අපගේ ග්‍රහලෝකයට,  අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පාෂාණමය සහ අයිස් සහිත වස්තූන් ග්‍රහණය කර ගත හැකිද යන්න සහ විද්‍යාඥයින්ට එම වස්තු හඳුනාගත හැක්කේ කෙසේද යන්න ගැන නව අධ්‍යයනයක් ප්‍රශ්න නගයි.

පාෂාණමය වස්තූන් දහස් ගණනක් පෘථිවිය වටා ගමන් කරයි. ඒවායින් කිසිවක්, අපේ ග්‍රහ ලෝකය ආක්‍රමණය කරන්න  පිටසක්වල තාරකා පද්ධතියකින් පැමිණි  ‘ආක්‍රමණිකයන්’ විය හැකිද? (Image credit: Getty)

තාරකා විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ පිටසක්වල තාරකා පද්ධති වලින් ‘කට්ටි පැන්න’ හිතුවක්කාර වස්තූන් පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් ග්‍රහණය කර ගත හැකි අතර වසර මිලියන ගණනක් අපගේ ග්‍රහලෝකය වටා කක්ෂයේ රැඳී සිටිය හැකි බවයි. කෙසේ වෙතත්, මෙම වස්තු බොහොමයක් වත්මන් දුරේක්ෂ මගින් හඳුනා ගැනීමට නොහැකි තරම් කුඩා විය හැකි බව,  arXiv පූර්ව මුද්‍රණ සේවාදායකයේ මැයි 17 වන දින ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකට අනුව හෙළිවෙයි.

“සෞරග්‍රහ මණ්ඩලයට, ඊට පිටතින් ඇති අන්තර් තාරකා අවකාශයෙන්  ඇතුළු වන වස්තූන් බ්‍රහස්පති වෙත සමීප වීමේ ප්‍රතිඵලයක් ලෙස සූර්යයා වටා පිළිගත් සීමා සහිත කක්ෂවලට හසු විය හැකයි,” අධ්‍යයනයේ සම කර්තෘ, හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය  Avi Loeb, විද්‍යුත් තපෑල මගින් Live Science වෙත පැවසීය, “ඒවායින් සමහරක් හසු කරගෙන,  පෘථිවියට ආසන්න වස්තූන් (NEOs) බවට පත්වීමේ හැකියාව අපි විමර්ශනය කරමු.”

මෙම අන්තර් තාරකා “මැදිහත්කරුවන්”, (පර්යේෂක කණ්ඩායම ඒවා හඳුන්වන්නේ එලෙසයි), අපගේ ග්‍රහ පද්ධතියේ ප්දිංච්වීමට පටන් ගැනීමට පෙර ඒවායේ මුල් නිව්හන වන  තරු පද්ධති වලින් ඉවතට ඇද දමන ලද අවස්ථාවේ තිබූ අයිස් පාෂාණවල ස්වරූපය ගනී. කෙසේ වෙතත්, ලෝබ් සහ ඔහුගේ සගයෝ බුද්ධිමත් පිටසක්වල ජීවීන් විසින් නිර්මාණය කරන ලද වස්තූන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළට පැමිණ නතර විය හැකි බවට ඇති හැකියාව බැහැර නොකරති.

අපේ සෞරග්‍රහ මණ්ඩලයට අනවසරයෙන් ඇතුළු වන්නන්

විද්‍යාඥයින්, අන්තර් තාරකා ‘අමුත්තන්’ ගැන උනන්දුව දක්වන්නේ 2017 වසරේ සිටයි.. සුරුට්ටු හැඩැති අභ්‍යවකාශ වස්තුවක් වන ‘Oumuamua නම් පළමු “ආක්‍රමණික” අභ්‍යවකාශ පාෂාණය අපගේ කොස්මික් ගෙවත්තේ තිබී සොයා ගන්නා ලද්දේ ඒ වර්ෂයේ දී ය.

