ජල හිඟයට අදාළ වැදගත් පද කීපයක්
අපි පසුගිය ලිපිවල කතා කළ පරිදිම ජලය ජීවිතයට නැතුවම බැරි අංගයක්. එහෙත්, ලොව පුරා මිලියන 785ක ජනතාවට, වෙනත් විදිහකට ගණන් බලුවොත් ලොව වසන සෑම නවදෙනාගෙන් එක් අයෙකුහට ජල පහසුව නැත. වාර්තාවක දැක්වෙන පරිදි සමාජය වෙත ඇති කෙරන බලපෑම සළකන විට සිව්වැනි තැනට පැමිණෙන ගෝලිය අවදානම ජල අර්බූදයයි. ජල අර්බුදය ගැන අප කතා කිරීමේ දී නිතර යෙදෙන ප්‍රධාන වචන කිහිපයක් කෙටියෙන් හෝ හඳුනා ගැනීම වැදගත් බව අපි පසුගිය සතියේ ලිපියෙහි දී කතාකරා. ඒ ගැන විස්තරයකින් අද ලිපිය පටන් ගමු.
ජල හිඟය
කිසියම් භූගෝලීය ප්‍රදේශයක වාසය කරන මනුෂ්‍යයන් හෝ සත්වයින් හෝ පරිසරයේ භාවිතයට ජලය නොමැතිකම හෝ සුරක්ෂිත ජලය ප්‍රමාණවත්ව ලබාගැනීමට ඇති නොහැකියාව ජල හිඟය ලෙස හැඳින්වේ. ප්‍රදේශ බොහොමයක් ගැන හිතුවොත් ජලය ඇත්තේ වැඩි ඈතක නොවන්නට පුළුවනි. එහෙහ්ත් එම ජලය නිවසට රැගෙන එන්නට ඕනෑ කරන සම්පත් (මුදල් සහ හැකියාව) ප්‍රමාණය හිඟවීම හේතුවෙන් ඒ ජලය ගෙන්න ගන්න ට අධික මිලක් යොදන්නට සිදුවෙයි , මෙය ආර්ථික ජල හිඟය (economic water scarcity) ලෙස හැඳින්වන්නට පුළුවනි.
තවත් අතකින්, එම ප්‍රදේශයේ ජල හිඟයක් තිබෙනවා වෙන්නත් පුළුවනි; නැතිනම් තිබෙන ජල ප්‍රමාණය කොහෙත්ම මදි වෙන්නටත් පුළුවනි, එය හඳුන්වනු ලබන්නේ භෞතික ජල හිඟය (physical scarcity) යනුවෙනි. ඉන් කියැවෙන්නේ එම ප්‍රදේශයේ මුළුමනින්ම ජලය නැති බවයි.
ජල පීඩනය(water stress)
මෙය සාමාන්‍යයෙන් ජල හිඟයත් එක්ක පටලවා ගන්නට පුළුවන් වචනයකි. එක අතකට බලනවිට, ජල හිඟයෙහි ප්‍රතිඵලය ලෙස ජල පීඩනය දක්වන්න පුළුවනි. මන්ද කීවොත්, ජලය සඳහා ඇති ඉල්ලුම ජලය තිබෙන ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් ඉහළ මට්ටමක පැවතුණොත් එයින් පීඩනයක්, ආතතියක් ඇතිවන හෙයිනි. එයින් පිරිසිදු ජලය අනුහානිය හෙවත් පිරිහීම ඇතිවන අතර නියඟයට මග පෑදෙයි.
බීමට යෝග්‍ය ජලය(potable water)
කෙටි සහ දීර්ඝකාලීන වශයෙන් අඩු අවදානමකින් යුතුව මනුෂ්‍යන්ගේ පරිභෝජනයට යෝග්‍ය බව ප්‍රමාණවත් අයුරින් තහවුරු කෙරුණු ජලය, සුරක්ෂිත ජලය බීමට යෝග්‍ය (potable) ජලය ලෙස හැඳින්වේ. එය සාමාන්‍යයෙන් ” පත්‍ය ” ජලය ලෙස ද දැක්වෙනවා.. බලධාරීන් විසින් සම්මතකරන ලද, නිසි ප්‍රමිති වලට අනුකූලව ජලය සැපයෙන බව විශේෂඥයන් විසින් පරීක්ෂාකරනු ලැබීමෙන් පසුව අනුමත කෙරේ නම් විතරයි, එම ජලය ” පත්‍ය ” ජලය ලෙස හැඳින් වන්නට පුළුවන්.
වාරි සම්පාදනය(irrigation)
ශාක වැඩීමට අවශ්‍ය ජලය බෝග ගොවිතැන් සඳහා සපයා දීම වාරිමාර්ගකරණය ලෙස හැඳින්වේ. වාරිමාර්ගකරණය තුලින් සමහරක් බෝග වල අස්වැන්න 100 සිට 400% දක්වා වැඩි කිරීමට පුළුවන් වෙයි. මතුපිට වාරිමාර්ගකරණයේ සිට ස්ථානගත වාරිමාර්ගකරණය භාවිතය වෙත යොමුවන ගොවියන්ට තමන්ගේ ජල භාවිතය 30-60% දක්වා අඩු කර ගන්නට පුළුවන් බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙනවා.
ජලවාහක රෝග(waterborne diseases)
ජල හිඟය ගැන කතා කිරීමෙ දී ජලය නැතුවම බැරි දෙයක් හැටියට ගත්තත් ජලයෙන් රෝග බෝවිය හැකි බවත් අප කවුරුත් දන්නා දෙයක්. දූෂණයට ලක් වූ හෙවත් අපවිත්‍ර ජලය බීමට ගැනීමෙන් සම්ප්‍රේෂණය වන රෝග ජලවාහක රෝග ගණයට වැටෙනවා. මැලේරියාව, ටයිපොයිඩ් උණ, හෙපටයිටිස් A, කොලරාව, බැසිල රක්තාතිසාරය/ ෂිගෙල්ලොසිස් වැනි රෝග ආදිය උදාහරණ් හැටියට දක්වන්න පුළුවන්.
කරදිය (කිවුල් ජලය – brackish water)
අධික ලුණු ප්‍රමාණයක් ඇති ජලයයි මේ, නමුත් කිවුල් ජලයේ ලුණු ප්‍රමාණය මුහුදු ජලය ලුණු ප්‍රමාණයට වඩා අඩුයි. මේ ආකාරයේ ජලය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ පිරිසුදු ජලය මුහුදු ජලයට එක්වෙන ප්‍රදේශ වලය.(මෝය, ඩෙල්ටාව, කඩොලාන, වගුරු). පොදුවේ ගත් කළ කිවුල් ජලයේ ජීවත් වන ජීවීන් ප්‍රමාණය අඩු යයි කියන්න පුළුවන්.
භූ ජලභරය හෙවත් ජලධරය(aquifer)
පෘථිවි පෘෂ්ටයට යටින් තිබෙන්නේ පාෂාණය. ඒවයින් සමහරක් පාෂාණ, සවිවරයි. එමෙන්ම, පාරගම්‍ය පාෂණය. ඒවා අතරින් වායු සහ ජලය පහසුවෙන් ගලා යා හැකිය. මෙම ජලධරණ පාෂාණ ජලධර ලෙස හැඳින් වේ. ජලධර තුළින් එන ජලය පාංශු දූෂණයට නිරාවරණය වුනේ නැති නම් එම ජලය ඉතා පිරිසුදු ජලය ලෙස සලකන්න පුළුවන්.
අපි මේ ප්‍රධාන පද ගැන අවබෝධය තබාගෙනම ජල හිඟය ගැන ඉදිරි ලිපි කියවමු. ලබන සතියේ අපි කතා කරන්නේ මිරිදිය ගැනයි.
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Important water scarcity terms කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)