මිහිකත  රැකගන්නේ කෙසේද?: පොඩිත්තන්ට මාර්ගෝපදේශයක්!

Posted by

අපගේ පොඩිත්තන්ට අපගේ ලෝකය වෙනුවෙන් ධනාත්මක වෙනසක් කිරීමට කොතරම් අවශ්‍ය දැයි අපි දනිමු! ඉතින්, පෘථිවිය බේරා ගැනීම සඳහා අපේ පොඩිත්තන්ට දායක වන්නට හැක්කේ කෙසේදැයි දැන ගැනීමට දිගටම කියවාගෙන යන්න…

1. පදිංචි තැන් ‍රැක ගන්නා වීරයෙක් වන්න!

ලොව පුරා සෑම තැනකම වනගත ප්‍රදේශ ප්‍රශ්න වලට මුහුණ පා ඇත. ලොවෙහි ජනගහනය වැඩි වෙත්ම, අපි අපේ නිවාස, අපේ ගොවිපලවල්, අපේ කර්මාන්තශාලා සහ අපේ මාර්ග ඉඩම් සඳහා වැඩි වැඩියෙන් ඉඩම් පවරාගෙන ඇත.

ගොවිතැන් කටයුතු හෝ දැව කර්මාන්තය සඳහා වැසි වනාන්තර තුළ සෑම දිනකම ගස් අක්කර 80,000ක්  කපා දමනු ලැබේ. වෙනත් රටවල,  තණබිම්, දිය යට වාසස්ථාන වැනි වාසස්ථාන සහ තෙත් බිම්ද  සහ එසේම, ඒවායෙ ජීවත් වන්නා වු සතුන් සහ ශාක ද අවදානමට ලක්ව ඇත.

වාසනාවකට මෙන්, මෙම වටිනා ස්ථාන ආරක්ෂා කරගැනීම පිණිස, බොහෝ අය වෙහෙස මහන්සි වී වැඩ කරති.  ඉතින් පොඩිත්තන්ට ද ඒ අතුරෙන් එක් අයෙකු බවට පත්විය විය හැකිය!

 ඉතින්වාසස්ථාන සුරැකීම පිණිස පොඩිත්තන්ට උදව් විය හැක්කේ කෙසේද?

ඕ        – තිරසාර බවට නොගැලපෙන ෆාම් ඔයිල්(ක‍ටු පොල්) අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටීමෙන් වන විනාශයට එරෙහිව නැගී සිටින්න.

ඕ        – ප‍ටු මං පෙත් පාවිච්චි කිරීමෙන් ඔබේ පළාත්බද වාසස්ථාන ආරක්ෂිතව තබා ගන්න.

ඕ        – ස්වභාවික ලෝකයේ සතුන් සඳහා ඉඩක් වෙන් කිරීමෙන් ඔබේ ගෙවත්ත වනජීවී හිතකාමී තැනක් බවට පත් කරන්න! ඔබට ‘මී මැසි හෝටලයක්’ ගොඩනගා ගත හැකිය, ලී කඳන් ගොඩ ගැසිය හැකිය, නැතහොත් පොකුණක් නිර්මාණය කළ හැකිය.

ඕ        – ඔබට එළිමහනේ සරන බළලෙකු සිටී නම්, අවදානමට ලක්විය හැකි වන සතුන්ට ඔහු පැමිණෙන බව අසා  පැන යාමට (ඔවුන්ට) හැකි වන පරිදි බළලාගේ කරපටියේ සීනුවක් සවිකරන්න!

2. භාවිතය අඩු කරන්න, නැවතත් භාවිතා කරන්න, ප්‍රතිචක්රීකරණය කර භාවිතයට ගන්න!

අප අද ජීවත් වන්නේ ‘ඉවතලන සංස්කෘතියක්’ තුළය. අපේ බොහෝ දේවල් කල් පවතින ලෙස තනා නොතිබීම එම සංස්කෘතියේ ලක්ෂණයකි. සෑම වසරකම, එක්සත් රාජධානියේ සෑම නිවසකම ඉවතලන අපද්‍රව්‍ය ටොන් 1 ක් නිපදවේ; එ නම් මහා සුදු මෝරෙකු හා සමාන බරක් පමණ වේ !

ඔය ‘ඉවතලන සංස්කෘතියක‘යේ නරකම දෙය නම්, අප ඉවතලන දෙයින් 60%ක් ඇත්ත වශයෙන්ම ප්‍රතිචක්රීකරණය කළ හැකි ඒවා වීමයි!  ඔබ කසළ දමන්නේ නිව‍රැදි කසළ බඳුනට  බව සහතික කර ගනු වස්, සෑම කසළ කැබැල්ලකම ලේබලය පරීක්ෂාකිරීම අතිශය  වැදගත් වන්නේ ඒ නිසයි.

ඊටත් වඩා හොඳ දෙයක් තිබේ:  දේවල්  අඩුවෙන් මිලට ගැනීමෙන්, ඔබ සතුව ඇති දේවල්  වඩා හොඳින් රැකබලා ගැනීමෙන් සහ පැරණි හෝ කැඩුණු දේවල් අලුත්වැඩියා කිරීම හෝ නැවත භාවිතා කිරීමෙන්, ඒ සඳහා මාර්ග සොයා ගැනීමට හැකිය.  එවිට දේවල් සිතා නොබලාම ඉවතලන පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම වළකින්නට ඔබට පුළුවනි.

ඉතින්, ඔබේ කැලිකසළ අඩු කර ගන්නේ කෙසේද?

ඕ        – ඔබ යමක් ඉවත දැමීමට පෙර, මදකට එය නතර කර, ඉවත දමන දෙය භාවිතා කළ හැකි වෙනත් ප්‍රයෝජන ගැන සිතන්න! නිදසුනක් වශයෙන්, මුළුතැන්ගෙය පිරිසිදු කිරීම පිණිස පාවිච්චි කර ඉවත දැමිය හැකි කඩදාසි වර්ග භාවිතා කරනවා වෙනුවට, පැරණි ඇඳුම් හෝ ඇඳ ඇතිරිලි  පිස්දැමීමට භාවිත කරන රෙදිකඩ  බවට පත් නොකර ගන්නේ මන්ද? ඒ රෙදිකඩ, ඔබට  නැවත නැවතත් භාවිතා කළ හැකිය!

ඕ        – ඔබේ ඇඳුම්වල කුඩාවට  ඉරී ඇති තැන්, තව  කලක් පවතින පරිදි සකස් කරගන්නේ කෙසේදැයි ඔබට උගන්වන්නේ දැයි වැඩිහිටියෙකුගෙන් විමසන්න; විමසා ඉගෙන ගන්න! එය මුදල් අපතේ යාම වළක්වනවා පමණක් නොව, ඔබේ ප්‍රියතම ඇඳුම තවත් කලක් භාවිත කිරීමට පුළුවන. ඒවගේම ඇත්තටම ඔබට යම් දෙයක් ඉවත දමන්න කල්පනා කරනවා නම්, ඒ වෙනුවට ඔබට එය පුණ්‍යායතනයට දිය හැකි දැයි සොයා බලන්න.

ඕ        – නැවත භාවිතා කළ හැකි ජල බෝතල් භාවිතා කිරීමෙන්, වෙළඳසැල් වෙත එන විට නැවත භාවිතා කළ හැකි බෑග්   ගෙන ඒමෙන් සහ පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල්, බෑග් වැනි දේවල් මහ පාරේ, උද්‍යානවල හෝ වෙනත් තැන් තැන්වල දමා එන්නේ නැතිව සෑම විටම ඔබේ නිවසට් රැගෙන යාමෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කරන්න.

ඕ        – ප්ලාස්ටික්වලින් තොර තෑගි සාදා ගන්නා ආකාරය ඉගෙන ගැනීමෙන් සහ පාසැලේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, අවම කිරීමෙන්  ප්ලාස්ටික් දූෂණයට එරෙහි සටන තවත් පියවරක් ඉදිරියට ගෙන යන්න!

3. හරිත ආහාර(green eater) හෙවත් පරිසරයට හානිකර නොවන්නාවූ ආහාර අනුභව කරන්නෙකු වන්න!

(පරිසරයට හානිකර නොවන්නාවූ ආහාර මොනවා දැයි සොයා බැලීම ඔබට හොඳ අභ්‍යාසයක් විය හැකිය!)

ඉස්සර කාලේ  මිනිස්සු හිතුවේ, අපේ මේ ග්‍රහලෝකයෙන් කිසිදු ප්‍රතිවිපාකයක් නොමැතිව අපට අවශ්ය  ඕනෑම දෙයක් ගන්න අපට පුළුවන් කියලායි! දැන්, අපි දන්නවා ඒකඇත්තක් නොවේ කියලා. කිසිදු වග විභාගයකින් තොරව අපට අවශ්‍ය විටෙක, අපට අවශ්ය  ප්‍රමාණයටම අප දිගටම ගත්තොත්,   අපේ ග්‍රහලෝකයේ සම්පත් යම් දිනක අහවර වන්නට පුළුවනි.

දරා ගත හැකි අන්දමට නැතහොත් තිරසාර ලෙස  ජීවත් වීමට අප උත්සාහ කිරීම වැදගත් වන්නේ එබැවිනි.  අපගේ ජීවන රටාව තුළ අප කරන තේරීම් ඔක්කෝම,  අධික ලෙස මසුන් ඇල්ලීම, ජල හිඟය(සැමට ලබාගැනීමට ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය නොමැති වීම) සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රශ්න සියල්ල කෙරෙහි බලපායි. වාසනාවකට මෙන්, ඊට පිළියම් වශයෙන් උදව් කිරීමට අපට කළ හැකි බොහෝ දේ ඇත!

ලොව පුරා, ටොන් මිලියන 360 ක අති දැවන්ත මස් තොගයක්  සහ මාළු ටොන් මිලියන 156 ක් සෑම වසරකම අප විසින් කා දමනු ලැබේ. ඇත්තවශයෙන්ම, එය විශ්මයජනක ලෙස විශාල ප්‍රමානයකි!

අපි හැමෝටම (ටික ටික වුණත් කමක් නැහැ) මස් මාළු පරිභෝජනය යම විදිහකට අඩු කරගන්න පුළුවන් නම්, එය ස්වාභාවික පරිසර පද්ධති කෙරෙහි ඇති වන පීඩනය බැහර කර ගන්නට මෙන්ම, (අපට මස් මාළු සපයන) මෙම සතුන්ට – සහ ඔවුන්ගේ වාසස්ථානවලට සුබ අනාගතයක්  ඇති බව සහතික කරන්න පුළුවන් වේවි.

ඉතින්, ඔබ හරිත ආහාර අනුභව කරන්නෙකු වන්නේ කෙසේද?

ඕ        – නිර්මාංශ හෙවත් මස් මාළුවලින් තොර ආහාර ඔබේ  කෑම අතරට එක් කරගැනීමට උත්සාහ කළ හැකිදැයි ඔබේ පවුලේ අය සමඟ කතාබහ කර  විමසා බලන්න.  මසින් තොර සහ ශාක පදනම් වූ කෑම වට්ටෝරු රාශියක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකිය. නැතහොත්  එළවළු යොදා ගන්නා ඔබටම් සුවිශේෂී කෑම වට්ටෝරු පිළියෙල කරගැනීමට උත්සාහ කළ හැකිය!

ඕ        – ඔබේ ආහාර ඔබ වෙත එන්නේ කොයිබින්ද යන්න සොයා දැනගන්න! ඔබ සුපිරි වෙළඳසැලක සිටින විට, නිල් MSC ලේබලය අලවා ඇති ටූනා මාළු ටින් වැනි වැනි, තිරසාර ලෙස මසුන් ඇල්ලූ බවට ඇති සලකුණු සහිත  දේවල් පරීක්ෂා කිරීමට වැඩිහිටියෙකුගෙන්  උදව් ඉල්ලා සිටින්න. මත්ස්‍ය ගහනය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ආකාරයෙන් මේවා වගකීමෙන් යුතුව මත්ස්‍ය සම්පත නෙලා ගෙන ඇති බව සහතික කරගන්න.

4. ඔබ භාවිතා කරන දේ ගැන විමසිල්ලෙන් සිටින්න!

අපගේ දෛනික ජීවිතයට පුදුමාකාර ප්‍රමාණයක් ජලය සහ බලශක්තිය අවශ්‍ය වේ .  බොත්තමක් එබීමෙන් හෝ පයිප්පයක් කර කැවීමෙන්ම, එක්සත් රාජධානිය ඕස්ට්රේලියාව, හෝ එක්සත් ජනපදය වැනි රටවල, මෙම දේවල් ලබා ගත හැක. එනමුත් කනගාටුවට කරුණක් වන්නේ, ලොව සෑම කෙනෙකුටම එවැනි වාසනාවක් නොතිබීමයි.

ලොව පුරා බිලියන 2.5 ක ජනතාවක් විදුලිය සඳහා ප්‍රවේශයක් හෝ අඩුතරමින්  විශ්වාසය තැබිය හැකි ප්‍රවේශයක් නොමැත. ඊට අමතරව, බිලියන 4.2 ක ජනතාව, පානය, නෑම, සේදීම, වගාව සහ සතුන් ඇති දැඩි කිරීම පිණිස ආදී වශයෙන් ඔවුන්ට අවශ්ය පිරිසිදු ජලය ලබා ගැනීම උදෙසා සෑම දිනකම  අතිශය දැඩි වෙහෙසක් දරති.  එම නිසා මෙම වටිනා සම්පත් වලට ප්‍රවේශය ඇති අප, ඒවා නාස්ති නොකිරීමට වගබලා ගත යුතුය.

ඉතින්, බලශක්තිය සහ ජලය ඉතිරි කර ගැනීමට ඔබට කුමක් කළ හැකිද?

ඕ        – විදුලිබලය හොරෙන් ඇද ගන්නන් හඹා යන්න! අනවශ්්‍ය ලෙස අප බොහෝ දෙනෙකු කරන ආකාරයට සීරුවෙන් නැතිනම් පොරොත්තු විලාශයෙන්(standby mode) තබා ඇති ගෘහ උපකරණ හොර රහසේ විදුලිය උරා බොන බැවින් ඒවා ‘වැම්පයර් උපාංග’ ලෙස හඳුන්වයි! එවායින් බලය නාස්ති කිරීම නැවැත්වීමට, භාවිතයට නොගන්නා වේලාවල ඒවා සියල්ලම පේනුවෙන්ම(Plug) අක්රිවය කර ඇති බවට වග බලා ගන්න.

ඕ        – අව්ව සහිත දිනයක, වියළීම සඳහා තිබෙන් දේවල් පිටත අව්වේ වේලෙන්නට තබන්න! මෙය වියළනය භාවිතා කිරීමට වැයවන ශක්තිය ඉතිරි කරයි.

ඕ        – ඔබට හැකි නම්, මෝටර් රථය භාවිතා කරනවාට වඩා, පාපැදියකින් ගමන් බිමන් යාම, ඇවිදීම හෝ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට උත්සාහ කරන්න(එය ඔබේ පසුම්බියට මෙන්ම සෞඛ්‍යයට ද හිතකරය!).

ඕ        – ඉබේ ජලයවෑසෙන ජල කරාම ක්‍රියා විරහිත කරන්න. එමෙන්ම ඔබ ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් භාවිත නොකරන බවට වග බලා ගන්න. ඔබේ දත් මදින අතරතුර කරාමය ක්‍රියා විරහිත කරන්න. නෑමට වතුර මල යොදා ගන්නේ නම් විනාඩි හතරක් හෝ ඊට අඩු කෙටි කාලයකින් ස්නානය අවසන් කරන්න!

5. ග්‍රහ ලෝක උපදේශකයෙකු වන්න!

පෘථිවිය බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සැබෑ රහස ඔබ දන්නේ ද? ඒ, ඔබේ දැනුම අන් අය සමඟ බෙදා හදා ගැනීම සහ ඔවුන්ටත් පරිසර වීරයන් වීමට උපකාර කිරීමයි! ඔබ වැඩි උනඳුවක් දක්වන්නේ දර්ශනීය වාසස්ථාන ගැනවේවා, සිත් ඇදගන්නා ජීවීන් ගැන  වේවා, පරිසර හිතකාමී ජීවිතයක් වේවා, බිය නොවන්න! අන් අයට කතා කරන්න; ග්‍රහලෝකය පිළිබඳව ඔබ කැමති හෝ ඔබ උනන්දුව දක්වන අංශ ගැන අනිත් අයට කියන්න !

වෙනසක් සිදු කිරීමට බොහෝ අය එකට එක් වී ක්‍රියා කිරීම වැදගත්වේ. – ඉතින්, දැනුම හා සම්පත්  බෙදා හදා ගන්න, බෙදා හදා ගන්න, තව තවත් බෙදා හදා ගන්න!

දැන්, ඉතින් හරිනේ? එහෙනම් වැඩේට බහින්න. ලෝකය බේරා ගන්න උදව් වෙන්න – ඔබට එය කළ හැකියි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.