උතුරු ඇමරිකානු සුනඛයාගේ පරිණාමය, මෙයට වසර බිලියන 40 ට පෙර පැවති කාල පරිච්ඡේදයේදී ඇති වූ දේශගුණ විපර්යාසයට කෙළින්ම සමරූපීවන බව මෑතක සිදු කළ අධ්‍යයනයකින් සනාථ වෙයි. වන වදුලෙන් වැසී ගිය ප්‍රදේශ විවෘත තණබිම් බවට පරිවර්තනය වූයේ එකී වකවානුවෙහිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වාසභූමිවල ආනුශාංගික විපර්යාසයන්ට සුනඛයන් අනුවර්තනය වූයේ සුනඛයන්ට සිය ගොදුරු හඹා ගොසින් ඩැහැගැනීමට නව පරිසරයෙන් බල කෙරුණු නිසයි. මේ අධ්‍යයනයේදී විද්‍යාඥයෝ වසර මිලියන 40 ක් පැරණි ෆොසිල විශ්ලේෂණය කර බැලූහ. ඒ සුනඛ විලෝපියන්ගේ සහ දේශගුණ විපර්යාසයන් අතර සම්බන්ධයට අදාළව දැනට ඇති තොරතුරුවල හිඩැස් පිරවීමටය.
ශාක භක්ෂකයන් මෙන්ම විලෝපියන් ද දේශගුණයට සහ වාසභූමි වෙනස්වීම්වලට කෙළින්ම සංවේදීය යන අදහස ෆොසිල සාක්ෂි මගින් යළි තහවුරු වන බව ඇමරිකානු බ්‍රවුන් සරසවියේ පරිසර විද්‍යා හා පරිණාමීය ජීව විද්‍යා මහාචාර්ය ක්‍රිස්ටීන් ජානිස් කියයි. ‘මේ මතය තර්කානුකූල බව පෙනී ගියත් මීට පෙර එය පැහැදිලි කර තිබුණේ නැහැ.” මේ සම්බන්ධ තොරතුරු රැගත් අධ්‍යයන වාර්තාවක් නේචර් කොමියුනිකේෂන් (Nature Communications) සඟරාවේ පළ වූ අතර එහි ප්‍රධාන කර්තෘ ස්පාඤ්ඤයේ මලගා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Borja Figueirido සමග ජානිස්ද අධ්‍යයනයට සම්බන්ධව ක්‍රියා කළේය.
දළ වශයෙන් ගත් කළ මීට වසර මිලියන 40කට පෙර උතුරු ඇමරිකාව දේශගුණික වශයෙන් උෂ්ණගතියෙන් යුතු එමෙන්ම වන වදුලෙන් ගහන තැනක් විය. එකල සුනඛයන් කුඩා සතුන් වශයෙන් සිටි බව ෆොසිල වාර්තා දක්වයි. වර්තමානයේ අප දන්නා සුනඛයන්ට වඩා ඔවුන් සමාන වූයේ මුගටියන් වැනි සතුන්ටය. එසේම, එකල දිවීමට යෝග්‍ය වන පරිදි මේ විශේෂෙය් ඉදිරි ගාත්‍රා සකස් වී නොතිබුණි. එහෙත් වසර මිලියන කිහිපයකට පසුව පෘථිවියේ දේශගුණය සිසිල්වෙමින් විවෘත තණබිම ඇතිවීමට පටන් ගනිත්ම ඒ හා සමගාමීව සුනඛයන්ටද වෙනස්වීමට සිදු විය.
අධ්‍යයනයේදී පර්යේෂකයෝ, මෙයට වසර මිලියන 40ක සිට මිලියන 2 කාල පරාසයක් තුළ ජිවත්වූ සුනඛ විශේෂ 32 ක දත් සහ සහ වැලමිටි පරීක්ෂාවට ලක්කළහ. වෘක්ෂලතාදිය එළිපෙහෙළිවීම සහ සිය ගොදුර හඹා යාමට හැකියාව ඇති විලෝපියන් බවට සුනඛයන් පත්වේගෙන ඒම ඇතුළුව පැහැදිලි රටා පර්යේෂකයන්ට එහිදී හඳුනාගැනීමට හැකි විය. වැලමිටිවල වෙනස වඩාත් පැහැදිලිව දැකිය හැක්කේ, ප්‍රගණ්ඩාස්ථිය (humerus) යටිබාහුව හා සන්ධිවන අධෝභාගයේ ව්‍යුහය තුළය. ගොදුර අල්වාගෙන පොරබැදීමට සැකසී තිබූ ඉදිරිපස ගාත්‍රා එක දිගට දිවීමට යෝග්‍ය ආකාරයට පරිණාමය වීම මෙම ව්‍යුහාත්මක වෙනස්කමෙන් පෙන්නුම් කරයි. එමෙන්ම තෙතමනය සහිත කොළ රොඩු ගහන වන බිමෙහි මෙන් ෙනාව ගස් නැති සවානා තණබිම්වල ගල්කැට සහිත රළු වැලි මත පෙරලාගත් ගොදුරු ඉක්මනින් කා දැමීමේ අවශ්‍යතාව අනුව දත් ද වෙනස් කම් දක්වයි.

මෙම අධ්‍යයනය, ජානිස් මීට පෙර සිදු කළ පර්යේෂණ සමගින් ගත් කළ පැහැදිලිවන තවත් වැදගත් කාරණාවක් ඇත. හුදෙක් සිය ගොදුර හා එකට එක සරිලන කුසලතා වර්ධනයක් සහිතව විලෝපියන් පරිණාමය නොවේ. මුවන්, කුරංගයන්ට දිවීමේ හැකියාව වර්ධනය වන පලියටම විලෝපියන්ගේ ඉදිරිපස ගාත්‍රා ද වේගයෙන් දිවීම සඳහා වර්ධනය නොවේ. මේ යුගයේදී ශාක භක්ෂකයන් තුළ දිගු පාද පරිණාමනය වෙමින් පැවතිණි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන පරිදි නම් ගොදුරට ගන්නා විශේෂවල ව්‍යවච්ඡේදය හෙවත් සිරුරේ ව්‍යුහය වෙනස්වීමට වඩා දේශගුණික වෙනස්කම්වලින් වාසභුමි තුළ ඇතිවන වෙනස්කම්වලට විලෝපියන්ගේ පරිණාමය සම්බන්ධයි. එය තර්කානුකූලය. වන වදුලින් සහිත ස්ථානවල වාසය කරන කාලයේදී හඹාගොස් පැන ගොදුර අල්ලා ගැනීම පිණිස විලෝපියන්ගේ පරිණාමයක් වීමට ඉඩ නැත්තේ එවැනි පරිසරයක දී එවැනි කුසලතාවක් වැඩකට නැති අනවශ්‍යදෙයක් නිසාවෙනි. ‘’එළවාගෙන ගිහින් පැනලා ගොදුර අල්ලා ගන්නා එක කැලේ ගස් අස්සේ කරන්න පුළුවන් වැඩක් නොවෙයි. නිකං ගස්වල හැප්පෙන එක විතරයි’’ යනුවෙන් ජානිස් පවසයි.
පසුගිය වසර මිලියන 40 තුළ දේශගුණ වෙනස්කම්වලට ප්‍රතිචාර දක්වමින් විලෝපියන් පරිණාමනය වූණේ නම්, දැනට සිදුවන මානවයන් විසින් නිර්මිත දේශගුණ විපර්යාසයන්ටත් ඉදිරියේදී ද දිගටම ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ තර්ක කරති. දැනට මානවයන් අරඹා ඇති ක්‍රියාදාමයන් හේතුකොට ගෙන අනාගතයේදී ඇතිවිය හැකි ඵල විපාක ගැන පුරෝකතනය කිරීමට මේ අධ්‍යයන ප්‍රතිඵල ආධාර විය හැකිය.
‘අපි දැන් සොයා බලන්නේ මිනිසා මූලිකව ඇතිවුණු අනාගත වෙනස්කම් ගැනයි” ජානිස් කියා සිටී.
මහාචාර්ය Borja Figueirido සහ මහාචාර්ය ක්‍රිස්ටීන් ජානිස්ට අමතරව ස්පාඤ්ඤයේ මලගා විශ්වවිද්‍යාලයේ A. Mártin-Serra සහ ජාතික ඉතිහාසය පිළිබඳ ඇමරිකානු කෞතුකාගාරයේ Z.J. Tseng මෙම පර්යේෂණ වාර්තාවේ අනෙක් කතුවරුන්ය.
Brown University Fossil study: Dogs evolved with climate change ලිපිය ඇසුරෙනි