Oumuamua දිගින් අඩි අඩි 1,300 (මීටර් 400) වෙයි. එහි ඉතා දිගටි හැඩය, Oumuamua පළල මෙන් 10 ගුණයක් පමණ දිග බවට පත්කිරීමට හේතුවෙයි. මේ නිසා එය,  අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආවේණික ඕනෑම දන්නා ග්‍රහක හෝ ධූම කේතුවකට වඩා වෙනස් වෙයි. හෙල්ලයක් වැනි හැඩ ගත් මේ අභ්‍යවකාශ පාෂාණය තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් පසු විද්‍යාඥයින් නිගමනය කළේ එය සෞරග්‍රහ මණ්ඩලයට අහම්බෙන් අභිමුඛවීමට ප්‍රථම, වසර මිලියන සිය ගණනකට පෙර කිසිදු තරු පද්ධතියකට සම්බන්ධ නොවී අපගේ මන්දාකිණියේ අයාලේ යමින් සිටින්නට ඇති බවයි.

අන්තර් තාරකා වස්තු සඳහා වූ අලුත් සෙවුමක් මගින්,  ඉක්මනින්ම දෙවන වස්තුව වන රස්තියාදුකාර Borisov  ධූම කේතුව සොයා ගන්නා ලදී.  අයිෆල් කුළුණ ප්‍රමාණයේ අයිස් සහ දූවිලි බෝලයක් වන Borisov සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත දි 2019  සොයා ගන්නා ලදී.

Oumuamua හෝ Borisov යන වස්තූන් දෙකම සූර්යයාට බැඳී නැත. එනම් වස්තූන් දෙකම  සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ හිතුවක්කාර අන්දමටම අවසානයේ ඉන් පිටව යනු ඇත. සුරුට්ටුවක හැඩැති වස්තුව දැනටමත් නෙප්චූන් කක්ෂයෙන් ඔබ්බට පලා ගොස් තිබේ. අධ්‍යයන කතුවරුන්, ඔවුන්ගේ නව පත්‍රිකාවෙන් විමර්ශනය කර ඇත්තේ, වෙනත් අන්තර් තාරකා වස්තූන් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට හසු විය හැකිද (නැතහොත් ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණයට පවා හසු විය හැකිද), ඒ අනුව සෞරග්‍රහ මණ්ඩලයේ රැඳී සිටීමට යම් බලපෑමක් (ඒවාට) එල්ල වේ ද යන්නයි.

උදම් බලවේග වලින් පැමිණෙන්නට ඇති අමුතු, දිගටි හැඩයකින් හෙබි ‘Oumuamua’ අන්තර් තාරකා වස්තුවේ පරිණාමය පිළිබඳ කලාකරුවෙකුගේ නිදර්ශනය. (Image credit:: YU Jingchuan බීජිං ග්‍රහලෝකාගාරයෙන්)

මෙම අදහස අධ්‍යයනය කිරීමට පෙර අවස්ථාවල  ගත් උත්සාහයන්වල දී අවධානය යොමු කෙරුණේ සූර්යයා සහ බ්‍රහස්පති ග්‍රහයා (අභ්‍යවකාශ වස්තූන්) ග්‍රහණය කර ගැනීම කෙරෙහිය. නව අධ්‍යයනයේදී පර්යේෂකයෝ, පෘථිවියට අන්තර් තාරකා ‘ආගන්තුකයින්’ හසුකර ගැනීමට සහ ඒවා “පෘථිවි ආසන්න වස්තූන්”(Near Earth Objects – NEOs)  ලෙස රඳවා ගත හැකිද යන්න විමර්ශනය කිරීමට පටන් ගත්හ.

සංඛ්‍යාත්මක සමාකරණ නැතිනම් විඩම්භන භාවිතා කරමින්, පර්යේෂක කණ්ඩායම සොයා ගත්තේ පෘථිවියට එහි කක්ෂයේ අන්තර් තාරකා වස්තූන් වරින් වර ග්‍රහණය කර ගත හැකි බවයි. කෙසේ වෙතත්, බ්‍රහස්පති ග්‍රහයාගේ බලපෑම හා සසඳන විට එය කුඩා වන අතර, අන්තර් තාරකා වස්තු අල්ලා ගැනීමේදී බ්‍රහස්පති,  පෘථිවියට වඩා දල වශයෙන් දහස් ගුණයකින් කාර්යක්ෂම වේ.

මීට අමතරව, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසු වන ඕනෑම වස්තුවක් අස්ථායී වන අතර අපගේ පෘථිවිය වටා නොනැසී පැවතීමට හැක්කේ දැනට දන්නා NEOs වලට වඩා කෙටි කාලයකට  බවයි. අවසානයේදී, මෙම වස්තූන් අනෙකුත් ග්‍රහලෝක හෝ සූර්යයා සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් කැලඹීමට ලක්වන අතර ඒවා මීට පෙර ඒවයේ ග්‍රහලෝක පද්ධතියෙන් ඉවතට විසි වූවාක් මෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් ද ඉවතට විසි වනු ඇත.

දැනට පෘථිවිය වටා කක්ෂගත වන අන්තර් තාරකා වස්තු පවතින බවට කණ්ඩායම න්‍යායාත්මකව නොසලකන නමුත්, තාරකා විද්‍යාඥයින් මෙම හැකියාව ගැන දිගටම පරීක්ෂා කළ යුතු බව Loeb පැහැදිලි කළේය. 2024 අගෝස්තු මාසයේදී විශ්වය දෙසට එහි ඇස විවෘත කිරීමට නියමිතව ඇති Vera C. Rubin නිරීක්ෂණාගාරය මෙම ගවේෂණයට උපකාර කළ හැකිය.

“පරිගණක විඩම්භන භාවිතයෙන් අපට පෙණී ගියේ,  [දළ වශයෙන්] පාපන්දු පිටියක ප්‍රමාණයේ ග්‍රහණය කරගත් වස්තූන් කිහිපයක් රුබින් නිරීක්ෂණාගාරයට හඳුනාගත හැකි බවයි. එය සෑම දින හතරකට වරක් පික්සල් බිලියන 3.2 ක කැමරාවකින් දකුණු අහස සමීක්ෂණය කරනු  ඇති බවය” යි Loeb වැඩිදුරටත් කියා සිටියි.

පෘථිවිය වටා ඇති අන්තර් තාරකා වස්තු අධ්‍යයනය කිරීමෙන් දුරස්ථ තරු පද්ධති සෑදීම පිළිබඳ නව අවබෝධයක්  ඇතිකර හැකිය. කෙසේ වෙතත්, Loeb පෙන්වාදෙන්නේ, මෙම මැදිහත්කරු පරීක්ෂණය තුළින් වඩා අසාමාන්‍ය දෙයක් හෙළි කර ගැනීමේ කුඩා සම්භාවිතාවක් තිබිය හැකි බවයි.

“අන්තර් තාරකා වස්තු ආරම්භ වන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතින් වන අතර, මානව වර්ගයා විසින් දියත් කර ඇති අන්තර් තාරකා ගවේෂණ පහක් වන Voyager 1 සහ 2, Pioneer 10 සහ 11, සහ New Horizons වලට සමානව තාක්‍ෂණික සම්භවයක් ඒවාට තිබිය හැක” යනුවෙන් Loeb කියා සිටියි, (මෙම පහෙන් දැනටමත් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටව ගොස් ඇත්තේ වොයේජර් 1 සහ 2 පමණකි) “අන්තර් තාරකා වස්තුවලට  කෘතිම සම්භවයක් ඇත්නම් … ඒවාට, පිටසක්වල තාක්ෂණික ශිෂ්ටාචාර ගැන අපට පැවසිය හැකිය.”

Live Science හී පළවී ඇති Earth may have debris from alien star systems trapped in its orbit, new research suggests යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending