චිත්තවේගී බුද්ධිය
ඉතා බලගතු බුද්ධියකින් හෙබි එහෙත් සමාජයේ හැසිරීමේ දී ඉතා දුර්වලබවක් දක්වන පුද්ගලයන් ගැන ඔබත් නොඅනුමානව දන්නවා ඇත. ඔවුන්ගේ IQ (බුද්ධි ඵලය) අහස උසට තිබෙන්නට පුළුවන් වුණාට ඔවුන්ගේ EQ (චිත්තවේග ඵලය හෙවත් චිත්තවේගී බුද්ධිය) එලෙස නැත.
චිත්තවේග බුද්ධිය පිළිබඳ සංකල්පය කරළියට ආවේ 1990 ගණන් වල දී ය. ඒ, මනෝවිද්‍යාඥයන්, සහවේදනය හෙවත් අනුවේදනය(empathy), තමන් ගැන අවබෝධය(ස්වසම්ප්‍රජානනය) සහ චිත්තවේග පාලනය වැනි ගුණාංග පැහැදිලි කර දීම පිණිස මනෝවිද්‍යාඥයන්, බලගතු මගක් සොයමින් වෙහෙසක් දරමින් සිටි අවධියකිදීය. කලක් චිත්තවේගී ඵලය යන පදය ශාස්ත්‍රීය වංගගිරියේ සැඟව ගොස් තිබුණි. එහෙත් පසුව 1995 දී එම පදය ඩැනියෙල් ගෝල්ඩ්මන්ගේ ජනප්‍රිය පොතෙහි මාතෘකාව බවට පත්විය: Emotional Intelligence: Why it Can Matter More Than IQ (චිත්තවේගී බුද්ධිය: එය බුද්ධි ඵලයට වඩා වැදගත් වන්නේ ඇයි?) වැඩි කලක් නොගොස් හැමතැනකම මේ යෙදුම තුඩ තුඩ රැව්දීමට පටන් ගත්තේ අපගේ IQ හා කරට කර සරිලන්න EQ අප සැමට ඇතැයි යන අදහස මෙන්ම IQ මගින් මනිනු ලබන වියුක්ත බුද්ධියට වඩා අනාගත සාර්ථකත්වයේ වඩාත් හොඳ දර්ශකයක් ලෙස අපඅපගේ මෙන්ම අන් අයගේ හැඟීම් ද ගවේෂණය කිරීමේ හැකියාව යන අදහස සමගින් අප අමන්දානයට පත් කරමිනි. එපමණක් නොව, අපගේ බුද්ධි ඵලය මගින් මෙන් නොව ජීවිතයේ ගැටුම් හා ගැහැට ජයගැනීම පිණිස අප සන්නද්ධ කිරීමට හැකිවන අයුරු අපගේ චිත්තවේග බුද්ධිය වඩා යහපත් තත්ත්වයට පත් කිරීමට හැකිය යන පොරොන්දුව ද රැඳී තිබුණි.
සමාජ සංජානනය
මෙහි යටින් දිවෙන අදහස වන්නේ IQ පරීක්ෂණවලදී මනිනු ලබන සංජානන කුසලතා යනු තොරතුරු සැකසීම පිණිස අපේ මොළයට ඇති හැකියාවන්ගේ වඩාත් පුළුල් ආවලියක කොටසක් යන්නය. අප එකිනෙකා හඳුනා ගැනීමට මෙන්ම සමාජයීය අවස්ථාවන් හසුරුවා ගැනීම සඳහා කැපවුණු විශේෂිත වූ මොළ විද්‍යුත් පරිපථ පද්ධතියක් ඇත යන්න අවබෝධ කරගැනීමට උපකාරීවන විදග්ධ, සංකීර්ණ කුසලතා මිනිස් අප සතුව ඇතැයි යන්න අප කොහොමටත් දැන සිටින කාරණාවකි.
එහෙත් චිත්තවේගී බුද්ධිය වැනි සංකීර්ණ දෙයක් අර්ථවත් ආකාරයකට මැනිය හැක්කේ කෙසේද? බුද්ධි ඵලය මැනීමේ කෝදුවක වැනි සංඛ්‍යාත්මක මිනුම් ක්‍රමයකට අවබෝධතාව සහ චිත්තවේග පාලනය වැනි කුසලතා හැරවිය හැකිය යන්න ගැන ඇතැම් පර්යේෂකයෝ සැක පහළ කරති. කෙසේ වෙතත් අපගේ චිත්තවේගී සංජානනයේ විවිධ අංග තෝරා බේරා ගැනීම සඳහා පරීක්ෂණ සැකසීමට වෙනත් පර්යේෂකයෝ සමත් වී සිටිති. නිදසුනක් ලෙස බුම්මාගෙන සිටින්නෙකුගේ මුහුණක් සහිත ඡායාරූපයකින් ප්‍රකාශයට පත්වන චිත්තවේගයන් හඳුනාගන්න යයි පුද්ගලයින්ට දැන්වීමට මෙන්ම, සහ “ජෝර්ජ් කණගාටුවෙන් සිටියා. ඊට පැයකට පසුව ඔහුට වරදකාරී හැඟීමක් ඇති වුණා. ඔය දෙක අතර තුර සිදු වූයේ කුමක්ද?” වැනි ප්‍රශ්න ඇසීම හා ඒවාට පිළිතුරු සැපයීම එම පරීක්ෂණ වලට අයත් වුණා:
A වෛද්‍යවරයකු මුණ ගැසීමට යන අසල්වැසියෙකුට උදව්වට ජෝර්ජ් ද ගියා.
B ජොර්ජ්ට සිය මව ඇමතිම පිණිස දුරකථන ඇමතුමක් ලබා දීමට නොහැකි තරමට ජෝර්ජ් වෙහෙසව සිටියෙන් ඇගේ උපන් දිනයදා ඇය ඇමතීමට ඔහුට නොහැකි විය.
ජෝර්ජ්ට වරදකාරී හැඟීමක් ඇති වීමට වඩාත් ඉඩකඩ ඇත්තේ B හි සඳහන් අවස්ථාවෙහි යයි ඉහල චිත්තවේගී බුද්ධියක් සහිත අයට තේරුම් යයි. මේ වගේ පරීක්ෂණ තමයි චිත්තවේගී බුද්ධිය විද්‍යාත්මක පදනමක් මත තබන්නට මුල් පියවර අරගන්නේ. වර්තමාන පර්යේෂණ පෙන්නුම් කරන්නේ ඉහළ චිත්තවේගී බුද්ධිය සහිත අයට වඩාත් ඵලදායි මිත්‍රත්වයක් සහ සාර්ථක වෘත්තිය සබඳතා ඇති බවයි. ඔබට ඔබේ මෙන්ම අන් අයගේ චිත්තවේග ගැන පාලනයක් ඇත්නම් වෘත්තීය පරිසරය තුළ අන් අය සමග යහතින් වැඩ කිරීමට සහ සහජීවනයෙන් ක්‍රියා කිරීමට පහසු වීම පුදුමයට කාරණාවක් නොවේ. සේවයට බඳවා ගැනීමට අපේක්ෂා කරන්නන්ගේ චිත්තවේගී බුද්ධිය ඇගයීමට ලක් කිරීමට බොහෝ සමාගම් දැන් ක්‍රියා කරයි.
චිත්තවේගී බුද්ධිය වෙනුවෙන් වැදගත් වන්නාවූ මොළයේ කොටස්, 2010 දී හඳුනා ගැනීමට හැකිවිය. එසේ සොයා ගැනීමෙට මග පෑදුණේ, මානවයන්ගේ සමාජීය සහ චිත්තවේග චර්යාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන මොළයේ කලාපය වන පූර්වලලාට බාහිකයට(prefrontal cortex) තුවාල ලබා හානි පැමිණි වියට්නාම් යුද ප්‍රවීණයන් ගැන කෙරුණු අධ්‍යයන මගිනි. මොවුන්ගේ තුවාල ඇති වූ සුවිශේෂී ස්ථාන මත පදනම්ව මොවුන්ව එක්කෝ ‘අනුභූතිමය’ චිත්තවේගී බුද්ධියෙන්(අන් අය තුළ චිත්තවේග නිර්ණය කිරීමේ හැකියාව) හීනය නැතහොත් ‘උපායමාර්ගික’ චිත්තවේගී බුද්ධියෙන්(සමාජයීය අවස්ථාවනට යෝග්‍ය ප්‍රතිචාර සලසුම්කරගැනීමේ හැකියාව) හීනය යනුවෙන් ඇගයීමට ලක්විණ. මෙම කලාපයන්ට සිදු වූ හානිය සංජානන බුද්ධිය කෙරෙහි බලපෑමක් ඇති නොකෙරිණි. ඉන් හැඟීයන්නේ චිත්තවේගීය කාර්යයන් මෙන්ම පොදු ප්‍රශ්න විසඳීමේ කාර්යයන් සම්බන්ධයෙන් මොළය ස්වාධීනව ක්‍රියා කරන බවයි.
විවිධ චින්තන ගුරුකුල
වඩාත් ඉහළ චිත්තවේගී බුද්ධිය, වඩාත් තෘප්තිමත් ජීවිතයකට මඟපෑදිය හැකිය යන්න තේරුම්ගැනීම, අධ්‍යාපනය වෙත වෙනස් ප්‍රවේශයකට ද මඟ පෑදීමට හැකිය. නිදසුනකට එක්සත් රාජධානියෙහි වූ ‘ඉගෙනීමේ වැඩසටහන්වල සමාජීය සහ චිත්තවේගීය අංශ’ වැඩසටහන(Social and Emotional Aspects of Learning programme) 2005 දී දියත්කෙරුණේ ශිෂ්‍යයන්ගේ චිත්තවේගී බුද්ධිය වර්ධනයකිරීමේ අරමුණ ඇතිවයි. ඇමරිකාවේ පාසල්වල, විශේෂ වැඩසටහන් මගින් අනුවේදනීය කුසලතා සහ ආවේග පාලනය උගන්වනු ලැබේ.
අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ අන්දමේ ප්‍රවේශයක් මගින් කරුණු කාරණා උගෙනීමට පමණක් කැප වූ පද්ධතියකින් බිහිවනවාට වඩා පරිපූර්ණ ශිෂ්‍යයකු බිහි කරණු ලබා විය හෝ චිත්තවේගීව බුද්ධිමත් ජනයා පිරි වැඩබිමක් වඩාත් සුන්දර වඩාත් සහයෝතිත්වය පිරි තැනක් වේවිය යන්න පැහැදිලිව පෙනී යන්නක් විය යුතු යැයි සිතුවද පර්යේෂණ මගින් එය සැමවිටම සනාථ නොවේ. ඇත්ත වශයෙන්මඇතැම් අධ්‍යයන මගින් චිත්තවේගී බුද්ධියේ නරක පැත්ත හෙළි කරණු ලැබේ: ඉහළ චිත්තවේගී බුද්ධියෙන්(high emotional intelligence) යුතු අය සිය චිත්තවේග උපායශීලීව වසන් කර ගනිමින් අනික් අයගේ චිත්තවේග හසුරුවමින් සිය හැකියාවන් පෞද්ගලික වාසියට යොදා ගනිති.
චිත්තවේගී බුද්ධිය සහ රැකියාවේ කාර්ය සාධනය ඈඳා ගනිමින් සිදුකරන ලද සියලුම අධ්‍යයනවල විශ්ලේෂණයකට අනුව ඉහල චිත්තවේගී බුද්ධිය වැඩ බිමෙහිදී කරදරයක් වීමට පවා පුළුවන් බව පෙනී ගියේය. මෙහිදී පෙනී ගියේ අළෙවි හෝ උපදේශන වැනි මහජනයා-මූලික රැකියාවල නිරත අයට නම් ඉහළ චිත්තවේගී බුද්ධිය අතිරේක වාසියක් විය හැකියැයි මෙම විශ්ලේෂණයෙන් සොයා ගැනිණ. ඔබේ කාර්යභාරය අදාළ වන්නේ පාරිභෝගිකයන් හෝ රෝගියෙකුගේ සිත සැනසීමට නම් අදාල සන්දර්භයට යෝග්‍ය වන්නේ කුමන චිත්තවේගය ද යන්න අවබෝධ කරගැනීම පිණිස ඇති හැකියාව වාසියක් විය හැකිය. කෙසේවෙතත් චිත්තවේග සම්ප්‍රජානය එතරම් වැදගත් නොවන කාර්යභාරයන් හී දී — නිදසුනකට, විද්‍යාත්මක පර්යේෂණ, ගණකාධිකරණය හෝ කාර්මික ශිල්පය යන ක්ෂේත්‍රයන් හී දී — ඉහල චිත්තවේගී බුද්ධිය, රැකියාවේ කාර්යසාධනය පහළ දැමීමට මග පෑදිය හැකි ය. මින් අදහස් කෙරෙන්නේ, ඉහළ චිත්තවේගී බුද්ධියක් සහිත අයෙකු ‘චිත්තවේගී ශ්‍රමය’ වෙනුවෙන් දරන වෙහෙස, නියමිත කාර්යයෙන් අවධනය ඉවතට යොමු කරන බවයි. චිත්තවේගී බුද්ධිය සැමවිටමත් භාග්‍යයක් නොවන සෙයකි.