අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ ආකාරය

Posted by

දකුණු අහසේ තරු නිර්මාණය වන විශාල කලාපයක් වන Carina නිහාරිකාවෙහි(Carina Nebula)  දූවිලි හා වායුවලින් සෑදුණු කුළුණක්

අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ ආකාරය

සූර්ය නිහාරිකාව ලෙස හඳුන්වන දැවැන්ත අන්තස්තාරීය(interstellar) හෙවත් අන්තර් තාරකා වලාකුළක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය සහ එහි ඇති සියල්ල බිහි කළ ආකාරය මේ ලිපිය කියවා දැනගන්න.

අප දන්නා පරිදි සෞරග්‍රහ මණ්ඩලය එහි ජීවිතය ආරම්භ කළේ විශාල, කැරකෙන වායු සහ දූවිලි වලාකුළක් ලෙස, දිශාවකින් හෝ හැඩයකින් හෝ තොරව විශ්වය හරහා කැරකෙන, ඇඹරෙන ආකාරයට ය.

මීට වසර බිලියන 4.6 කට පමණ පෙර මෙම දැවැන්ත වලාකුළ අපගේ සූර්යයා බවට පරිවර්තනය විය. ඉන් පසුව සිදු වූ ක්‍රියාදාමවලීන් ග්‍රහලෝක අටක්, චන්ද්‍රයින් 181 ක් සහ ගණන් කළ නොහැකි නැතිනම් අසංඛ්‍ය ග්‍රහක වලින් (asteroids)සම්පූර්ණ වූ සෞරග්‍රහ මණ්ඩලය බිහි විය. එය වේගයෙන් සිදු වූ ආකාරය පැහැදිලිකරන්නේ පර්යේෂක ටිම් ග්‍රෙගරියි.

ගුරුත්වාකර්ෂණ බිඳවැටීම

එය පිළිවෙලකටට, ග්‍රහලෝක සමූහයක් බවට පත් වීමට පෙර, සෞරග්‍රහ මණ්ඩලයේ සෑම පදාර්ථයක්ම දැවැන්ත නිහාරිකාවක — පාවෙන අන්තර් තාරකා වලාකුළක — කොටසක් විය. මෙම යෝධ වලාකුළ සෑදී තිබුණේ දූවිලි, හයිඩ්‍රජන් සහ වෙනත් වායුවලිනුයි.

ගුරුත්වාකර්ෂණ අස්ථායී වීමෙන් පසුව එය, ඒ වෙතටම කඩා වැටීමට පටන් ගත්තේය. මෙය සමහරවිට අසල ඇති සුපර්නෝවා – පිපිරෙන තාරකාවක් – අභ්‍යවකාශය හරහා කම්පන තරංග යැවීම නිසා විය හැකිය.

ගුරුත්වාකර්ෂණය නිසා දුහුවිලි සහ වායුව වලාකුළේ මධ්‍යයට අඛණ්ඩව ඇදී යන අතර එහි හරය ඉතා උණුසුම් හා ඝන තත්වයට පත් විය.   ‘එය, හිම තව තවත් එකතු වී පහළට පෙරළෙන හිමබෝලයක් ක්‍රමයෙන් විශාල වීමක් හැටියට සසදන්න පුළුව.  තව තවත් ද්‍රව්‍ය ඇතුලට ඇද ගන්නා විට, කේන්ද්‍රය ඝනත්වයට පත් වූ අතර, ගුරුත්වාකර්ෂණය වැඩි වීමෙන් තවත් දූවිලි ඇතුළට ඇදී ගියා” යයි ග්‍රෙගරි පෙන්වාදෙයි, “

නාසා හි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දැවැන්ත සුපර්නෝවාවක ප්‍රසාරණය වන අවශේෂ හසුකර ගත් අවස්ථාව වේල් නිහාරිකාව(Veil Nebula )

ද්‍රව්‍යවලින් 99.9% ක් පමණ වලාකුළ මැදට වැටී සූර්යයා බවට පත් විය. කේන්ද්‍රය උණුසුම් මෙන්ම ප්‍රමාණවත් තරම් ඝන වූ පසු එය න්‍යෂ්ටික විලයනය(nuclear fusion) ඇති කළේය. එවිට දෘශ්‍ය ආලෝකය(ඇසට දකිය හැකි  එළිය) පළමු වරට සෞරග්‍රහ මණ්ඩලයට ගලා ආවේය.

“අවශේෂ වූ 0.1% පදාර්ථය සූර්යයා වටා කක්ෂගත වී පැවතුණේ මෙම අහඹු  හැඩගත් වායු වලාකුළ, පැතලි තැටියක ස්වරූපය ගැනීමට හෙතුවෙමිනි. මූල ග්‍රහලෝක තැටිය(protoplanetary disc) ලෙස හැඳින්වෙන මෙම පැතලි තැටිය තමයි ග්‍රහලෝක හටගත් ස්ථානය බවට පත්වුණේ.’ ග්‍රෙගරි පැහැදිලි කරයි.

ග්‍රහලෝක සෑදීම

මෙම භ්‍රමණය වන තැටිය සූර්යයා වටා විහිදෙන විට(පාරායණය වනවිට) එය සිසිල් වී විවිධ ඝන ද්‍රව්‍ය සෑදීමට පටන් ගත්තේය.

ග්‍රෙගරි පවසන පරිදි, ‘සූර්‍යයා ආසන්නයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගත් නිසා ඛනිජ සහ ලෝහ ඇති විය. තවද තැටියේ අද්දර, සූර්යයාගේ තාපයෙන් බොහෝ දුරින්, අයිස් සහ ඇමෝනියා වැනි අඩු වාෂ්පශීලී ඝන ද්රව්ය සෑදී ඇත‘.

“තැටිය දිගටම සිසිල් වන විට, මෙම  විභ්‍රමණනය වන ඝන ද්‍රව්‍ය එකට ඇලී විශාල ස්කන්ධ පොකුරු ඇති විය.  ඉතිරි වූ දූවිලි සියල්ල එකට එක්කාසු කරමින් අද අප හඳුනා ගන්නා ග්‍රහලෝක බවට පත් වන තුරුම ක්‍රම ක්‍රමයෙන් ඒවා තව තවත් විශාල වී විශාල වූණා” යයි හෙතෙම් වැඩිදුරටත් සඳහන් කරයි.

සහරා කාන්තාරයෙන් හමු වූ කොන්ඩ්‍රයිට් වල කොටසක්: එය කොන්ඩ්‍රූල්ස් සෑදීම පෙන්නුම් කරයි. Chondrites යනු පෘථිවියට පතිත වන වඩාත් සුලභ උල්කාශ්ම(meteorites) වර්ගයකි.

 සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයට ආසන්නයේ ඇති උණුසුම් පාෂාණමය ද්‍රව්‍ය ලෝහ හර සහිත භෞම ග්‍රහලෝක(terrestrial planets) බවට හැඩ ගැසිණ: බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු.

වඩාත් සිසිල්වු අද්දර කලාපයේ, ගෑස් සහ අයිස් යෝධයන්(gas and ice giants) උපත ලැබීය: සෙනසුරු, බ්‍රහස්පති, නෙප්චූන් සහ යුරේනස්  

ග්‍රහක පථය

ග්‍රහලූඑක වල ඇදිල්ලෙන්මිදී ගැලවී ගිය පාෂාණ ග්‍රහක(asteroids) ලෙස ඉතිරි වී සෞරග්‍රහ මණ්ඩලය හරහා ස්ථීර නවාතැනක් නොමැතිව විසිරී ගියේය.

මෙම පාෂාණ බොහොමයක් සූර්යයා වටා පරිභ්‍රමණය වන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර ප්‍රදේශයක වන ග්‍රහක තීරය හෙවත් පථය (The asteroid belt)ලෙසිනි. ඒවා ඉතා විශාල විය හැකිය — ඉන් විශාලතම ග්‍රහකය වන  සෙරෙස්(Ceres), සැතපුම් 600 කට ආසන්න විෂ්කම්භයක් ඇත.

ග්‍රෙගරි පවසන්නේ, ‘ග්‍රහක යනු වසර බිලියන 4.5කට පෙර ග්‍රහලෝක නිර්මාණය වූ යුගයේ ඉතිරි වූ පාෂාණමය සුන්බුන් යනුවෙනි. “පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක මුලින් සෑදූ, කාලයාගේ ඇවෑමෙන් සිසිල් වූ ද්‍රව්‍ය ඒවායේ අඩංගු බැවින් විද්‍යාඥයන් වශයෙන් අපට ඒවා ඉතා වටිනවා. මෙම පාෂාණ පිළිබඳ අධ්‍යයනයෙන් අපට ග්‍රහලෝක සෑදෙන විට තැටියේ පැවති තත්වයන් ගැන බොහෝ දේ පැවසිය හැකිය.” ඔහු පෙන්වාදෙයි.

ප්‍රථම ඝන ද්‍රව්‍යය

සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහක ඒවායේ ඉතිහාසයේ මුල් කාලයේ උණු වී ගොසින් යකඩ හරයක් සහ පාෂාණමය ආවරණයක් ඇති විය. උණු වී යාමේදී බැර ලෝහ, මධ්‍යයට කිඳා බසින අතර සැහැල්ලු පාෂාණය ඉහළට ඉපිලී කබොල්ලක් සාදයි. 

උණු නොවූ වස්තු යනු කොන්ඩ්‍රයිට් ලෙස හඳුන්වන උල්කාෂ්ම වර්ගයකි – ඒවා මුල් සූර්ය නිහාරිකාවේ ඇති වූ අවසාදිත පාෂාණයි. ඒවා උණුවී ගොස්  නැති නිසා, ඒවා සිසිලන මූල ග්‍රහලෝක තැටියේ ඇති වූ මුල් ඝන ද්‍රව්‍යවල ප්‍රාථමික සාම්පල වේ. විද්‍යාඥයින්ට නම් ඉතින් ඒවා සතුකර ගත හැකි වටිනාතම අවශේෂ ද්‍රව්‍ය කිහිපයකි. ඒවා පෘථිවියට පතිත වන වඩාත් සුලභ උල්කාෂ්ම වර්ගය ද වේ.

මෙම පාෂාණ පිළිබඳ පර්යේෂණ කරන ග්‍රෙගරි පවසන්නේ, “සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වූ පළමු ඝන ද්‍රව්‍ය, කොන්ඩ්‍රයිට්වල අඩංගු වේ. ඒවා විශ්ලේෂණය කිරීමෙන් අපට සෞරග්‍රහ මණ්ඩලයේ වයස කොපමණ දැයි හඳුනාගත හැකිය. සෞර නිහාරිකාවෙන් පටන්ගෙන මූල ග්‍රහලෝක තැටියක සිට  අද අප දකින සෞරග්‍රහ මණ්ඩලය දක්වා වූ වසර බිලියන 4.5ක ගමන අපට තේරුම් ගත හැකියි.

“පෘථිවිය හැදුනෙත් මේ නිහාරිකාවෙන් නිසා ඒක තේරුම් ගන්න අපි යන ගමනත් ස්වයං-අනාවරණය නැතිනම් ස්වයං-සොයාගැනීමේ ගමනක්. එය අභ්‍යවකාශයේ  අපේම නිවහන තේරුම් ගැනීමට අපට ඉඩ සලසයි.”  යනුවෙන් ග්‍රෙගරි කියාසිටියි.

Natural History Museum, London  හී පළවන  Pillar of dust and gas forms in the Carina Nebula, a large region of star formation in the southern skies  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.