දුර ඈත තාරකාවක්් වටා භ‍්‍රමණය වන ග‍්‍රහලෝකයක් විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබීමත් සමගම ආගන්තුක ජීවීන් සෙවිය යුතු ග්‍රහ ලැයිස්තුවේ මුලටම එම ග‍්‍රහලෝකය පැමිණ ඇත.
LHS 1140b යනුවෙන් හඳුන්වනු ලබන මේ ආගන්තුක ග‍්‍රහලෝකය අපේ පෘථිවිය මෙන්ම පාෂාණමය ග‍්‍රහයෙකි. එය අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 40 ක් තරම් දුරකින්, ඒ කියන්නේ අධික දුරකින් පිහිටා ඇති බවක් පෙනී ගියත් විශ්වීය භාෂාවෙන් සළකන කල ‘පාරේ අනික් කෙළවර’ තරම් දුරකි. එපමණක් නොව එය පිහිටා ඇත්තේ ධාරක තාරාවේ ’වාසයෝග්‍ය’ යයි සැලකෙන කලාපයකය(habitable zone of its parent star). එයින් හැඟී යන්නේ මේ ග‍්‍රහලෝකය මතුපිට ද්‍රව ජලය තිබීමේ විභවයක් ඇති බවයි. මේ නිර්ණායක සපුරාලන පෘථිවි සමාන ග‍්‍රහලෝක තවත් ගණනාවක් ම සොයා ගනු ලැබ ඇතද, එහෙත් අධ්‍යයනය සඳහා LHC 1140b තරම් ඉන් එකක්වත් උචිත බවින් පෙරමුණේ නොමැති බව ග‍්‍රහලෝකය සොයා ගත් විද්‍යාඥයෝ පවසති. එම ග‍්‍රහයා කක්ෂ ගත ගමන් කරන තාරකාවේ වර්ගය සහ ග‍්‍රහලෝකය පෘථිවියට දිශානත වීම ඊට හේතු වශයෙන් සැලකේ. එහෙයින් ජීවය පැවතිය හැකි දැයි සොයා බැලීමට එය යෝග්‍ය බවයි විද්‍යාඥයන්ගේ අදහස.
‘‘පසුගිය දශකය තුළ මා දුටු වඩාත්ම ප්‍රබෝධජනක බහීර් ග‍්‍රහයා (exoplanet) මෙයයි.’’ නව සොයා ගැනීම පිළිබඳ පර්යේෂණ වාර්තාවේ ප‍්‍රධාන කතෘ, හාර්වඞ් ස්මිත්සෝනියානු තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ ජේසන් ඩිට්මාන් පවසයි, ‘‘පෘථිවියෙන් ඔබ්බෙහි ජීවය ඇති බවට සෝදිසි කිරීම සඳහා මෙතරම් යෝග්‍ය ග‍්‍රහ වස්තුවක් ගැන අපට හිතා ගන්නවත් බැහැ.’’
ජීවය පැවතීම සඳහා මූලික සුදුසුකම් සපුරාලන බහීර් ග‍්‍රහයන් දහස් ගණනක් පසුගිය වසර 20 තුළ සොයා ගනු ලැබ ඇති අතර LHS 1140b ද ඒ මූලික අවශ්‍යතා සපුරාලීමට සමත්ය. (සෙනසුරු, බ‍්‍රහස්පති මෙන් වායුමය නොව පෘථිවිය මෙන් පාෂාණමය වස්තුවක් වීම, ධාරක තාරකාවේ සිට වාසයෝග්‍ය දුරකින් පිහිටා තිබීම ඉහතින් ද දක්වා ඇති පරිදි එම මූලීක අවශ්‍යතාය). LHS 1140b අපේ පෘථිවියේ විෂ්කම්භය මෙන් 1.4 ගුණයක් වන අතර ස්කන්ධය ගතහොත් පෘථිවිය මෙන් 6.6 කි. එය පාෂාණමය වන බවත් එමෙන්ම සුපිරි-පෘථිවියක් විය හැකි බවත් ඉන් හැඟවේ.
LHS 1140b වැනි බහීර් ග‍්‍රහයන් වාසයෝග්‍යය ද (නැතහොත් දැනටමත් වාසභූමි බවට පත්ව ඇත්ද) යන්න නිර්ණය කිරීම පිණිස විද්‍යාඥයන් තබන අනෙක් පියවර වන්නේ ඒවායේ වායුගෝල පිරික්සා බැලීමයි. වායුගෝලයක් මගින් ජීව ස්වරූපවලට අවශ්‍ය වන (පෘථිවිය මත ඔක්සිජන් හෝ කාබන්ඩයොක්සයිඞ් වැනි) අංගෝපාංග සැපයීමට හැකි අතර එමෙන්ම එහි ජීවය පවතින බවට සළකුණු වායුගෝලය තුළ ගැබ්විය හැකියි. (නිදසුනක් දක්වතොත්, පෘථිවිය මත මීතේන් වායුවෙන් බහුතරය නිපදවනු ලබන්නේ ජීව විද්‍යාත්මක ජීවීන් විසිනි). වායුගෝලය පිළිබඳව තව දුරටත් විපරම් කිරීමට LHS 1140b ග‍්‍රහයා විවිධ හේතූන් නිසා ඉතා උචිත බව ඩිට්මාන් ඇතුළු කණ්ඩායමේ අදහසයි.
මෙම ග‍්‍රහලෝකය මුලින්ම සොයා ගැනීම පිණිස භාවිත කෙරුනේ ‘සංක‍්‍රාන්ති ක‍්‍රමය’ යි (transit method). එනම්, තාරකාවකින් එන අලෝකය පිරික්සමින් එහි ප‍්‍රභාවෙහි සියුම් අඩුවීම් විද්‍යාඥයන් විසින් මැන බැලීමෙන් ඒ අඩුවීම් ඇති වන්නේ ග‍්‍රහයෙක්, තරුව ඉදිරියෙන් තරුව පසුකර යාමෙන්(සංක‍්‍රාන්තියකින්) සිදුවේ දැයි සොයා බැලීමයි. සමහර අවස්ථාවලදී දුරේක්ෂයකට (ටෙලස්කෝපයකට) ග‍්‍රහයාගේ වායුගෝලය හරහා එන තාරකාවේ ආලෝකයෙන් බිඳක් හෙවත් පොදක් හසු කර ගැනීමට හැකිවේ. එම ආලෝක පොද ග‍්‍රහයාගේ වායුගෝලයේ රසායනික සංයුතිය ගැන තොරතුරු හෙළි කරයි.
අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට අලෝක වර්ෂ 4.2 ක් පමණක් ඈතින් පිහිටි Proxima b අපට ආසන්නතම බහීර් ග‍්‍රහයායි. එහෙත් Proxima b වැනි පෘථිවි සමාන වාසයෝග්‍ය හැකියාව ඇති ග‍්‍රහයන් බොහොමයක සිය ධාරක තාරකාව සංක‍්‍රාන්ති කරනවා පෘථිවියේ සිට දැකගත නොහැකි වන අතර , ඒ නිසා මේ ආකාරයට ඒවායේ වායුගෝලය අධ්‍යයනය කළ නොහැක. LHS 1140b ස්කන්ධය යථාතථ්‍යව මැනීම ද එහි වායුගෝලය ගැන අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වෙතැයි ඩිට්මාන් පෙන්වා දෙයි. ග‍්‍රහලෝකය, එහි වායුගෝලය කෙතරම් තදින් රඳවාගෙන ඉන්නේ දැයි ස්කන්ධයෙන් දැන ගත හැකියි. සංක‍්‍රාන්ති ක‍්‍රමය භාවිත කරමින් විද්‍යාඥයන් උත්සාහ කරන්නේ ග‍්‍රහලෝක වායුගෝලය හරහා තාරකාලෝකය(starlight) එක්කාසු කර ගැනීමටය; වායුගෝලය ඝන වන්නට වන්නට එය හරහා ආලෝකය වැඩියෙන් ගමන් කරයි. එවිට එම වායුගෝලයෙහි ඇති විවිධ රසායනික මූලද්‍රව්‍ය වලින් නිකුත්වන සංඥා සොයා ගැනීම විද්‍යාඥයන්ට පහසුවේ. ඉහළ ස්කන්ධයක් සහිත ග‍්‍රහයෙකු සතුව වඩාත් ප‍්‍රබල ගුරුත්වයක් පවතී. එය තව දුරටත් වායුගෝලය සම්පීඩනය කරයි. තවද, විද්‍යාඥයන්ට සොයා ගත හැකි සංඥාවල ප‍්‍රමාණය අඩු කරයි.
“(ස්කන්ධය හා ගුරුත්වය යන) මේ දෙකෙන්ම සමාන බලපෑම් ඇතිවන හෙයින් දෙක එකිනෙකින් වෙන් කර ගැනීම අපහසුයි” ඩිට්මාන් පෙන්වා දෙයි, ‘‘ස්කන්ධය මැන බැලීම බොහෝ උපකාරී වෙන්නේ අපට ග‍්‍රහයා මත ස්කන්ධයෙහි බලපෑම දැන ගත හැකි නිසයි. ඊට ‘වැඩි’ යමක් වෙතොත් ඒ වලාකුළු හේතු කොටගෙනයි. ඒත් වලාකුළුවලට, වායුගෝලය හරහා එන ආලෝකය අවහිර කිරීමෙන් පහසුවෙන්ම සංඥාවල ප‍්‍රමාණය අඩු කරන්නත් පුළුවන් ’’ ඩිට්මාන් කියා සිටියි. (මේ ලිපියේ ඉතිරි කොටස හෙට තතු හි පළවේ).
Space.com හි පළවූ Newfound Alien Planet Is Best Place Yet to Search for Life යන ලිපිය ඇසුරෙනි
එක් ප්‍රතිචාරයක්