මේ ප්‍රශ්නය ලංකාවේ අප කාගෙන් හරි ඇහුවොත් ‘ඕකත් අහන්න දෙයක් ද මුහුදු වතුර ලුණු රස නේන්නම්’  වගේ පිළිතුරක් ‍තමයි ලැබෙන්නේ. ඒකේ ඉතින් ඇත්තකුත් තියෙනවා මොකද දූපතක ඉන්න අප කවුරුත් මුහුදු වතුර ලුණු රස බව කුඩා කාලයේ ඉඳලාම වගේ දන්න නිසා. ඒත් මුහුදු ජලය ලුණු රස ඇයි කියන්නේ ඇයිද කියන එකට නම් අප බොහොම දෙනෙකුට පැහැදිලි උත්තරයක් දෙන්න අපහසු තමයි. ඇත්තටම එහෙම වෙන්නේ ඇයි? අපි බලමු

සාගර ජලය ලුණු රස වන්නේ එහි ඛනිජ විශාල ප්‍රමාණයක් දියවී ඇති හෙයිනි. මේ ඛනිජ බොහෝ වෙලාවට හඳුන්වනු ලබන්නේ ලවණ ලෙසටය. ලෝකයේ සාගර පිහිටා ඇති ප්‍රදේශය අනුව ලවණ ප්‍රමාණය වෙනස් විය හැකි වුවත්, සාමාන්‍යයෙන් සාගර ජලය 3.5% පමණ ලවණවලින් සමන්විතය. සමකය අසළ සාගර ජලය වඩාත් ලුණු රස වන අතර පෘථිවියේ උතුරුකරයට වෙන්න සාගරවල ජලයෙහි සාපේක්ෂව ලුණු රසයෙහි අඩුවක් දැනේ.

සාගරවල ස්වාභාවික චලනය මගින් ඛාදනයවීමෙන් හා කැලතීමෙන් සාගර පතුලෙහි විශාල ප්‍රමාණයක් ඛනිජ තැන්පත්ව ඇත. ජලයෙහි සහ රැල්ලෙහි චලනය හේතුවෙන් සාගර පතුල ඛාදනය වෙද්දී ජලයෙහි ඛනිජ දියවෙන අතර එහි ලවණ ප්‍රමාණය වැඩිවෙයි. මෙලෙස තමයි සාගරය නිරන්තරයෙන්ම එහි ලවණතාව නැවත පූරණය කරගන්නේ. විල, ඇල, දොල, ගංගා ආදියෙන් සාගර‍ වෙත ගලා එන අධිධාවිතයන්ගෙන්(run-off)ද සාගරවල ලවණතාවයෙන් කොටසක් ලැබෙයි. පෙර කී ඇල, දොල, ගංගා වල ඇත්තේ මිරිදිය නිසා ඒවායින් ලුණු ජලය සාගරයට පිවිසෙන්නේ කෙසේ දැයි කෙනෙකුට කුකුසක් ඇති විය හැකි තමයි. ඒත් පුදුම වෙන්න එපා. සෑම විලකම, ගංගාවකම,මහා ගංගාවකම දිය වූ ලවණ ප්‍රමාණයක් අඩංගුයි. එහෙත් මේවායේ දිය වී ඇති ලවණ සාන්ද්‍රණය සාගරවල ඇති සාන්ද්‍රණයට වඩා බෙහෙවින් අඩුය. ඒ නිසා තමයි, ඇල දොල ගංගා ජලය සාපේක්ෂව ලුණු රස අඩු.

බොහෝ විල් තුළ ලුණු එකතුව ගොඩනැගීමට ඉඩක් නැත්තේ ඒවාට ගංගා, ගංඟිති වැනි පිටවීමේ මං ඇති නිසයි. මේ පිටවීමේ මං, සාගර වෙත ජලය ගලා යාමට අවසර ලබාදෙයි. එසේ ගලා යද්දී ජලය සමග ඛනිජ හා ලවණ ද රැගෙන යයි. අනෙක් අතට මළ මුහුද මෙවැනි පිටවීමේ මං නොමැති ජල කඳකට නිදසුන් ලෙස දැක්විය හැකිය. ඉතින්, මළ මුහුදට ගලා එන ඛනිජ ඉවතට යාමට අවස්ථාවක් නොලැබෙන්නේ සයුරට ඒවා ගලා යාමට පිටවීමේ මගක් නොමැති හෙයිනි. ඔය විදිහට, ඛනිජ පිටවීමට අවසරයක් නොමැතිව රැඳී තිබෙන නිසා මේ මිහිතලය මත වඩාත්ම ලවණතාව ඇති (ඒ කියන්නේ වඩාත්ම ලුණු  රසැති) ජලය ඇති තැන බවට පත්වෙයි. ඇත්තටම ගත්තොත් මළ මුහුදේ ජලයෙන් 35%ක්ම දිය වූ ලවණයි. මෙය සාගරවල ලවණ සාන්ද්‍රණය මෙන් දස ගුණයකට ආසන්නය(අප කලින් සඳහන් කළ පරිදි සාගරවල ලවණ සාන්ද‍්‍රණයේ සාමාන්‍යය 3.5 කි). ඉතින් මළ මුහුදේ ලවණ පිරි ජලය සතුන් බොහොමයකට මරණීයයි. ඒනිසා මළ මුහුදේ මසුන් හෝ වෙනත් මුහුදු සතුන් දැක ගත නොහැක. මළ මුහුදෙහි කටුක ජලයෙහි පැවතිය හැක්කේ බැක්ටීරියා හා ඇල්ගේ වර්ග  ස්වල්පයක් පමණයි. ඉතින් මේ මුහුදට මළ මුහුද යයි කීම පුදුමයක්යැ?

මළ මුහුදෙහි ජලය බිඳක් හෝ බීමට කෙනෙකුට සිතක් පහළ නොවුණත්, එහි දිය නෑම නම් සුවිශේෂී අත්දැකීමකි. මළ මුහුදෙහි අධික ලවණ සාන්ද්‍රණය නිසා එහි ජලයේ මිරිදියට වඩා බෙහෙවින් ඝනත්වය වැඩිය. මේ නිසා එහි ජලය මත පාවීම වඩා පහසුය. මළ මුහුදට නෑම පිණිස බැසීම ජලයට කිරල මූඩියක් දමනවයා බඳුය – උත්සාහයක් දරන්නේ නැතිවම එහි දිය මත පාවිය හැකිය. (විද්‍යාවේදී  මෙය හ\ුන්වන්නේ උත්ප්ලාවකතාව හෙවත් buoyancyයනුවෙනි) එම පාවෙන සුළු ස්වභාව කොපමණද කියතොත් මළ මුහුදෙහි පිහිනන්නට දිය තුළට ගිලීම අපහසුය.

di-ef_103b_lacmanitou

WONDEROPOLIS හි  Why Is the Sea Salty? ලිපිය ඇසුරෙනි

One response to “මුහුදු ජලය ලුණු රස ඇයි?”

  1. ඉතාම වැදගත් ලිපියක් තව තවත් මේ වගේ වැදගත් ලිපි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    කැමතියි

Kumara වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending