 1.5කි. එනම් පැයකට සැතැපුම් 0.1ක වේගයකි. මෙය ඉතා අඩු මට්ටමේ වේගයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. අපි පයින් ගමන් කරන වේගයටත් වඩා බෙහෙවින් අඩු වේගයකි. ‍එම ගවේෂණ යානයේ වේගය අඩුවීමට හේතුව කුමක්ද? අපි මේ මිහිපිට රථයක් පදවාගෙන යන්නේ නම් ගමන් මගෙහි බාධකයක් දුටුවොත් රථය (ක්ෂණිකවම තිරිංග තදකොට) ක්ෂණිකවම නතර කර ගත හැකිය. එහෙත් කියුරියෝසිටි යානය අඟහරු මත ධාවනය වීමේදි මෙලෙස ක්ෂණිකව නැවැත්වීමට නොහැකියි. මන්ද එය ගමන් කිරීම, නැවැත්වීම ආදි වශයෙන් ‍එය පාලනය කිරීම පෘථිවියේ සිට සිදු කළ යුතු බැවිනි. අඟහරු, පෘථිවියට ආසන්නම අවස්ථාවේ දුර කිලෝමීටර මිලියන 80 කි. ඔබ, අප දන්නා පරිදි ආලෝකයේ වේගය තත්පරයකට කිලෝමීටර් 300,000කි. ඒ අනුව ආලේක තරංගයක් අඟහරු සිට පෘථිවියට පැමිණීමට දළ වශයෙන් විනාඩි 4.5ක් පමණ ගතවේ. කියුරියෝසිටි යානයේ ‘වා කවුළුවෙන්’ පෘථිවියේ අපට පෙනෙන දර්ශනය අපට ලැබෙන්නේ විනාඩි 4.5 ප්‍රමාද වෙලයි. පෘථිවියේ සිට ආපසු යානයට පණිවුඩයක් යවන්නත් ඒ වේලාවම ගතවෙයි. ඉතින් රෝවර් යානය මහා ගලක හැප්පෙන්නට ගියොත් හෝ ආගාධයකට වැටෙන්නට යද්දී යානය නතර කරගැනීමට විනාඩි 9ක් පමණ ගතවෙන බව පෙනී යයි. එතකොට ප්‍රමාද වැඩියි. ඉතින් අඟහරු ලොවෙන් මුලින්ම හමුවන ප්‍රාණියා රිය අනතුරකින් මරුමුවට පත්වුණොත් එය කොයි තරම් නම් අභාග්‍යයක් වෙයිද?

මේ කාරණයෙන් එක් වැදගත් සාධකයක් ඉස්මතු වේ. එනම්, තාරකා විද්‍යාවේදී දුර කාලයට සමාන වේය යන්නයි. හිරු එළිය පෘථිවිය වෙත ළඟාවීමට විනාඩි 8ක් ගතවෙයි. පෘථිවිය  පිහිටා ඇත්තේ සූර්යාගේ සිට කිලෝමීටර් මිලියන 150කට ඈතින් බැවිනි. ඉතින් අපි දැන් හිරු දකින්නේ ඇත්තටම දැනට විනාඩි අටකට පෙර තිබූ හිරුයි. ආලෝකය ගමන් කිරිම අනුව දුර කීවොත් පෘථිවියේ සිට සුර්යයාට ඇති දුර ආලෝක විනාඩි 8යි. ඉතින්, හදිසියේ හිරු මිය ගියහොත් (බයවෙන්න එපා දැන්ම නම් එහෙම වෙන්නේ නැහැ) දහවල හිරු එළියේ ඉන්න අපි ඒ බව දැනගන්නේ විනාඩි අටකට පස්සෙයි. අනෙක් අතට අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතම පිහිටි ග්‍රහයා වන නෙප්චූන්ට ඇති කාල දුර අලෝක පැය 4කි. මෙය සාපේක්ෂව බැලුවොත් ඉතා සැලකිය යුතු දුරකි. එහෙත් එවැනි දුරස්ථ ප්‍රදේශවලට පවා  මානවයන්ගේ අභ්‍යාවකාශ යානා යැවිය හැකිය. ඇත්තටම, නාසා ආයතනය සියලුම ග්‍රහලෝක වෙත ගවේෂණ යානා යවා ඇත. ගොඩබස්වන්නේ නැතිව එමෙන්ම  කක්ෂගතව වටේ ගමන් කරන්නේ නැතිව ආසන්නයෙන් ගමන් කරන (flyby) වොයේජර් යානය 1989  දී නෙප්චූන් වෙත යැවුණු අතර එම ගමන සදහා වසර 12ක් ගතවිය. කාල දුර අනුව නෙප්චූන් ළඟට පිහිටා ඇති ප්ලුටෝ වාමන ග්‍රහයා (ක්‍රි:ව: 2006 වන තුරුම ග්‍ර‍හයෙකු ලෙස සැලකූණා) වෙත දුර ආලෝක පැය 4.5කි. වසර 9ක චාරිකාවකින් පසුව නිව් හොරයිසන් අසලසැරි(flyby) යානය 2015 දී ප්ලුටෝ ආසන්නයෙන් ගමන් කර ඒය පසුකර යෑමට නියමිතය.

අභ්‍යාවකාශ විපරම් හේතුවෙන් සෞර ග්‍රහ මණ්ඩලය පිළිබඳ අපේ වත්මන් දැක්ම වෙනස් වී ඇත. අඟහරු ග්‍රහයා ගැන පමණක් සලකා බැලුවොත් 1960 සිට මේ දක්වා විපරම් 50 ක් සිදුකොට ඇත. බමනයානා මගින් පුරාණ ජලමාර්ග ගැන හෙළි කළත් මෙතෙක් අඟහරු  වැසියෙක් හමු වී නැත. අතීතයේ ජලය තිබූ බවට සාක්ෂි තහවුරු කිරීම පිණිස බිම්සරන යානා මතු පිට පාෂාණ අධ්‍යයනය කරයි. මේ ආකාරයට අපට තව කෙතරම් ප්‍රමාණයක් අභ්‍යාවකාශය ඍජුවම විපරම් කළ හැකිද? පෘථිවි‍යන් ගමන් ඇරඹි මෙතෙක් වැඩිම දුරක් ගොස් ඇත්තේ වොයේජර් යානාවයි. දැන් ආලෝක පැය 17ක් දුර ගොස් සූර්යයාගේ බලපරාක්‍රමයෙන් ඈත්ව අන්තස්තාරීය මන්ඩියකට අතුළුවෙමින් සිටියි. එහි ගමන් වේගය රයිෆල් උණ්ඩයක වේගය මෙන් 17 ගුණයකින් වැඩිය. කෙසේ වෙතත් තාරකා අතර දුර අතිවිශාලය. අපට ළඟම තාරකාව වන ඇල්ෆා සෙන්ටෝරි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.3ක් ඈතිනි. ඒ සා දුරක් යෑමට වොයේජර් I යානයට වසර 76,000ක් ගතවෙයි. ඒ කියන්නේ ගවේෂණ යානයකින් පවා අපට මෑතක නම් තාරකාවකට ළඟාවිය නොහැකි බවයි.

 

A Visual Guide to the Universe ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. ලිපි පෙළෙහි දෙවැන්න ඉදිරි තතු කලාපයකින්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.