ගුරුත්වාකර්ණීය තරංග සොයාගැනීම තහවුරු කිරීම විද්‍යාව ලත් විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. එය මෙයට ශත වර්ෂයකට පෙර ඇලබට් අයින්සටයින් ගෙන් පටන් ගෙන විද්‍යා මතනිර්මාතෘවරුන්ගේ අචල විශ්වාසය සහ අප්‍රතිහත ධෛර්ය තුළින් උපයාගත් විශ්ව දායාදයක්. ුරුත්වාකර්ණීය තරංග ගැන සහ ඒවාෙය් වැදගත් කම ගැන පැහැදිලිකිරීමක් සඳහා මෙම තතු ලිපිය කියවන්න.
මෙයට හරියටම වසර 100 කට පෙර අයින්ස්ටයින් උපකල්පනය කළ අන්දමටම අභ්‍යවකාශ වස්තුන් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණය නිසා ගුරුත්වාකර්ෂණීය තරංග ඇති වනබව විද්‍යාඥයන් විසින් පසුගිය සතියේ නිශ්චය වශයෙන්ම සොයා දැනගත්තා. මෙතෙක් කළක් හුරු පුරුදු ආලෝක, අධෝරක්ත, පාරජම්බුල, රේඩියෝ ආදී වර්ණාවලී තරංගවල සීමාවන් තුළ සිට විශ්වය නිරීක්ෂණය කළ විද්‍යාඥයන්ට මින් පසු ගුරුත්වාකර්ෂණීය තරංග උපයෝගීකරගෙන මෙතෙක් කල් අපට නිරීක්ෂණය කළ නොහැකිවූ විශ්වයද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති. ගුරුත්වාකර්ෂණීය තරංග වලින් ක්‍රියාකරන මෙවලම් යොදාගැනීමෙන් විශ්වයේ ආරම්භක අවදිය දක්වාම වුවද නිරීක්ෂණය කරන්නත් පුළුවන් වේවි. ඒ අනුව ගුරුත්වාකර්ෂණීය තරංග වල පැවැත්ම සැබැවින්ම සොයා ගැනීම අභ්‍යවකාශ විද්‍යාවේ දැවැන්ත පිම්මක්.
ගිය සතියේ වොෂින්ටනයේ පැවැති පුවත්සාකච්ඡාවකදී මේ සොයාගැනීම අනාවරණය කළ ලිගෝ ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ඩේවිඩ් රීට්ස්හ් මෙසේ පැවසුවා.”අපි ගුරුත්වාකර්ෂණිය තරංග ඇති බව සොයාගත්තා. මුල්ම වරට විශ්වය ගුරුත්වාකර්ෂණීය තරංග ඔස්සේ අපට කතා කළා. එතෙක් අප හිටියේ බිහිරිවයි.″
ගුරුත්වාකර්ෂණීය තරංග යනු අවකාශකාල (space-time) ඇතිරිල්ලේ ඇතිවන කැළඹීම් වශයෙන් හැඳින්විය හැකියි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ පොදු නියාමයට අනුව අවකාශකාලය යනු ශුන්‍ය දෙයක් නොව සිව්මානයකින් යුත් අදෘෂ්‍යමාන ඇතිරිල්ලක් වැනි දෙයක්. එතුළ ඇති වස්තුන් එහාමෙහා වනවිට මේ ඇතිරිල්ල වැනි දෙයද ඇදීමට හැකිලීමට ලක්විය හැකියි. ගුරුත්වාකර්ෂණීය තරංග ඇතිවන්නේ මෙකී කැළඹීම් නිසායි. මෙය තේරුම් ගැනීමට මෘදු රබර් ඇතිරිල්ලක් මත ඇති ක්‍රිකට් බෝලයක් තරම් යකඩ බෝලයක් ගැන සිතන්න. යකඩ බෝලයේ බර නිසා රබර් ඇතිරිල්ල බොකු ගැසී යකඩ බෝලය අවට ඇතිරිල්ල වලයාකාර ස්වරූපයක් ගනී. මේ යකඩ බෝලයට නුදුරුව දෙහිගෙඩියක් තරම් කුඩා තවත් යකඩ ගෝලයක් තැබූ විට සිදුවන්නේ එය ලොකු යකඩ බෝලය වටා ඇති වලයාකාරය දෙසට ඇදී යාමයි. තාරකා ඇතුළු ආකාශවස්තුන් අතර ගුරුත්වාකර්ෂණයද ක්‍රියාකරන්නේ මේ අන්දමටමයි. මේ උදාහරණය අවකාශකාලය සම්බන්ධයෙන් හරියටම හරි නොවූවත් එමගින් බොහෝවිට අප ශුන්‍යයැයි සිතන අවකාශය ක්‍රියාකරන ආකාරය ගැන අදහසක් ඇතිකරගත හැකියි. ඒ අනුව ශුන්‍යයැයි අප අදහස් කරන දෙය හෙවත් අවකාශකාලය තරලයක්වැනි ද්‍රව්‍යක් වශයෙන් අපට පරිකල්පනය කළ හැකියි. එනිසා මේ අවකාශකාලයේ දී එකිනෙක කරා ත්වරණය වන ඕනෑම වස්තුවක් නිසා තරලයේ රැළිති ඇතිවිය යුතුයි. මෙසේ ඇතිවන කුඩා රැළිති ඇතිවූ සැනින්ම වියැකී යන නමුත් නියුට්‍රෝන්තාරකා හා කළු කුහර වැනි අතිශයින් දැවැන්ත අභ්‍යවකාශ වස්තු නිසා ඇතිවන රැළි හෙවත් ගුරුත්වාකර්ෂණීය තරංග පෘථිවිය දක්වාම පැතිර යාමට තරම්ම ප්‍රබලයි.
පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ ගුරුත්වාකර්ෂණීය තරංග සොයා ගැනීමට හේතුවූයේ දැවැන්ත කළුකුහර දෙකක් එකිනෙක කෙරෙහි ආකර්ෂණය වන අන්දම සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ නිසයි.
ප්‍රතිචාර 4ක්