කොරෝනා වෛරසය ස්වභාව ධර්මයේ ශාපයක් ද?
නව කොරෝනා වෛරසය ලෙස දැක්වෙන SARS-CoV-2 හේතුවෙන් ලොව ජනගහනයෙන් අඩක්ම අද නිවෙස් තුළට කොටු වී සිටීමට බල කර ඇති වාතාවරණයක් තුළ ගහ කොළ සතා සීපාවන් ඇතුලු ස්වභාවධර්මයාට එක්තරා අන්දමක ආශිර්වාදයක් වී ඇති බවක් පෙනී යනවා. නගර, පුරවර වායු දූෂණය අඩුවී ගොසිනි. ගංගා ඇළදොළ ජලය ක්‍රමයෙන් පිරිසිදු වන්නට පටන්ගෙනය. වනසතුන්ට නැවතත් (නරඹන්නට එන අයගේ හිරිහැර නොමැතිව) වනයේ පවා නිදැල්ලේ හැසිරෙමින් සිටීමට වාසනාව උදා වී ඇත. මිනිසාගේ අහිතකර බලපෑමෙන් තොරව ස්වභාවධර්මය වැජඹෙන සෙයකි.
නව කොරෝනා වෛරසය හේතුවෙන් අද ලෝකයාට අත්පත් වී ඇති ඉරණම පමණක් නොව SARS-CoV-2 වෛරසයම පවා මිනිසා ස්වභාව ධර්මයට එරෙහිව සිදුකෙරෙන නොයෙකුත් හානි හමුවේ ඊට එකට එක කිරීමට සොබාදහම ගත් පියවරක් ලෙසට ද (අද ලෝකයා මුහුණ පා ඇති) මෙම අර්බුදය හඳුන්වනු ලබනවා. මෙයින් දැක්වෙන චිත්‍රය අවාසනාවකට මෙන් අසම්පූර්ණ, පක්ෂග්‍රාහී එකකි. එලෙස දැක්වූ තාරණා බොහෝ විට වලංගු වන්නේ කාර්මික රටවලටය. ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩි කොටස දැකිය හැක්කේ අඩු ආදායම් රටවල සහ ගෝලීය වශයෙන් දක්ෂිණ රටවලටය( සංවර්ධිත උත්තර ගෝලිය රටවල් හා සැසඳීමෙ දී දියුණුවෙන් අඩු, පහළ හා මැදි ආදායම් සහිත ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකා සහ කැරීබියනු රටවල් දක්ෂිණ ගෝලිය රටවල් ලෙස දැක්වේ) . ඉතින් එවැනි රටවලට කොරෝනා ගෝලීය වසංගතයයෙන් ඇතිවන ආර්ථික බලපෑම ස්වාභාවික ලෝකයට බෙහෙවින් හානිකර විය හැකිය.
වෙනස රඳා පවතින්නේ සිය ජීවනෝපාය අහිමි වීමේ ආර්ථික කම්පනයට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය මතය. සමාජ ආරක්ෂණ ජාල බොහෝ කාර්මික රටවල බෙහෙවින් ප්‍රචලිත අංගයකි. එහෙත් අඩු ආදායම්ලාභී රටවල ජනතාවට සිය රජයන් ගෙන් එවැනි ආධාර හිමි නොවේ. නොයෙකුත් ගැහැට ඔවුනට ගෙන ඒමට එය මුල් වේ. මෙයින් බහුතරයට ආරක්ෂණ ජාලයක් සැපයෙන්නේ එක්කෝ වනාන්තරයෙනි. නැතිනම් සාගරයෙනි. පිළිසරණක් නොමැති මෙම ජනකොටස්වලට ඉතිරි වන එකම විකල්පය ස්වභාවික සම්පත් උපයෝජනයයි. වන සතුන්, මත්ස්‍යයන් සහ වනාන්තරයේ ගහකොළ (කලාතුරකින් මිස) කිසිවකුත් අයිතිවාසිකම් කියන දේ පළ නො වේ. ඇරත් මේවා බොහෝවිට පිහිටා ඇත්තේ නීති අංශය ඇස නිතර යොමු නොවන ගම්බද හා දුෂ්කර දුර ඈත ප්‍රදේශවල ය. එපමණක් නොව එකී සම්පත් පරිහරණයට තාක්ෂණික බාධාද නොමැති තරම්ය. කැත්තක්, පොරවක්, බිලි පිත්තක් පාවිච්චි කිරීම සඳහා උපාධියක් ලබා සිටිය යුතු නැත. ඉතින් කළහැකි යමක් ඉතිරි වී නොමැති විට මේ පිරිස, ආහාරයට ගැනීමට යමක් හෝ විකුණා ගැනීමට ට හැකි යමක් වනාන්තරයෙන් එහෙමත් නැතිනම් මුහුදෙන් ආදී වශයෙන් ස්වභාවික ලෝකයෙන් ලබා ගැනීමට පෙළඹෙති. මේ කාරණාව සනාථ කිරීම නිදසුනක් අඩු ආදායම් රටක් වන මැඩගස්කරයෙන් ගෙනහැර පෑමට හැකිය. දරුණු නියඟයෙන් පීඩා විඳින විට සිය දිවි රැකුමට ඔවුන් යොමුවන්නේ වනාන්තරය වෙතටය. නැතිනම් හේන් වගාවට ය. තවත් සමහර මුහුදට යොමු වුණත් අවශ්‍ය කුසලතා නොමැති කමෙන් මසුන් වස දී මැරීම වැනි උපක්‍රමවලට යොමුවෙමින් ස්වභාව ධර්මයට හානි පමුණුවති.
කෙසේ වෙතත් දේශගුණ විපර්යාසයන් ගේ බලපෑමට වඩා, අඩුම තරමින් කෙටිකාලීනව හෝ, කොරෝනා වසංගතයේ ඵලවිපාක ඔවුන්ගේ ජීවනෝපායන්ට බරපතළ තර්ජනයකි. 2008 ආර්ථික අවපාතයේ බලපෑමෙන් පසුව රැකියා අහිමි වූ කැමරූන් රටේ සේවකයෝ, කෙසේ හෝ දිවි ගැට ගසා ගැනීමේ දැඩි ප්‍රයත්නයක යෙදෙමින් හොරෙන් වන සතුන් මැරීමට හා වන විනාශ කිරීමට පෙළඹුණහ. කොරෝනා මහා වසංගතයෙන් මවන්නා වූ මේ ආකාර කතන්දර ලොවපුරා ඉදිරියේ දී එළිදැක්වනු නියතය.
ඉන්දියාවේ මිලියන ගණනක් සංක්‍රමණික සේවකයන් සිය ගම්බිම් කරා සාමූහිකව නික්ම යාමෙන් ඇති වූ හදිය ලොවපුරා පුවත් සිරස්තල නිර්මාණය කිරීමට සමත් විය. මේ ආකාර සිදුවීම් මැඩගස්කරයේ ද අප්‍රිකාව පුරාද නිවර්තන කලාපය තුළම ද සිදුවෙමින් පවතී. පෙර නොවූ විරූ ආකාරයේ මහා පරිමාණයෙන් ජන නික්මයාම්වල (exodus) බලපෑම කිසිවකුටත් නිශ්චය කොට කිව නොහැකි වුවත්, එකක් පැහැදිලිය. තවත් බොහෝ පිරිස් මෙයට මාස නැතිනම් සති කිහිපයකට පෙර සිටියාටත් වඩා දුප්පත්ව, වඩාත් බඩගින්නෙන්, මෙන්ම වනගත ප්‍රදේශ ඇතුළු සොබාදහම විනාශකාරී ලෙස උපයෝජනය ට වඩාත් ආසන්නව සිටිනු ඇත. ඒ සමගම (වසංගතය හමුවේ) අපගේ වටිනා වන සම්පත් අධීක්ෂණය හා කළමනාකරණය සැලකිය යුතු මට්ටමකට දුර්වලව පවතී. ගම්බද දුර ඈත ගම්මාන හා ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රනය අඩපණ ය.
මේ අතර, සංචාරකයන් ඇදී එන වන සංරක්ෂිත හා අභය භූමි ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත්වන ජනයාගේ ආදායම් ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරය ඇනහිටීම හේතුකොටගෙන කප්පාදු වී තිබේ. මෙයින් ඇතිවන සෘජු බලපෑම පැහැදිලි නමුත් මෙහි තවත් මානයක් ඇත. නිදසුනක් ගමු. (අප්‍රිකානු) ජාතික වනෝද්‍යානය සහ සංරක්ෂිත ප්‍රදේශ සීමා ආසන්නයේ මිලියන ගණන් ජනතාව ජීවත් වෙති. එහෙත් මනුෂ්‍යයන් සහ වන සතුන් අතර සහජීවනය පවතින්නේ පහළ මට්ටමකය. වන සත්තු ( උන් බොහෝ අවස්ථාවලදී සිදු කරන්නට පුරුදුව ඇති අයුරු) භව භෝග විනාශ කරති. පශු සම්පතට හානි පමුණුවති. ඇතැම් විට මිනිසුන් මරා දමති. මේවාට වන්දි වශයෙන් යම් ආධාරයක් කෙරුනේ නම් ඒ (වන සතුන් බැලීමට එන) සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන අරමුදලිනි. දැන් මෙම අරමුදල් හීන වී ගොසින්ය. මෙහි ප්‍රතිඵලය එක්කෝ මිනිසුන්ට අහිතකරය; නැතිනම් වන ජීවින්ට තීරණාත්මකය.
ඉතින් කොරෝනා වෛරස වසංගතයෙන් සොබා දහමට යම් සුගතියක් අත් පත්වූ බවක් බැලූ බැල්මට නම් පෙනී ගියත් ලෝකයේ ආන්තික ජන කොටස්වලට වනසතුන් ඇතුලු වන සම්පතට නැතිනම් ස්වභාවික ලෝකයට ඉන් දැඩි බලපෑමක් එල්ල වූ සෙයකි.
The Conversation(April 15) හී පළ වී ඇති Nature’s comeback? No, the coronavirus pandemic threatens the world’s wildlife යන ලිපිය ඇසුරෙනි.