මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

සංකල්ප සාර සංග්‍රහය ලිපි පෙළ යටතේ අපි පසුගිය සතියේ අපි සුඛය (Happiness)ගැන කතා කළෙමු(මෙතනින් කියවන්න්). සැපත හෙවත් සුඛය(Happiness) පරම යහපත ලෙස(greatest good) එහි දී දැක්විණ. අද කතාකරන්නේ එම මාතෘකාවට සමීප,  සුඛපරමවාදය(Hedonism) ගැනයි.

සුඛපරමවාදය යනු පුරාතණ ග්‍රීසියේ ප්‍රභවය ලත් ආචාරධර්මි සිද්ධාන්තයකි.  ඒ මගින් කියෑවෙන්නේ සුඛය නැතිනම්  සන්තුෂ්ටිය පරම යහපත වන  හෙයින් එය ජිවිතයේ ප්‍රධාන ඉලක්කය විය යුතු බවයි.  සුඛය වැඩි වශයෙන් සම්බන්ධවන්නේ සොම්නස, සතුට(pleasure= ග්‍රීක භාෂාවෙන් hedone)  සමගය.  කෙසේවෙතත්, සොම්නස යන්නෙහි ස්වාභාවය මත්  විවිධාකාරයෙන් අර්ථ නිරුපණයවේ. සුඛපරමවාදය යනුවෙන් දැක්වෙන්නේ යමෙකු සැමවිටම පසිඳුරන් පිනවන්නාවූ  සොම්නසෙහි නිමග්න වීම  යන කාරණාවම නොවේ. ඇමෙරිකානු දර්ශනවාදියෙකු සහ මනෝවිද්‍යාඥයෙකු වන විලියම් ජේම්ස් නිරීක්ෂණය කළපරිදි  “තීරණාත්මක වන්නේ සුඛාත්මක වින්දනය(feeling good) නම්,  බීමත්කම  උත්තරිතර වශයෙන්  සප්‍රමාණ මිනිස් අත්දැකීමක් වනු ඇත”.

සිරනේහි, ඇරිස්ටිපස්(Aristippus of Cyrene)  ක්‍රි. පූ. 400 දී පමණ පිහිටු වූ සිරනයික ගුරුකුලයේ (Cyrenaic school) දර්ශනවාදින්ට  නම්  පරම යහපත වුයේ ‘මාංශ සංචලනය්’ හා සම්බන්ධ මොහොතක  සුඛාස්වාදයයි. සියලුම සත්වයින් සුඛාස්වාදය හඹා යාමට මෙන්ම වේදනාව මගහැරීමට පෙළඹෙන බව ඇරිස්ටිපස් පෙන්වා දුන්නේය. වහා භුක්තිවිඳින කායික සංතෘප්තියෙන් ඔබ්බට යමක් දැනගත හැක්කේ ද  යන්න ගැන ඔහු සැක පහළ කළේය.  කෙසේවෙතත්, සොම්නස යනුවෙන් ඇරිස්ටිපස් අදහස් කළේ හුදෙක් නිදහසේ ආශාවන්හි ගැලීම ම නොවේ; වඩාත් යහපත්ම සුඛයන් තෝරා බේරා ගැනීමේ දී විචාරය සහ ආත්ම දමනය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. නගර ශෝභනියක හා ඇසුරක් පවත්වාගෙන යාම ගැන විවේචනයට ලක්වුවිට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසය:   “ඇය මට හිමි නමුත් මා,  ඇය විසින් හිමි කරගනු ලැබ නැත; මන්ද, දමනය කරගනු නොලැබූ සුඛසොම්නස්වලින් පාලනය වීම ඒවා කොහෙත්ම පාලනය කරනු නොලැබීමට වඩා යහපත්ය”.

එපිකියුරියානුවාදයේ පියා වන එපිකියුරස්(ක්‍රි.පු. 341-270) විසින් ආරම්භ කරනු ලැබූ එම නමැති ගුරුකුලය ද සන්තුෂ්ටිය පරම යහපත ලෙස දුටුවේය. සන්තුෂ්ටිය ළඟා කර ගත හැක්කේ කායික මෙන්ම මානසික වේදනාව මගහැරවිමෙන් බව තර්ක කළ එපිකියුරස්, එය මනාව ඉටු කර ගත හැක්කේ ආශාව හීනකර ගැනීමෙන් මෙන්ම කායික සුඛාස්වාදයට වඩා මානසික සැපත වෙත යොමුවීමෙන් බව පෙන්වා දුන්නේය. මේ අනුව, පරම සැපත ළඟා කර ගත හැක්කේ උපේක්ෂාසහගත සන්සුන්බවෙනි. “ඥානවන්තව, එමෙන්ම යහපත්ව හා සාධාරණව ජීවත්වන්නේ නැතුව සන්තුෂ්ටිය පිරි ජීවිතයක ගතකල නොහැකිය” යනුවෙන්  කියා සිටි එපිකියුරස් “අනෙක් අතට සන්තුෂ්ටිය පිරි ජීවිතයක් ගත කරන්නේ නැතිව, ඥානවන්තව, එමෙන්ම යහපත්ව හා සාධාරණව ජීවත්විය නොහැකිය” යි පෙන්වා දුන්නේය.

වඩාත් මෑතක දී  සුඛපරමවාදය,  උපයෝගිතාවාදය(utilitarianism) ලෙසින් යළි ඉස්මතු වී ඇත. ‘වැඩිම පිරිසකගේ පරම යහපත ‘ ගෙන ඒම කෙරෙහි පුද්ගල ක්‍රියාකාරකම් මෙන්ම සමාජ පිළිවෙත් යොමු විය යුතු යයි එම මතවාදයෙන් කියැවේ.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Hedonism යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

One response to “සංකල්ප සාර සංග්‍රහය 58: සුඛපරමවාදය(Hedonism)”

Sithara madushani වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending