විදු නැන නුවණ – Science Literacy for All

අළුත් මානව ආදිතමයෙක් සොයා ගැනේ

අපේ පූර්වජයා හෙවත් ආදිමයා වන ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් ලූසීට අසල්වැසියෙක් හමුවෙලා!
ෆොසිල වාර්තා අනුව පෙනී යන්නේ, මානව ලක්ෂණ සහිත මුල්ම ජීවින් මෙයට වර්ෂ මිලියන හතරකට පමණ පෙර අප‍්‍රිකාවේ ජීවත් වූ බවයි. 1974 දී වර්තමාන ඉතියෝපියාවේ එෆාර්(Afar ) ත‍්‍රිකෝණයේ කැනීම්වලදී සොයා ගත් ෆොසිලය අනුව මුල් මානවයන් ජීවත්වන්නට ඇත්තේ වසර මිලියන 3.4 ට පෙරය. එෆාර් ත‍්‍රිකෝණයේ හඩාර්(hadar ) ප‍්‍රදේශයේ මීට වසර මිලියන 3කට පමණ පෙර සැරිසැරූ වසර 25 ක් පමණ වයස්ගත කාන්තාවකට අයත් ෆොසිලයක් ‘ලූසී’ යන නමින් ලොව ප‍්‍රකටය. මෙකී මුල්ම මානව විශේෂය හඳුන්වන සත්ව විද්‍යාත්මක නාමය වනුයේ ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් (Australopithecus afarensis)යන්නයි. මෙතෙක් හමුවී ඇති ෆොසිල පරීක්ෂාවේ දී පෙනී යන්නේ ඔස්ට‍්‍රලෝපිතිකස් විශේෂ කිහිපයක් සිට ඇති බවයි. මේ විශේෂ සියල්ල පොදුවේ හඳුන්වනු ලබන්නේ ඔස්ට‍්‍රලෝපිතිසීනයන්(Australopithecine) ලෙසටයි.
උතුරු ඉතියෝපියාවෙන් සොයා ගනු ලැබූ ෆොසිලගත හණු සහ දත් අයිති මානව ආදිමයා ලූසීගේ වර්ගයේ අය සිටි අවටම, සමාන කාලයක ජීවත් වන්නට වන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති. එහෙත් එය ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් ගෙන් වෙනස් වූ සුවිශේෂී විශේෂයකි. ඔස්ට‍්‍රලෝපිතිකස් ඩෙයිරමෙඩා (Australopithecus deyiremeda) යනුවෙන් නම් කර ඇති මේ විශේෂය මෙයට වසර මිලියන 3.5 ක් හෝ 3.3 කට කලින් ජීවත් වන්නට ඇතැයි සැලකේ. ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් ෆොසිලයන්ගේ වයස වසර 3.7 සිට මිලියන 3.0 ක් පමණ වේ. තවද, මේ නව හණු සහ දත් ෆොසිල සොයාගෙන ඇත්තේ ලූසිගේ ෆොසිල සොයා ගත් ප‍්‍රදේශයට කි.මී. 35 ක් තරම් ආසන්නයේය. ඒ අනුව මේ විශේෂ දෙක එකම කාලයක සමාන්තරව වසන්නට ඇතැයි සැලකුණත් බාගවිට මේ හණුවේ හා දත්වල අයිතිකරු ලූසීට මුන නොගැසෙන්නට ඉඩ ඇත්තේ ලූසී තරමක් පසුකලෙක ජීවත් වූ නිසාය.

ලුසීගේ අස්ථි කොටස් එකතුවක පැතිකඩක්

ලුසීගේ අස්ථි කොටස් එකතුවක පැතිකඩක්


‘Nature’ සඟරාවේ විස්තර පළකර ඇති නව සොයාගැනීම අනුව සිතා ගත හැක්කේ එකිනෙකට වෙනස් සුවිශේෂී හොමිනිඩායි විශේෂයන් (මානවයා ඇතුළු හොමිනිඩායි පවුලට අයිති ප‍්‍රිමේටයෝ. ඔවුන් වඩාත් ළංවන්නේ මිනිසුන්ට වඩා චින්පන්සින්ටය) ගණනාවක් මීට වසර මිලියන තුනකට වැඩි කාලයකට පෙර නැගෙනහිර අප‍්‍රිකාවේ ප‍්‍රදේශවල සැරිසරන්නට ඇති බවයි. කෙන්යාන්ත්‍රෝපස් ප්ලැටියොප්ස් (Kenyanthropus platyops) නම් තුන්වැනි විශේෂයක්ද මෙකී කාලවලම දැන් කෙන්යාව ලෙස හඳුන්වන ප‍්‍රදේශවල ජීවත්වූහ. ‘‘දැන් මතුවන ප‍්‍රශ්නය වන්නේ ‘හෝමෝ’ (Homo) ගණයට මග පෑදුනේ කුමන වර්ගයෙන්ද යන්නය’යි ඕහියෝහි ස්වභාවික ඉතිහාසය පිළිබඳ ක්ලීව්ලන්ඞ් කෞතුකාගාරයේ පාෂාණි ධාතු මානව විද්‍යාඥයකු වන යොහානස් පෝල් සෙලාසිි කියා සිටියි. නව සොයාගැනීම පිළිබඳව Nature සඟරාවට වාර්තා කරන ලද්දේ ඔහු ප‍්‍රමුඛ කණ්ඩායම විසිනි.
උතුරු ඉතියෝපියාවේ වොරැුන්සෝ-මිල්ලේ(Woranso-Mille) ප‍්‍රදේශයේ ගවේෂණයක යෙදුණු මේ පර්යේෂක කණ්ඩායම සිය ක්ෂේත‍්‍ර කටයුතු අවසන් කරන දිනයේ හමු වූ උඩ හා යටි හණුවෙහි එතරම් වැදගත් කමක් ඇතැයි එවේලේ නොසිතූහ. එහෙත් ඒ සොයා ගැනීම සමඟ ක්‍ෂේත‍්‍ර කටයුතු තව දුරටත් දීර්ඝ කෙරිණ. ලූසීගේ ෆොසිල සොයාගත් ස්ඵලයට (Site) ඇති සමීප බව සළකන විට මෙම හණුව ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් විශේෂයට අයත් වන්නට ඇතැයි ඔවුහු අනුමාන කළහ. එහෙත් වඩා තියුණු ලෙස පරීක්ෂා කිරීමේදී ඒවා ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් විශේෂයට හෝ කෙන්යාවේ තුර්කානා විල ආසන්නයෙන් සොයාගත් කෙන්යාන්ත්‍රෝපස් ප්ලැටියොප්ස් විශේෂයේ ෆොසිලවලට වඩා වෙනස්කම් ඇති බව පැහැදිලි විය. එහෙත්, තව දුරටත් තියුණු පරීක්ෂාවකට ලක් කරමින් වොරැුන්සෝ මිල්ලේ ප‍්‍රදේශයෙන් සොයාගත් මෙතෙක්් හඳුනා නොගත් විශේෂයක පාදයක ෆොසිල සමඟ ද සංසන්දනයක් සිදු කරන බව හේල්-සෙලායි පවසයි. එම විශේෂය, ලූසීගේ වර්ගයේ අයට වඩා වැඩි කාලයක් ගස් මත රැුදුණු පිරිසකි. ‘එවිට අපට නිශ්චිතවම මෙය සම්පූර්ණයෙන් නව විශේෂයකට අයත් බව කිව හැකිය’ යි ඔහු ප‍්‍රකාශ කරයි. එෆාර් භාෂාවෙන් ඩෙයිරමෙඩා (deyiremeda) යන්නෙහි තේරුම ‘සමීප’ හෝ ‘ඥාති’ යන්නයි.
මෙයට වසර මිලියන 3.5කට පමණ පෙර නැගෙනහිර අප‍්‍රිකාවේ හොමිනිඩ ගණනාවක්ම ජීවත් වූයේ යයි යන්න ගැන හේල්-සෙලායි පුදුම වන්නේ නැත. ඊට හේතුව, ඔවුන්ගෙන් පැවත එන්නන් වසර මිලියනයකට පසුවත් එලෙසම විවිධත්වයක් දක්වා ඇති හෙයිනි. ලන්ඩන් විශ්ව විද්‍යාල කොලිජියේ පුරා තත්ත්ව විද ්‍යාඥ(palaeontologist) ප්‍රෙඞ් ස්ප‍්‍රර් පෙන්වා දෙන්නේ ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් සහ ඔස්ට‍්‍රලෝපිතිකස් ඩෙයිරමෙඩා විශේෂ දෙකටම සමාන්තරව කල් ගෙවන්න හැකිවෙන්නට ඇත්තේ විශේෂ දෙක ආහාර, නිවහන සහ භූමි ප‍්‍රදේශ සඳහා සෘජුවම තරඟ නොකළ නිසාවෙන් බවයි. එම විශේෂ දෙකෙහි හණුවල හැඩය වෙනස් වීමෙන් පෙනී යන්නේ විශේෂ දෙකට එකිනෙකාට වෙනස් ආහාර ගැනීම සඳහා දත් හැඩ ගැසී තිබුණේය යන්නයි. එහෙත් මේ විශේෂ දෙක ගැන අවසන් නිගමනවලට ඒමට තරම් තොරතුරු තවම අත්පත් වී නැතැයි පෝල්-සෙලාසි කියා සිටියි.
Scientific American හි New Human Ancestor Discovered Near Fossil of “Lucy” ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: