අප කුඩා කාලයේ අපේ ආතලා අත්තම්මලා හා වෙනත් වැඩිහිටියන් කියන කතා අහගෙන ඉන්න අප කවුරුත් පාහේ ආසයි. බොහෝ වේලාවට ඒ අය කියන්නේ ඒ අයගේ එහෙමත් නැතිනම් අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමාලාගේ කුඩා අවදි ගැන කතා, ඒ කාලේ රටේ තොටේ විත්ති ආදියයි. මේ කතා බොහෝ විට අවසන් වෙන්නේ ‘හානේ, කොච්චර නම් වේගයෙන් කාලය ගෙවිලා යනවාද?’ කියන ප‍්‍රශ්නයෙන් තමයි. ඒත් ඒ කතා,  අහගෙන ඉන්න වයස අවුරුදු හත අට වයස්වල ළමයින්ගේ අත්දැකීම හා ගැලපෙන්නේ නැහැ. ඒ අයට හිතෙන්නේ කාලය කොයිතරම් හෙමින් ගෙවනවාද කියලයි. පාසැල් ජීවිතය පටන් ගන්න පෙර නිවසේ සිට කාලය ගැන හිතන්නේ බොහෝ ඈත කාලයක ගත කළ එකක් වගෙයි. හැබැයි ඉතින් ඒ ළමයිම කාලය ගෙවී ගොස් විවාහ වෙලා තමන්ගේම ළමයි ලැබිලා ඒ ළමයි දෙස බලා සිටින්නේ මේ ළමයි කොපමණ නම් ඉක්මණට උස් මහත් වෙලාද කියලයි. ‘‘අද අන්ඩර් තර්ටීන් ටීම් එක කැප්ටන් කරාට ඊයේ පෙරේදා ඇඟේ චූ දාගෙන හිටපු කොලූවා නේ’’ වැනි කියමනින් තම පුතු ගැන සඳහන් කරන පියවරු ගැන ඔබත් දන්නවා ඇති.

මෙලෙස බලද්දී වයසට යනවිට අප කවුරුත් කාලය වේගයෙන් ගෙවී යන බවක් පවසන්නේ යයි පෙනී යයි. ඇයි එහෙම වෙන්නේ ? අපි ඒ ගැන මේ ආකාරයට පිළිතුරු දෙන්න බලමු. මේ කතාව පටන් ගන්න  ඕන කාලය පිළිබඳ අපේ සංජානනය මදක් පැහැදිලි කිරීමෙනුයි. කිසියම් මොහොතක දී අප කාලය අත්දකින අන්දමත්, අතීතය ගැන සිතන විට අපට එය මතක තිබෙන ආකාරයත්  අතර පෙනී යන අන්දමට වෙනසක් තිබේ. තමන් කරමින් සිටින කාර්යයෙහි  සම්පූර්ණයෙන් ඇළලී සිටින විට, කම්මැළිව ගත කරන විට දීට වඩා වේගයෙන්  කාලය ගත වන බවත් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති කාරණාවකි. තමන් ඉටු කරණ කාර්්‍යයෙහි කොපමණ නම් නිමග්නව  සිටීද යත් කාලය පිළිබඳ හැඟීම තමන්ට නොමැතිව යන්නේය යන  අත්දැකීම දැක්වෙන සංකල්පයක් මනෝ විද්‍යාඥ මිහාලි ඩික්සෙන්ට්මෙහි වැඩි දියුණු කර තිබේ. එය ඔහු හඳුන්වන්නේ ‘ගලායාම’(flow) යනුවෙනි.  වීඩියෝ කී‍්‍රඩාවල එහෙමත් නැතිනම් එක දිගට අවධානය යොමු කරගෙන සිටිය යුතු කාර්යයන්හි නිරත අය බොහෝ විට මේ අත්දැකීම විඳිති. ගැඹුරු කතා බහ, ක‍්‍රීඩාවන් වල යෙදීම හෝ උනන්දුවක් ඇති දෑ කියවීම මෙකී ‘ගලායාමේ’ අවස්ථාවඇති කිරීමට මග පෑදීය හැකියි.

කාංසියනැතිනම් කම්මැලිකම(boredom)   ගලායාමේ ප‍්‍රතිවිරුද්ධ අදහසයි. වෛද්‍යවරයෙකු  මුන ගැසීමට ගොස්  රෝගීන්ගේ නැවතීමේ ශාලාවෙහි බලා සිටි හෝ දුම්රියක් එනතුරු දුම්රිය ස්ථානයෙහි බංකුවක වාඩි වී බලා සිටි අවස්ථාවක්  සිහිපත් කරන්න. එවන් අවස්ථාවක පොත පතක් කියැවීම හෝ ප‍්‍රහේලිකාවක් විසඳීම වැනි ඔබ ප‍්‍රිය කරන වෙන යමකට ඔබේ අවධානය  සම්පූර්ණයෙන් යොමු කිරීමට නොහැක්කේ  කොයි වේලේ ඔබේ අංකය කතා කරාවිද යන්න අසා සිටීමට හෝ දුර ඈත දුම්රිය එනු දැක බලා ගැනීමට  ඔබ අවධානය යොමු කළ යුතු හෙයිනි. කම්මැළි හිතෙන වැඩක් වුනත්, මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ කාලය ගෙවී යාම ගැන අවධානය යොමු කිරීමට පටන් ගැනීමයි. සෑම මොහොතක්ම, සෑම විනාඩියක්ම ගැන සිත යොමු වෙයි. නිතර ඔරලෝසුව විමසුවද වේලාව යන්නේ බොහොමත් සෙමිනි. විනාඩියකට තත්පර 100 ටත් වැඩි වගේය.

එහෙත් ගත වූ කාල පරාසයක් ගැන හිතද්දී – අපි කියමු පසුගිය සතියක හෝ මාසයක කාලය කියලා – ඔබේ සිතට නගා ගන්නා කාල ෙඡ්දය තුළ සිදු වූ කැපී පෙනෙන සිදුවීම් සංඛ්‍යාව එම කාල ෙඡ්දය කොපමණ දීර්ඝ ද යන්න ගැන ඔබේ සංජානනය  කෙරෙහි බලපෑමක් ඇති කරයි. මේ ගැන තව දුරටත් පැහැදිලි කර ගනු වස්  අපි අළුත් නිවහනකට ගෙවදුණු  අවස්ථාවක් ගමු. බඩු පෙට්ටි ලිහා බලමින්, ලී බඩු හා වෙනත් දෑ නව නිවසේ තැන තැන තබමින්, ඡයාරූප එල්ලමින් ගත කරන විට කාලය ගෙවී යන්නේ, ‘විදුලි වේගයෙනි.’ සෑම දිනයක්ම අළුත් අත්දැකීම් හා අළුත් සිද්ධි වලින් ගහණය. අහළ පහළ ස්ථාන හා මාර්ග ගැන අවබෝධයක් ලබා ගත යුතුය. අසල් වැසියන් හඳුනා ගත යුතුය. අවශ්‍ය සේවා පහසුකම් ඇති තැන් සොයා ගත යුතුය. නිවස හා ගෙවත්ත තුළම වුව අළුත් තැන් නම් කොපමණ ද? ඔබට සියළු දේ විස්තරාත්මකව මතකය. ඒ නව නිවසට ආ මුල් සතිය කොපමණ නම් (අදටත් මතක් කළ හැකි)  කැපී පෙනෙන සිදුවීම් වලින් ගහනවි ද යත් මනෝ විද්‍යාත්මකව ගතහොත් දැනෙන්නේ ඒ සතිය බොහෝ කාලයක් ගත වූ බවයි. එහෙත් එම සතිය, ඔබ පාසලේ හෝ රැකියාවෙහි ගෙවන ආකෘතික සතියක් හා සසඳන්න. සෑම දිනකම වාගේ එකම වේලාවකට අවදිව කා බී සැරසී නිවසින් පිටවේ. කාර්යාලයේ හෝ පාසලේ ද වෙනදා රිද්මයෙන්ම  ගතවේ. සවසට පැමිණි පසුවද ගෙවන්නේ එකම ආකාරයකටය. අහඹු සිදුවීම් කිසිවක් නොවී නම් ඒ සතිය ගැන විස්තර මතක තබා ගැනීම අසීරුය. එකම විදිහට සතිය ගෙවී යද්දී ඔබේ මොළයෙහි (එම සතිය ගැන) විස්තර තැන්පත් නොවේ. එක් දිනක ඉම අනෙකෙන් බොඳ වී යයි. මතකයේ තැන්පත් කරගෙන යළි සිහිපත් කිරීමට ද වැදගත් දේ නැත. සතිය ‘දන්නෙම නැතිව ගෙවී ගියා’ සේ ඔබට දැනේ.

වයසින් වැඩෙත්ම ජීවිතයේ වැඩියෙන් කිරීමට සිදුවන්නේ අළුත් දේවලට වඩා බොහොමයක්ම කලින් සිදුකළ දේවල්මය. වැඩිහිටිභාවයට සංක‍්‍රමණයවීමේ දී ජීවිතය කළමණාකරණය පහසු කිරීම වස් චර්යාගත නැතිනම් විධිගත රටා ඇති කරගත යුතුවේ. දරුවන් ලැබ මාපිය කාරණයේ දී ඇතිවන භාවිකථනය කළ නොහැකි (කලින් කිව නොහැකි) අංග තුලනය කර ගැනීමට හැකිවන පරිදි ජීවිතය තව තවත් රටා ගත කර ගැනීමට සිදුවේ. චර්යාගත පිළිවෙලවල් ස්ථාවර ජීවිතයක ලක්ෂණය.

එකම ක‍්‍රියා පෙළක් එක්තරා අවස්ථාවක නැවත නැවත කිරීම තුළින් අවසානයේ එම අවස්ථාව, සිදු කළ ක‍්‍රියාවන් සහ ක‍්‍රියාවන් මගින් ඇතිවෙන  ප‍්‍රතිඵල සම්බන්ධ කර සැලකීමට ඔබ ඉගෙන ගනී. එසේ උගෙන ගත් සම්බන්ධතා පුරුදු නිර්මාණය කරයි. එලෙස පුරුද්දක් වර්ධනය වූ පසුව චර්යාගත කාර්යයන් වැඩි අවධානයක් යොමු නොකර ඉටු කළ හැකියි. ලෝකය තුළ අපේ කටයුතුවල දී පුරුදු වලින් වැඩි කාර්යක්ෂමතාවක් ලැබේ. එසේ වුවද ඔබ (වැඩි අවධානයක් නැතිව) පුරුද්දට කරන වැඩ ඔබේ මතකයේ නොරැඳෙන්න ඉඩ ඇති අතර පසුව මතක් කිරීමට ද නොහැකි විය හැකිය. ඔබ ගත වූ කාලය දෙස ආපසු හැරී බලා පුරුද්දට වැඩ කළ දින සිහිපත් කළොත් ඒවා, ඔබේ අවධානය අවශ්‍යවෙන නව්‍ය දේවල් බොහොමයක් ඉටු කළ දින වලට වඩා කෙටි යයි හැඟී යා හැක.

තරුණ පිරිස්වල ජීවිත බොහෝ අළුත් අත්දැකීම්වලින්  ගහණය. හේතුව හරියටම කීවොත් ඔවුනට ස්මරණයන් විශාල සංඛ්‍යාවක් ඒකරාශී කර ගන්නට එතරම් කාලයක් ලැබී නැත. වයස්ගත අයගේ  ජීවිතවල නව අත්දැකීම් ඇත්තේ අඩුවෙනි. හරියටම හේතුව කීවොත්, ඔවුන් යළි කරන්නේ වැඩිපුරම අතීතයේ දී අත්දැකි දේවල් නිසාවෙනි. වයස් ගතවෙද්දී ගෙවන නැවත නැවත සිදු කරන සිද්ධිවල හුරුපුරුදුකම කාලයක් සමඟ තනි තනි සිද්ධිවල මතකය එන්ට එන්ටම හීන කරයි. කිසියම නිශ්චිත කාල ෙඡ්දයක් තුළ මතක තබා ගැනීමට ඇත්තේ අඩු ප‍්‍රමාණයක් නම් ආපසු හැරී බැලීමේ දී එම කාල ෙඡ්දය ඉක්මණින් ගෙවී ගියා සේ දැනී යයි.

1800 අග ගණන් වල සිට පවතින, කාල සංජානනය පිලිබඳ තවත් සිද්ධාන්තයකින්  කියැවෙන්නේ අප කාලය අත්දකින්නේ අපේ ජීවිත කාලයේ අනුපාතයක් ලෙසට බවයි. අට හැවිරිදි ළමයෙකු තම හයවැනි උපන්දින සාදය ගැන හිතන්නේ බෙහෝ කාලයකට පෙර සිදුවූවක් ලෙසටය. ඇත්තටම(එම උපන්දින දෙක අතර) කාල පරතරය වන වසර දෙක ළමයාගේ ජීවිත කාලයෙන් සියයට විසිපහකි. එහෙත් වසර දෙකක් යනු පනස් වියේ අයෙකුගේ ජිවිතයෙන්  සියයට 4ක් පමණකි. මේ වෙනස වයස යාමත් සමග කාලය වේගවත්වීම පැහැදිලි කරදීමට සැපයිමට පුළුවන් එක් පැහැදිලි කිරීමක් විය හැකි බව සැලකේ.

වක‍්‍රාකාර සිදුවීම් ද කාලය වේගවත් කරන බවක් දැක්වීමට පුළුවන. උපන්දින, විවාහ සංවත්සර මෙන්ම පිංකම් ආදී කාලීන සිදුවීම්වල සොඳුරු මතකයන් සිහියට නගා ගැනීමට වත්මන එම (කාලීන) සිදුවීම මග පාදයි. අතීත මතකයන් වඩාත් විස්තරාත්මකව රැඳී ඇත්නම් කාලය හා අවකාශය වශයෙන් ඒවා වඩාත් සමීප බව දැනී යයි. එනිසා එවැනි සිදුවීම අතර පරතරය (ඇත්ත පමණට වඩා) දුර නැති බව දැනෙන්නට පුළුවන. එහෙයින් අලුත් අලුත් දේ කිරීමට වෙහෙසෙන්න. අලුත් විනෝදාංශ ඇතිකර ගන්න. නව සංගීතයට සවන් දෙන්න. අලුතෙන් මිතුරන් ඇතිකර ගන්න. අලුත් පොත් කියවන්න. (වෙනදා නොගිය) අලුත් තැන්වලට ගමන් බිමන්වල යෙදෙන්න. වයස් ගතව සිටියත් එවිට කාලය ගෙවීයන්නේ ඔබටම නොදැනුවත්වය.

Brain Briefs:ANSWERS TO THE MOST(AND LEAST) PRESSING QUESTIONSABOUT YOUR MIND(2016) ග්‍රන්ථයෙහි Does time speed up as we get older? කොටස ඇසුරෙනි

 

 

One response to “වයසට යද්දී කාලය වේගයෙන් ගලා යනවාද?”

  1. Thathu Digital sangarawe ithiri kalapath nokadawa laba denda kiyla illanwa.. thnq grate work Bro..!

    කැමතියි

Henry වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending