විදු නැන නුවණ – Science Literacy for All

සදාචාරය අපේ සහජ උරුමයක් වුණේ කෙසේද?

දුක්මුසු අවස්ථාවක පසුවන තැනැත්තෙකු හා කතා කරන විට ඔබේ මුහුණ ද සිරුරද නිතැතින්ම දුක්මුසු ඉරියව්වක් ගන්නේ දුකටපත්ව ඇති පුද්ගලයා සමග සහකම්පනයක් ඇතිවීම නිසයි. දයානුකම්පාව, සහයෝගිතාවය, සාධාරණත්වය හා ප‍්‍රත්‍ය උපකාරය වැනි ගති ලක්ෂණ සාමාන්‍යයෙන් අප දකින්නේ හුදෙක් මනුෂ්‍යන්ට පමණක් අදාලවන ගුණාංග ලෙසයි.

 

එහෙත් වානර හැසිරීම් පිලිබඳ විශේෂඥයෙකු වෙන විද්‍යාඥ ප්රාන්ස් ඩි වාල් ගේ මේ අපූරු ටෙඞ් කතන්දරය එම මතය අභියෝගයට ලක් කරමින් සදාචාරය පරිණාමයෙන්ම අපට උරුම වූවක්බව පවසනවා.

ප්රාන්ස් ඩි වාල්

මගේ මුල්ම පොත මා ලීවේ චිම්පන්සින්ගේ හැසිරීම ගැන. විම්පන්සි කියල කියන්නේ බොහොම බල කාමයෙන් පෙළෙන සත්ව විශේෂයක්ය යන්න‘යි ඒ පොතට තේමාව වුණේ. ඒ වෙන කොට සත්ව චර්යාව ගැන කෙරුණු බොහෝ පර්යේෂණ වලට පදනම වුණේ සත්ව විශේෂ වල ආක්‍ර‍මණශීලි හැසිරීම හා තරඟකාරී ස්වාභාවයයි. මනුෂ්‍යන්ද ඇතුලුව මුලූ සත්ව රාජධානියේ සෑම සතෙක්ම පාහේ තම වර්ගයා සමග තරග කරන ඇතුලාන්තයෙන්ම ආක‍්‍රමණශීලී අය බවයි එකල මාද ඇතුලුව බොහෝ සත්ව විද්‍යඥයන්ගේ මතය වුණේ. කොටින්ම කිව්වොතේ අපි හැමකෙනෙක්ම හුදෙක් තම තමුන්ගේ ලාභය තකා වැඩකරන අය බවයි එමගින් පිළිගැණුනේ.

චිමිපන්සින් අතර ඇති බල අරගලය, ආධිපත්‍ය සහ ආක‍්‍රමණශීලීත්වය ගැන පර්යේෂණ කරන අතරතුර මා නිරීක්ෂණය කළ අපූරු දෙයක් වුණේ දබරයක යෙදෙන චිම්පන්සින් දෙදෙනෙක් සැමවිටකම පාහේ දබරය අවසානයේ දී එකිනෙකාට ලංවී නැවත සමාදාන වන බවයි. උනුන් හපා කමින් දබර කරන තරුණ චිමිපන්සි දෙදෙනෙකුගේ දබරය අවසන් වුණේ ගස් දෙබලක පිහිටි අත්ත අගදී. එතෙනදී එක චිමිපන්සියෙක් අනෙකා වෙත අත දිගු කර සමාදානයට කැමැත්ත පලකළා. ඉන්පසු චිමිපන්සින් දෙදෙනාම ගස් දෙබලට පැමිණ එකිනෙකා සිප වැළඳ ගෙන සමාදාන වුණා.

මේ අපූරු හැසිරීම බොහොම කුතුහලය දනවන දෙයක්. ඒ වෙන කොට හැම සත්ව විද්‍යාඥයෙක්ම පාහේ දැරූ මතය වුණේ සත්වයන් ස්වාභාවයෙන්ම තරගකාරීය, ආක්‍රමණශීලීය යන්නයි. ඒ අනුව ඕනෑම සතෙක් එක්කෝ ජයගන්න ඕනැ, නැත්නම් පරාජය වෙනන් ඕනැ. ඒත් දබරයකට පස්සේ දිනුම් පැරදුම් නොතකා චිමිපන්සින් මේ අන්දමට සමාදාන වෙන්නේ ඇයි?. බැලූ බැල්මටම එවැනි හැසිරීමක් තර්කානුකූල නැහැ. මේ සමාදානවීමේ හැසිරීම බොනෝබෝ වර්ගයේ චිමිපන්සින් අතර ඉතා බහුලව ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා. මෙයින් හැඟෙන්නේ ගැටුම් නිසා ඉඳහිට පලුදු වෙන නමුත් එකිනෙකා අතර ඇති නිරන්තර සබඳතාවය සත්ව විශේෂයේ පැවැත්ම සඳහා ඉතා වටිනා එකක් බවයි. ඒනිසාම ඒ පලූද්ද මකා ගැනීමට යමක් කළ යුතු නිසයි සමාදානය අවශ්‍ය වන්නේ. පර්යේෂණ ගණනාවකින් හෙළි වූ මේ අපූරු නිරීක්ෂණ වලට පසු මිනිසුන්ද ඇතුලුව සත්ව රාජධානියේ චර්යාවන් පිළිබඳ මා දැරූ මතය සෑහෙන දුරට වෙනස් වෙන්නට පටන් ගත්තා.

දැන් දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, දර්ශනවාදය වැනි විෂයන් වලදී අප බොහෝවිට අහන දෙයක් තමයි මිනිසුන් හැසිරෙන්නේ බොහෝවිට වෘකයන්ගේ වගෙයි යන කියමන. ඒ කියන්නේ වෘකයා වගේ යමක් ඩැහැගන්නමයි අපත් බලන්නේ. කොටින් කිව්වොත් ස්වාභාවයෙන්ම මිනිස්සු ආත්මාර්ථය පෙරටු කොට ගත් නපුරු සත්තු ජාතියක් යන මතය‘යි ඒ අනුව අපට අදහන්නට සිදුවී තිබුණේ. මා හිතන්නේ මේ යෙදුම එක පැත්තකින් වෘකයන්ට කරන බලවත් අසාධාරණයක්. මොකද වෘකයන් යනු ඉතාමත්ම සහජීවනයෙන් ජීවත් වෙන සත්ව ජාතියක්. අනෙක් අතට ඒ යෙදුම මනුෂ්‍යන්ටත් කරන අසාධාරණයක්. මන්ද මනුෂ්‍ය වර්ගයා යනු අප සිතනවාට වඩා බෙහෙවින් සහජීවනශීලී අන්‍යන්ගේ දුකේදී නිබඳව සහකම්පනයට පත්වන සමාජශීලී සත්ව කොට්ඨාශයක්.

මනුෂ්‍යන්ගේ සදාචාරාත්මක හැසිරීමට තුඩුදෙන හේතු මොනෙවාද යන ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් බොහෝවිට වැදගත් සාධක දෙකක් ඉදිරිපත් කරනවා. ඉන් එකක් මනුෂ්‍යයන් සතු යුක්තිය හා සාධාරණය මත පදනම් වුණු අනොන්‍ය ප්‍රතිඋපකාරී ස්වභාවයයි. අනෙක දයානුකම්පාව මත පදනම් වුණු මනුෂ්‍යයන්ගේ සහකම්පනශිලී ගුණයයි. මානව සදාචාරයට හේතු මේ සාධක දෙකට පමණක් සීමා නොවූවද, ඒ සාධක දෙකෙන් තොරව මනුෂ්‍යන්ට සාදාචාරාත්මක චර්යාවක් ඇතියැ‘යි විස්තර කිරීම අපහසුයි.

මෙහිදී අපේ සදාචාරය සත්ව පරිනාමයේ දායාදයක් යන්න පැහැදිලි කිරීමට මං උදාහරණ කිහිපයක් දක්වන්නම්. දශක ගනනාවකට පෙර ය‘ර්ක් ප්‍රිමාටා මධ්‍යස්ථානයේදී චිමිපන්සින් යොදා කළ පර්යේෂණයකින් මා පටන්ගන්නම්. මේ ස‍ඳහා යොදාගත්තේ තරුණ චිමපන්සින් දෙදෙනෙක්. ඔවුනට තරමක් දුරින් තබා ඇති පෙට්ටියක ආහාර දමා තිබුනා. ඒත් එම පෙට්ටිය එක චිම්පන්සියෙකුට පමණක් ඇද ගැනීමට නොහැකි තරම් බරින් වැඩියි. ඒ නිසා චිමිපන්සින් දෙදෙනාම එක්ව මනා සංයමයකින් එකවිට පෙට්ටිය ඇද්දා. ඉන්පසු ඉන් එක චිමිපන්සියෙක් පෙට්ටියේ තිබූ ආහාර වලින් හොඳට සප්පායම් වුණා. ඒ චිමිපන්සියා පෙට්ටියේ තිබුනු ආහාර සම්පූර්ණයෙන් ඉවර කළා. ඊට පස්සේ අනෙක් චිමිපන්සියාට පෙට්ටිය ගැන තිබුනු උනන්දුව සම්පූර්ණයෙන් නැතිවෙලා ගියා.

මේ සිද්ධයේදී නිරීක්ෂණයට ලක්වුනු වැදගත් කරුණු දෙකක් තිබුනා. ඉන් එකක් නම් තමන්ට තනිවම පෙට්ටිය ඇදගැනීමට බැරිබව වටහා ගත් චිම්පන්සියා ඒ සඳහා අනෙකාගේ සහාය බලාපොරොත්තු වූ බවයි. දෙවෙනි කාරණය ආහාර ගැන උනන්දුවක් නොදැක් වූ අනෙක් චිමිපන්සියා කිසිදු ලාභයක් බලා පොරොත්තු නොවී සිය සගයාගේ සහායට පැමිණීමයි. ඌ එසේ සහාය දැක්වීමට පැමිණියේ ඇයිදැ‘යි යන පැණයට දියහැකි පිළිතුර එසේ සහාය දැක්වීම මතු අවස්ථාවකදී තමන්ට ප්‍ර‍ති උපකාර ලබා ගැනීමට හේතුවන බවයි. චිමිපන්සින්, ගොරිල්ලන් වැනි ප‍්‍රිමාටාවන් හා අනෙකුත් බොහෝ සීපාවන්ද ඒ අන්දමින් ප‍්‍රත්‍ය උපකාර දක්වන බවට සාක්ෂි එමටයි.

මේ හා සමාන ප‍්‍රතිපල අලි ඇතුන් යොදවා කල පර්යේෂණ වලින්ද ලබාගෙන තිබෙනවා. ඒ පර්යේෂණ වලින් තහවුරු වුනේත් අලි ඇතුන්ද එකිනෙකාට සහයෝගය දක්වන්නේ බොහෝවිට මතු ප්‍රත්‍ය උපකාර ලබා ගැනීම සඳහා බවයි.

මගේ පර්යේෂණ වලට ලක් වුණු ඊලග වැදගත් කාරණය සහකම්පනශීලීභාවය හෙවත් තම සත්ව සමාජයේ අනෙක් සාමාජිකයන් ගැන අවස්ථානුකූලව ඇතිවෙන සහනුභූතියයි. මේ කියන සහනුභූතිය හෙවත් සහකම්පනය අංග දෙකකින් සමන් විතයි. ඉන් එකක් නම් අනෙකාගේ සංවේදනය සහ හැගීම් තෙරුම් ගැනීමට කෙනෙකුට ඇති හැකියාවයි. අනෙක ඒ නිසාම සිත් සසලවීමෙන් ඇතිවන දයානුකම්පිත චිත්තසන්තානයි.

මේ අංග දෙකට අනුකූලව දක්වන ප්‍රතිචාරයන්ට සුවිශේෂ වූ හැසිරීම් දෙවර්ගයක් තිබෙනවා. ඉන් එකක් ශරීරයේ ඉරියව් හා සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් දුක්මුසු අවස්ථාවක පසුවන තැනැත්තෙකු හා කතා කරන විට ඔබේ මුහුණ ද සිරුරද නිතැතින්ම දුක්මුසු ඉරියව්වක් ගන්නවා. ඒ ආකාරයේ ශාරීරික ප්‍රතිචාර ඔබේ බල්ලාද ඇතුථ බොහෝ සීපා සතුන්ටද තිබෙන බව ඔබට නිරීක්ෂණය කළ හැකියි. තම නිවෙස්වල ඉබ්බන් හෝ පිඹුරන් වෙනුවට බල්ලන් සහ බළලූන් ඇති කිරීමට අප පෙළඹෙන්නේ උරගයන්ට මෙන් නොව තම සහකම්පනශීලීභාවය ශාරීරික ඉරියව් මගින් අනෙකාට ප්‍රදර්ශනය කිරීමට එම සීපා සතුන්ට හැකි බැවිනුයි. අනෙක් හැසිරීම් වර්ගය නම් අනෙකා සංජානනය කිරීම හෙවත් උද්ගතව ඇති තත්වය අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් වටහා ගැනීමේ හැකියාවයි. ඒත් මේ දෙවැනි හැසිරීම් වර්ගය ප්‍රිමාටාවන් හා අලි ඇතුන් වැනි සතුන් හැරෙන කොට අනෙක් සිව්පාවුන් අතර ඒ තරම් තදින් නැහැ.

සහකම්පනයේදී මෙසේ අන්‍යන් සමග සහකරණය වීමට ඇති හැකියාව ඉපැරනි කාලයේ සිට සීපාවන් අතර පැවත එන ලක්ෂණයක්. මනුෂ්‍යයන් අතර මේ සහකරණ ලක්ෂණය පෙන්වන එක් අවස්ථාවක් තමයි එක් අයෙක් ඈනුමක් ඇරි විට තවකෙකු ඈනුමක් ඇරීම. එය අනෙකා සමග සහකම්පනය වීමට ඇති නැඹුරුව නිසා නිතැතින්ම ඇති වන දෙයක්.

මේ පර්යේෂණ කටයුතු වලදී වඩාත් සංකීර්ණ හැසිරීම් ගැනද අපේ අවධානය යොමු වුණා. වරක් සටනකින් පැරදුනු චිම්පන්සියෙක් ලතෝනි ගසමින් වැලපෙන්නට පටන් ගත්තා. එවිට ඌට ලංවුනු යොවුන් චිම්පන්සියෙක් උගේ කරවටා අතක් දමා ඌ සනසන්නට ඉදිරිපත් වුණා. එය සහකම්පනය නිසා ඇතිවූ හැසිරීමක්. මේ හා සමානව මිනිස් දරුවන් තුළ ඇති වන සහකම්පනය අත්හදා බැලීමට හොඳ ක්‍රමයක් නම් දුකට පත්වූවෙකු ලෙස පවුලේ අයෙකු රගපෑමයි. එවිට දරුවා තුළ ඇති වන සහතම්පනය ඔහුගේ ඉරියව් වලින් කදිමට දැකගත හැකියි.

මිනිසුන් මෙන්ම චිමිපන්සින්ද තම සහෘදයන්ගේ සුභසාධනය ගැන උනන්දු වෙනවාද? මේ පැනයට පිළිතුරු සෙවීම සඳහා අප කළ එක් පර්යේෂණයකදී චිම්පන්සින් දෙදෙනෛකු සහ භාජනයක දැමූ පාට දෙකක ටෝකන් යොදා ගත්තා. චිම්පන්සින්ට කරන්නට තිබුණේ වරකට එක් අයෙකු බැගින් තමන් කැමැති පාටක ටෝකනයක් අරගෙන මේසයක් මත තැබීමයි. ටෝකනය රතුනම් රතු ටෝකනය තැබූ චිමිපන්සියාට පමණක් කෑමට යමක් ලැබුනා. එවිට අනෙකා කනස්සල්ලෙන් බලාගෙන සිටියා. ඒත් නිල්පාට ටෝකනයක් තෝරාගත් විට දෙදෙනොටම කෑම ලැබුනා. කිහිප වරක් මෙසේ ටෝකන් තේරීමෙන් පසු චිමිපන්සින් දෙදෙනාම දිගින් දිගටම නිල් ටෝකන් පමනක් තෝරා ගත්තා. මෙවැනි පරීක්ෂණ කිහිපයකින්ම පෙනී ගියේ චිමිපන්සින් අනෙකාගේ සුභසාධනය තම යුතුකමක් කොට සලකන බවයි.

මේ හා සමානව කැපුචින් වඳුරන් යොදා කළ තවත් පර්යේෂණ කිහිපයකින් ඒ සතුන් තුළ සාධාරණත්වය පිළිබඳ හැගීම් ඇති බවද අප තහවුරු කළා.

මේ සියල්ලෙන් අපට වැටහී ගියේ මිනිසුන් තුළ ඇති සබැඳියාවන්, දයානුකම්පාව, ලතෙත් ගුණ ආදි සදාචාරාත්මක හැගීම් අපට උරුම වන්නේ අපේ පරිණාමයෙන්ම බවයි. මෙතෙක් මා විස්තර කල දෑට වඩා වැඩි දෙයක් අපේ සදාචාරයේ තිබිය හැකි වුවද ප්‍රිමාටාවන්ගෙන් උරුම වූ සහකම්පනශීලී බව, දුකට පත්වූවන් සැනසීමට ඉදිරිපත් වීමේ ගුණය, ප්‍රත්‍ය උපකාරය වැනි සමාජශීලී ගතිගුණ වලින් තොරව අපේ සදාචාරාත්මක හැසිරීම මේ අන්දමින් ඇති වෙනේනේ නැහැ. අපේ පර්යේෂණ වලින් හෙලිදරව් වන්නේ මැවුම්කරුවෙකුගේ හෝ ආගමික විශ්වාසයක මැදිහත් වීමකින් තොරව හුදෙක් පරිණාමයෙන්ම උරුම වූ යහගුණ සම්පන්න මානව සදාචාරයක් මනුෂ්‍යන්ට ඇති බවයි.

සාර සංග්‍රහය ©ජයා පත්මපානි

පහත දැක්වෙන වීඩියෝවෙන් ප්‍රාන්ස් ඩි වාල්ගේ සම්පූර්ණ කතාවට කන්දිය හැකියි. වීඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් පසු දකුණු පහලින් ඇති cc නැමැති බොත්තම ඔබා ඉංග්‍රිසි උපසිරැසි තෝරාගත හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: