පරිසර පද්ධති ගැන ලොකු කුඩා අප සැවොම වාගේ අසා දැන තිබෙනවාට සැකයක් නැත. ඒ දැනුම අපට ලැබී ඇත්තේ පොතපතින් විය හැකිය. එහෙම නැතිනම් පන්ති කාමරයේ දී හෝ වෙනත් ස්ථානයක දී විය හැකිය. මොකද පරිසර පද්ධති ගැන දැන කියා ගන්න එක පරිසර වේදීන්ට ම සීමා වී නැති නිසාවෙනි. ඒ කොහොම වෙතත් පරිසර පද්ධති ගැන තතු ගෙන එන විස්තරය සාම්ප‍්‍රදායානුකූල කතා කියන රටාවෙන් පටන් ගන්න අප කැමතියි.

ඔන්න ශාන්තිකර සාගර වෙරළ ඔස්සේ සාගරය තුළින් මුහුදු ඔටරයෙක් හෙවත් දිය බල්ලෙක් මතු වෙයි. ඔටරයා වට කොට ඇත්තේ (පොහොර සඳහා ද යොදා ගන්නා) කෙල්ප් නැමැති මුහුදු පැළෑටි කෙඳි ගොඩකි. ඔටරයා උඩුබැලි අතට මුහුදේ පාවෙමින් සිටියි. උගේ කුඩා අත්ලෙහි හිරකර තරමක ඉකිරියෙකු (sea urchin) තදින් අලවාගෙන සිටිනු ද පෙනේ. ඉකිරියන් තමයි ඔටරයන්ගේ හෙවත් දිය බල්ලන්ගේ ප‍්‍රියතම ආහාරය.

ඉකිරියන්ට ද ප‍්‍රියතම ආහාරයක් ඇත. ඒ තමයි කෙල්ප් නැමැති මුහුදු පැළෑටි වර්ගය. මුහුදු පත්ලෙහි පාෂාණ නිධි වල මුල් ඇදි වනාන්තර මෙන් කෙල්ප් වැඩෙයි. මෙකී කෙල්ප් වනාන්තර මාළුන් වැනි සාගර වාසී සතුන්ට ආරක්ෂිතව සැඟවී සිටීමට මෙන් ම බෝවීමට ද සුදුසු තැන් සපයයි. කෙල්ප් පැළෑටියේ දිය මත පාවෙන කොටසෙහි මුහුදු පක්ෂීහු ලැඟුම් ගනිති. වෙරළබඩ සිිටින කුඩා කකුළුවන් මෙන් ම කෘමීහු ද කෙල්ප් ප‍්‍රයෝජනයට ගනිති. වෙරළට ගසාගෙන විත් තැන්පත් වන දිරා ගිය කෙල්ප් ඔවුන්ගේ ආහාරය බවට පත්වෙයි.

ඉතින්, ඉකිරියන් කා දැමීමට ඔටරයන් නොමැති නම් ඒ නිසා පණ බේරාගන්නා ඉකිරියෝ කෙල්ප් තව තවත් ගිල දමති. ඉකිරියන් වැඩියෙන් කෙල්ප් පරිභෝජනයකිරීම  නම් සාගර වාසී සතුන්ට, පක්ෂීන්ට මෙන් ම කුඩා කකුළුවන්ට, කෘමීන්ට ද අසුභ ආරංචියක් වනු නොඅනුමානය. මුහුදු ඔටරයන් (දිය බල්ලන්), ඉකිරියන්, මත්ස්‍යයන්, කකුළුවන්, ජලය, පාෂාණ, ඔව් මුහුදු තීරය පවා එකම පරිසර පද්ධතියකට බැඳී පවතී. පරිසර පද්ධතියක්, සැතපුම් 1,600 දිගට දිවෙන  ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරය තරම් විශාල විය හැකි අතර ටෙරරියාවක් (terrarium  ගොඩබිම කුඩා සතුන් ඇති කර තබාගැනීම සඳහා සාදාගත් ස්ථානය) තරම් කුඩාවීමට ද පුළුවන. එනිසා පරිසර පද්ධතියක් යනු ශාක හා සත්වයන්ගේ මෙන් ම ඔවුන්ගේ භෞතික පරිසරයේ ද ස්වාභාවික  එකතුවකි. ස්වාභාවික ලෝකයේ ඇති සියල්ල පරිසර පද්ධතියකි. බොහෝ පරිසර පද්ධති තවත් පරිසර පද්ධතියකට එක්වේ. සෑම බියෝමයක් (තතු බලන්න) ඇතුළත විශාල මෙන් ම කුඩා පරිසර පද්ධති බොහෝමයක් පවතී. පරිසරයක් සමන්විත වන කොටස් වලට පරිසර පද්ධතියක් යයි කියනු ලබන්නේ හේතු සාධක ඇතිවය. මනාව ක‍්‍රියාත්මක වන යන්ත‍්‍රයක මෙන් පද්ධතියේ සියළු කොටස් එකිනෙක මත රඳා පවතී. ශක්ති හා ද්‍රව්‍ය නිරතුරුව කොටස් අතර චක‍්‍රීකරණය කෙරේ. එමෙන් ම එක් දෙයක වෙනසක් ඇති වූ කල එහි බලපෑම තරංගයක් සේ මුළු පරිසර පද්ධතිය පුරා පැතිරෙයි.

කොරල්පර මිහිමත වඩාත්ම සරු පරිසර පද්ධති අතරවේ
කොරල්පර මිහිමත වඩාත්ම සරු පරිසර පද්ධති අතරවේ

පරිසර විද්‍යාඥයෝ – ඒ කියන්නේ පරිසර පද්ධති ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්  – යහපත් පරිසරයක් යනු තුලනය වූ පරිසර පද්ධතියක් බව දනිති. ( අප පෙර  සඳහන් කළ) ඔටරයා, ඉකිරියා මෙන් ම කෙල්ප් පැළෑටි ද යන ජීවිහු එකී තුල්‍යතාව රැුක ගැනීම පිණිස කාර්ය භාරයක් ඉටු කරති.

පරිසර පද්ධති දෙවන කොටසින් පරිසර පද්ධතිය තුළ ආහාර ජාල ගැන හෙට කියවන්න

 

Kids discover හි  Ecosystems  ලිපිය ඇසුරෙනි

 

One response to “පරිසර පද්ධති”

Disni Nissanka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending