ලෝකයේ රටවල් කීයක් තිබෙන්නේ ද?   දන්න කෙනෙක් නම් නැත!

Posted by

ලෝකයේ රටවල් කීයක් තිබෙන්නේ ද?   දන්න කෙනෙක් නම් නැත!

ලෝකයේ රටවල් කීයක් තිබේදැයි යමෙකු ඔබෙන් ඇසුවොත්, ඔබට  දිය හැකි පිළිතුර කුමක් ද?  සිතියමක් සොයාගෙන විනාඩි 10 ක් පමණ වැය කර ඇහට පේන, දකින සියලුම රටවල් ගණන් කිරීමට ඔබට පුළුවනි. (නැතිනම්, ඔච්චර වද වෙන්නේ නැතුව  පහසුවෙන්ම ගූගල් කර බලන්න පුළුවන් නේ කියලා  ඔබට හිතෙන්න ඇහැකි. ඒත් ඉතින්  ඒ පහසු කම් නැතැයි කියලා සිතමු.) සිතියමක් භාව්ත කරන ක්‍රමයේ ඇති ගැටළුව නම්, ඔබ භාවිතා කරන සිතියම අනුව ඔබට වෙනස් පිළිතුරු ගණනාවක් ලැබීමට ඉඩ තිබීමයි.

මෙම ප්‍රශ්නයට පිළිතුර මුළුමනින්ම රඳා පවතින්නේ ඔබ ප්‍රශ්නය අහන්නේ කවුරුන් ගෙන් ද යන්න සහ රටක් පිළිබඳ ඔබේ පුද්ගලික අර්ථ දැක්වීම මත ය. රටක් සඳහා වඩාත් පොදු අර්ථ දැක්වීම ලබා ගත හැක්කේ 1933 රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ මොන්ටෙවීඩියෝ සම්මුතියෙනි. එහි සඳහන් වන්නේ රටක ප්‍රදේශය පහත සඳහන් නිර්ණායකයන්ට ගැලපිය යුතු බවයි:

1.          එහි ස්ථිර ජනගහනයක් සිටිය යුතුය.

2.             එයට නිශ්චිතව දක්වා ඇති භූමියක් තිබිය යුතුය.

3.           ස්ථාපිත හා ක්රියාත්මක රජයක් තිබිය යුතුය.

4.             වෙනත් රාජ්යයන් සමඟ සබඳතා ඇති කර ගැනීමේ හැකියාව එයට තිබිය යුතුය.

ගිවිසුමේ තුන්වන වගන්තියේ පළමු වාක්‍යයේ පැහැදිලිවම සඳහන් වන්නේ “රාජ්‍යයක දේශපාලන පැවැත්ම අනෙක් රාජ්‍යයන් විසින් පිළිගනි ලැබීමෙන් මුක්ත” බවයි. එහෙයින්, යම් රටක් වෙනත් රටක පැවැත්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්,  එම රට, අව්ශ්‍යයෙන්ම රටක් නොවන බව එයින් අදහස් වන්නේ එයඅදහස් වන්නේ නැත. මෙය මනසේ තබාගෙන, ලෝකයේ රටවල් කීයක් සැබවින්ම පවතිනවා දැයි ඔබ සොයා ගන්නේ කෙසේද?

ඔබ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොඩ වැදී  රටවල් කීයක් තිබේදැයි ගණන් බැලුවහොත්, ඔබට ලෝකයේ රටවල් 195  ඇතැයි යන  පිළිතුරක ලැබෙනු ඇත. (ඔව්, ගූගල් ද පිළිතුර ලෙස ඉදිරිපත් කරන්නේ “195” යන්නමය.) නමුත් එම සංඛ්‍යාව පවා හේතු දෙකක් නිසා සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ. පළමුව, සම්පූර්ණයෙන්ම ස්වාධීන රටක් ලෙස සැලකෙන වතිකානුව කිසි විටෙකත් නිල සාමාජිකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැත. දෙවන ගැටළුව: නිශ්චිතම අර්ථයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වන්නේ රටවල් 193 ක් පමණි. අනෙක් ආයතන දෙක වනුයේ ශුද්ධාසනය (Holy See රෝමයේ,රෝමානු ක‍තෝලික පූජා ප්‍රසාදී පදවි සහ අධිකරණ වසම) සහ පලස්තීනයයි. මේවා සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයන් ලෙස සැලකේ. මෙම ලිපියආරම්භයේ දී ලබා දී ඇති නිර්වචනයට අනුව (ඒවා) රටවල් වන නමුත් ඒ ආකාර රටවල් ලෙස සීමිත පිළිගැනීමක් ඇති ඒවාය. රටවල් පිළිබඳ අප ඉදිරියේ දී සිදුකරන  සාකච්ඡා අතරතුර, මෙම අර්ථ දැක්වීම මතකයේ තබා ගැනීම වටී: මන්ද, එය අපගේ විමර්ශනයේදී වඩාත් වැදගත් බව ඔප්පු වනු ඇත.

පලස්තීනය, ඊශ්‍රායලය සහ කොසෝවෝ

අපි දැන්  ටිකක් මතභේදාත්මක අඩවියකට පිවිසෙන්නට සැරසෙන්නෙමු. මැද පෙරදිග ගැන කියැවෙන වන සෑම අවස්ථාවකම දේශපාලන (සහ නිසැකවම ආගමික) පැත්තක් ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය. රටක් යන්න අර්ථ දැක්වීමට අදාල කරුණු සහ අර්ථ දැක්වීම  පමණක් සලකා බලමු.

සිය රාජ්‍යයන්   “රටවල්” ද යන්න පිළිබඳ විශාලතම මතභේදයට තුඩු දී ඇති රාජ්‍යයන් වන්නේ: පලස්තීනය, ඊශ්‍රායලය සහ කොසෝවෝ ය. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 136 ක් (ඒ කියන්නේ 70% ක් පමණ) පලස්තීනය නිල රටක් ලෙස නිල වශයෙන් පිළිගන්නා අතර ඉතිරි 30% සාමාජික රටවල් එසේ පිළිගන්නේ නැත. එසේ වුවද, පලස්තීනය එක්සත් ජාතීන්ගේ නිල සාමාජිකයෙකු නොවේ. ඊශ්‍රායලය, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් පලස්තීනය නිල රටක් ලෙස පිළිගන්නේ නැත, එබැවින් මෙකී එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද බොහෝ සිතියම්වල ඔබ රටක් ලෙස පලස්තීනය නොදකිනු ඇත.

අනෙක් පැත්තෙන් ගත් කල, ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජික රටක් ලෙස සැලකේ. මෙම කාරණය තිබියදීත්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් — විශේෂයෙන් ඉරානය, සෞදි අරාබිය, පකිස්ථානය, ඉන්දුනීසියාව, උතුරු කොරියාව සහ කියුබාව ඇතුළුව – රටවල් 31 ක් ඊශ්‍රායලය නීත්‍යානුකූල රටක් ලෙස පිළිගන්නේ නැත.

ඊළඟට අපි යුරෝපයේ බෝල්කන් ප්‍රදේශයේ කොසෝවෝ වෙත යොමු වෙමු. එහි ඇත්තේ අමුතුම කතාවකි. පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා රටවල සිතියම් සමග අප කොසෝවෝව නිල වශයෙන් පිළිගන්නා රටවල්  සංසන්දනය කරන්නේ නම් ඒවා සම්පූර්ණයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ බව පෙණී යයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකසිය දහයක් කොසෝවෝව ස්වාධීන රටක් ලෙස පිළිගන්නා අතර ඉතිරි 83 දෙනා විශ්වාස කරන්නේ එය සර්බියාවේ කොටසක් බවයි.

කොසෝවෝ යනු වෙනම රටක නොව තම රටේම, කැරලිකාර පළාතක් බව සර්බියාව විසින් දිගු කලක් තිස්සේ අවධාරනය කර තිබේ. රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි සමහර රටවල් සර්බියානු ස්ථාවරය සඳහා සහයෝගය ලබා දී ඇති අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් කොසෝවෝගේ ස්වාධීනත්වයට සහාය පළකරයි. පලස්තීනය මෙන්,  කොසෝවෝ එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකයෙකු ලෙස නොසැලකේ.  

චීන සහලක්ෂණය

ලෝකයේ රටවල් ගණනය කරන විට චීනය අමුතුම කාරණයක් බවට පත්වෙයි. ඒ මන්දැයි සිතා ගත හැකිද? ගැටළුව වන්නේ  “චීනය” ලෙස හඳුන්වන වෙනමම  ස්ථිතියන් දෙකක් තිබීමයි. පළමුවැන්න වැඩි දෙනෙකුට හුරුපුරුදු මහජන චීන සමූහාණ්ඩුවයි (People’s Republic of China (PRC). “චීනය” යැයි පවසන විට බොහෝ දෙනාගේ  සිතට නැගෙන්නේ එයයි. එනම් දැවැන්ත  කොමියුනිස්ට් චීනයයි; එය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සහ ලෝකයේ විශාලතම ජනගහනය ඇති බවට පුරසාරම් දොඩන රාජ්‍යයකි.

අනෙක් චීනය යනු, චීන සමූහාණ්ඩුව (Republic of China (ROC) වන අතර එය තායිවානය ලෙස ද හැඳින්වේ. අදට පවතින් මෙම  තත්වය හට ගෙන දැන් ශතවර්ෂයකට වඩා ගත වී ඇති අතර ඇත්ත වශයෙන් කිවහොත් එය සංකීර්ණ ය.

එම සංකීර්ණතාව අපි සරල ඉතිහාස පාඩමක් තුළින් වටහාගනිමු. ROC පිහිටුවන ලද්දේ චීනයේ ක්විං රාජවංශය බිඳවැටීමෙන් පසුව 1912 දීය. නූතන රුසියාව, ඉන්දියාව සහ මියන්මාරයේ ඇතැම්  භූමි ප්‍රදේශවලට අමතරව වර්තමාන මොන්ගෝලියාව ද අත්පත් කර ගත් ROC, එවකට නූතන චීනයට වඩා විශාල විය.   එහි රජය 1928 දී චියැං කායි ෂෙක් බලය යටතේ ජාතිකවාදී ඒකාධිපතිත්වයක් බවට පත්විය.  ඉන් කෙටි කලකට පසුව ජාතිකවාදීන් හා කොමියුනිස්ට්වාදීන්  අතර සිවිල් යුද්ධයක් හට ගත්තෙය. එහෙත් 1937 දී ජපාන අධිරාජ්‍යය චීනය මත පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර සිවිල් යුද්ධය කෙටි කාලීනව නතර විය. චීනය තුළ සිටින ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් ඔවුන් අතර මතභේද හා වෙනස්කම් මදකට  පසෙකට දමා ඔවුන්ගේ පොදු සතුරා ව්න ජපනයට  එරෙහිව එක්සත්ව සටන් වැදිණි. 1945 දී ජපනය කොන්දේසි විරහිතව යටත් වූ විට තායිවාන් දූපත නැවත ROC වෙත ලබා දෙන ලදී. 1895 දී තායිවානය ජපානය විසින් බලහත්කාරයෙන් ආඳාගෙන තිබුණි. පොදු සතුරා පරාජයට පත් වූ පසු, පැරණි සතුරන් ඉක්මනින් චීනය පාලනය කිරීම සඳහා වූ සටන නැවත ආරම්භ කළ අතර සිවිල් යුද්ධය ඇතියළි ඇවිළුණේය.  යුද්ධය, 1949 තෙක් තවත් වසර හතරක් පුරා දරුණු ලෙස ඇදී ගියේය

කොමියුනිස්ට්වාදීන් ජයග්‍රාහී වී  මහාද්වීප භූමියේ මහජන චීන සමූහාණ්ඩුව  පිහිටුවනු ලැබීය. ජාතිකවාදී ROC හමුදා තමන්ගේම රජය දිගටම පවත්වාගෙන යාම  සඳහා එම වසරේම තායිවාන් දූපතට පලා ගියහ.

එම දූපතේ සිට ROC, මොන්ගෝලියාව ඇතුළු සමස්ත  චීන දේශය සම්බන්ධයෙන් සිය හිමිකම් දිගටම කියා පායි.  එතැන් සිට ඔවුන් තම රජය දිගටම පවත්වාගෙන යන අතර,  ප්‍රධාන භූමියේ පාලනය දිගටම කරගෙන යන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි(PRC ). මේ අතර, තායිවානය යනු චීනයේම කැරලිකාර පළාතක් ලෙස PRC දිගින් දිගටම කියා සිටින අතර දිවයින දැනට වඩා අන්තර්ජාතික පිළිගැනීම සඳහා ක්‍රියා කළොත්,  එයට එරෙහිව යුද්ධමය පියවර ගන්නා බවට තර්ජනය කර තිබේ.

 PRC හෝ ROC එකිනෙකාව පිළිගන්නේ නැති  අතර දෙපාර්ශවයම මුළු චීනයේම එකම නීති නියෝජිතයා තමන් යැයි කියා සිටිති. දෙපාර්ශ්වය අතර සාම ගිවිසුමක් හෝ නිරායුධ ගිවිසුමක් මෙතෙක් අත්සන් කර නොමැති  අතර, චීනය සහ තායිවානය අතර ප්‍රධාන වශයෙන් පවතින තත්ත්වය කුමක් දැයි විමසුව හොත් කිව හැක්කේ සියවසකට පෙර ආරම්භ වූ  සිවිල් යුද්ධය අදටත්  අඛණ්ඩ පවතිනු දැකිය හැකි බවය.

අද වන විට ROC නිල වශයෙන් පිළිගන්නා ඕනෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම මහජන චීන සමූහාණ්ඩුව (PRC) ප්‍රතික්ෂේප  කරයි.  ROC තවදුරටත් පිළිගනිමින් සිටින රටවල් කුඩා  ලැයිස්තුවට ඇතුළත් වන්නේ: බෙලීස්, බුර්කිනා ෆාසෝ, ඩොමිනිකන් ජනරජය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හයිටි, හොන්ඩුරාස්, කිරිබාටි, මාෂල් දූපත්, නාරූ, නිකරගුවාව, පලාවු, පැනමාව, පැරගුවේ, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, සොලමන් දූපත්, ස්වාසිලන්තය, ටුවාලු සහ වතිකානුවයි.

ඉහත දක්වා ඇති රටවලට අමතරව පෘථිවියේ අනෙක් සෑම රටක්ම ඒ වෙනුවට පිළිගැනීම පිණිස මහජන චීන සමූහාණ්ඩුව  තෝරාගෙන ඇති අතර තායිවානය හෙවත් ROCස්වාධීන ජාතියක් ලෙස නිල වශයෙන් පිළිගෙන නොමැත

තත්වය කෙතරම් මතභේදාත්මක ද යත්, මහජන චීන සමූහාණ්ඩුව අමනාප නොවන පරිදි ඔලිම්පික් උළෙලේ දී පවා තායිවානය ( ROC),  සියළුම නිල අවස්ථා සඳහා “චීන තායිපේ” යන නාමයෙන් තරඟ කළ යුතු ය.

හොඳයි ඉතින් මේ වනවිට ලෝකයේ  ඇති රටවල් ගණන කීය ද? 206?193? 195? 197? පොඩ්ඩක් හෝව්! මේ කතාව තවම ඉවර නැහැ. තව දවසක සාකච්ඡා කරලා තීරණයකට එලඹෙමු.

Answers to Questions You’ve Never Asked (©2017 by Joseph Pisenti) ග්‍රන්ථයෙහි HOW MANY COUNTRIES ARE THERE IN THE WORLD—NOBODY KNOWS! යන පරිච්ඡේදය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.