දවසකට විසිවරක්වත් සිනාසෙන්න.

Posted by

රොන් ගුට්මන්

සිනාවේ මහිමය සොයා දැනගැනීමට කළ පර්යේෂණ මා පටන් ගත්තේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේදී. අවුරුදු 30ක් තිස්සේ පලවුණු විශ්ව විද්‍යාලයේ පරණ වාර්ෂික පොත්වල තිබූ ශිෂ්‍යන්ගේ ඡායාරූප අප විමසුමට ලක් කළා. ඒ ශිෂ්‍යන් දැන් මොකද කරන්නේ, මවුන්ගේ ජීවිත මොන තරම් සාර්ථකද නැද්ද වැනි කරුණු කොයි තරම් දුරට ඒ ඡායාරූප වළ පිළිඹිබු වෙන සිනාවත් සමග සංසන්දනය කරන්න පුළුවන්ද කියන එකයි අපේ විමසිල්ලට ලක්වුනේ. සමහරක් ඡායාරූප වළ කිසිම සිනාවක් තිබුනේ නැහැ. එහෙත් සිනාසුන අයගේ මුහුණුවල කිබුණු සිනාමුසු බව අනුව ඒ ශිෂ්‍යන්ගේ ජීවිත කොයිතරම් පරිපූර්ණද, විවාහය කෙබඳු එකක් විය හැකිද, අනෙක් අය ප‍්‍රබෝධමත් කරන්නට ඔවුන් කොයිතරම් සමත්ද යන්න නිගමන කල හැකි ක‍්‍රමවේදයක් අපි සොයාගත්තා.  ඉන් එක වාර්ෂික පොතක බැරැක් ඔබාමාගේ සිනාමුසු ඡායාරූපයකුත් තිබුනා.

ඊට මඳක් සමාන තවත් පර්යේෂණයක් 2010 දී වේන් සරසවියේදී සිදුකළා. ඔවුන් කලේ 1950ට පෙර මුද්‍රණය කළ බේස්බෝල් ක‍්‍රීඩකයන්ගේ ඡායාරූප කාඞ්පත් විශාල ප‍්‍රමාණයක් අප කළ ආකාරයට සමානව විමසිල්ලට ලක්කිරීමයි. ඒ අනුව ක‍්‍රීඩකයන්ගේ සිනාමුසු බවේ ප‍්‍රමාණය අනුව ඔවුන්ගේ ආයුෂ කොතෙක් දැයි නිගමනය කළ හැකි බව ඒ පර්යේෂකයන් දැන ගත්තා. කිසි හිනාවක් නැති මුහුණු තිබූ ක‍්‍රීඩකයන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 72ක් වූ අතර සිනාමුසු මුහුණු සහිත ක‍්‍රීඩකයන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80ක් වූ බව ඔවුන් සොයා ගත්තා.

ඇත්තටම කිව්වොත් අපි උත්පත්තියෙන්ම හිනාවත් අරගෙනමයි එන්නේ. ත‍්‍රිමාණ අල්ට‍්‍රා සවුන්ඞ් තාක්ෂණය යොදාගෙන කළ පරීක්ෂණ වලට අනුව මවු කුසය තුළදීම අප සිනාවෙන බව සොයාගෙන තියෙනවා. ඉපදුන වහාමත් ළදරුවෝ මුලින්ම නින්දෙදී සිනාවෙනවා. අන්ධ ළදරුවෙක් වුනත් මිනිස් කට හ`ඩක් ඇහුනාම හිනා වෙනවා. සිනාව කියන්නේ  සියළු මනුෂ්‍යන්ට සහජයෙන් උරුම මූලික ප‍්‍රකාශනයක්.

මිනිස් මුහුණෙන් පළවෙන අදහස් ගැන විශිෂ්ට ගණයේ පර්යේෂණ රැසක් කළ පෝල් එක්මාන්, පැපුවා නිවිගිනි දූපතේ මුළුමනින්ම හුදෙකළාව විසූ මිනීමස් කෑ පෝ ගෝත‍්‍රිකයන් සිනාසෙන්නේද අප සියල්ලන්ම මුහුණ දෙන අවස්ථාවන්ට සමාන අවස්ථාවලදී බව සොයා ගත්තා. පැපුවා නිවි ගිනියාවේ විතරක් නෙවෙයි ලෝකය පුරා සිටින සැමදෙනාම බොහෝවිට සිනාසෙන්නේ තම සතුට, ප‍්‍රමෝදය ප‍්‍රකාශ කිරීමටයි.

හොඳයි ! දැන් ඔයගොල්ලන් අතරින් කීදෙනෙක් දවසකට විසි සැරයකට වඩා හිනාවෙනවාද? සාමාන්‍යයෙන් ගත්තොත් වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් පමණයි දවසකට විසි සැරයකට වඩා සිනාසෙන්නේ. ඇත්තටම වැඩියෙන්ම හිනාවෙන්නේ ළමයි. ළමයි අතර දවසකට 400 වතාවකට වඩා සිනාසෙන අය බොහෝමයි. නිතර හිනාවෙන ළමයි අතර ඉන්න කොට ඔබටත් සිනාමුසු මුහුණක් ඇතිවෙන බව ඔබ නිරීක්ෂණය කර නැද්ද? ස්වීඩනයේ උප්සලා සරසවියෙන් සිදු කළ පර්යේෂණයකට අනුව හිනාමුසු මුවින් යමෙකු දෙස බලන කෙනෙකුට රවා බලන්නට සාමාන්‍යයෙන් ඒ තැනැත්තාට බැරි බව සනාථ කර තියෙනවා. හේතුව සිනාව කියන්නේ කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට බෝවෙන දෙයක් බවට පත්වුණු පරිණාමීය මානුෂික ලක්ෂණයක්. සිනාමුසු තැනකදී සමාන්‍යයෙන් මුහුනේ ඇති මාංශ පේශි අපට අවශ්‍ය අන්දමට පාලනය කරගැනීමේ හැකියාවෙන් අප වලක්වනවා. අපිට නිරායාසයෙන්ම හිනා යනවා. ඒත් අපි අපේ මාංශපේශි පාලනය කිරීමෙන් තමයි බොරුවට හිනාවෙන්නේ.

පරිණාමවාදය හඳුන්වාදුන් චාල්ස් ඩාවින් මුහුණෙන් කියවෙන අදහස් ගැන මතයක් පළ කරමින් අප සිනාසෙන්නේ සන්තුෂ්ටියේ පලයකට වඩා සන්තෝෂවීම උදෙසාම බව කියා සිටියා. මෑතකදී ජර්මනියේ සිදුකල ඒක පර්යේෂණයකදී මුහුණේ පිහිටි සිනා දනවන මාංසපේශීන් බෝටොක්ස් නමැති බෙහෙත විදීමෙන් අප‍්‍රාණික කළා. එසේ මාංශපේශි අප‍්‍රාණික කිරීමට පෙර හා පසු ගත් මොළේ එම් ආර් අයි ස්කෑන් ඡායාවන් සසඳා බැලූ විට සප‍්‍රාණික මුහුණේ ඇතිවන සිනාමුසු ඉරියව් නිසාම මොළයේ ඇති මනෝභාව ප්‍රකාශකෙරෙන ස්නායු උත්තේජනය වෙන බවත් ඒනිසාම සතුට ජනිත වන බවත් තහවුරු වුනා. ඒ අනුව චාල්ස් ඩාවින්ගේ මතය හරි. සිනාවීමම ප‍්‍රමෝදය ඇති කිරීමට හේතුවක්.

චොකලට් 2000 කින් මොළයේ ඇති කරන උත්තේජනයකට සමාන උත්තේජනයක් එක සිනහවකට කළ හැකි බව බි‍්‍රතාන්‍යයේ කළ පර්යේෂණයකින් තහවුරු වුණා. ඒ පර්යේෂණයටම අනුව එක සිනාවකින් ලැබෙන උත්තේජනය පවුම් 16,000ක් දිනාගත් අයෙකු ලබන ප‍්‍රමෝදයට සමානයි. ඒ අනුව බැලූවොත් දවසකට 400 වාරයක් හිනාවෙන දරුවෙක් මාක් සුකර්බර්ග් (මුහුණු පොත අයිතිකරු කෝටිපතියා) වගෙයි. අනෙක චොකලට් ගොඩක් කනවාට වඩා ගොඩක් හිනාවෙන එක ශරීර සෞඛ්‍යයටත් හොඳයි. සිනාවෙන කොට අපේ සිරුරේ ඇති කෝටිසොල්, ඇඞ්රිනාලින් සහ ඩෝපමයින් වැනි හෝමෝන් වැඩිවෙනවා. ඒ නිසාම අපේ ආතතිය, වෙහෙස මහන්සිකම අඩුවෙනවා. ඒ වගේම සිනාවෙන කොට රුධිර පීඩනය අඩුවෙනවා වගේම අපේ මනොභාව නැත්නම් මූඞ් එක ප‍්‍රසන්න කරවන එන්ඩ්‍රොපින් හෝමෝනය ක‍්‍රියාත්මක වෙනවා.

ඒත් මදිනම් ඔබේ සිනාව අන් අයතුළ ඔබ කෙරෙහි ප‍්‍රසන්න හැඟීමක් ඇති කිරීමම මදිද? පෙන් සරසවියේ කළ පර්යේෂණයකින් සොයා ගත් පරිදි  ඔබේ සිනාව අන් අය අතර ඔබ ප‍්‍රසන්න ආචාරශීලී පුද්ගලයෙක් වශයෙන් සැලකීමට පමණක් නොවෙයි ඔබ කාර්යශීලී පුද්ගලයෙකු වශයෙන් සැලැකීමටද හේතු වෙනවා.

ඉතින් ඔබේ ආතතිය අඩුකරගෙන විවාහ ජීවිතය සතුටින් ගත කරන්න, ප‍්‍රසන්න හා කාර්යශීලී කෙනෙකු වෙන්න, පොහොසත්කමේ ප‍්‍රීතිය ඇති කරගන්න අඩුම වශයෙන් දවසකට 20 වරක්වත් අවංකව සිනාසෙන්න.  ඔබේ සිනහවේ ඒ අසම සම මහිමය ඔබට සෞඛ්‍ය සම්පන්න, ප‍්‍රීතිමත්, දීර්ඝායු, ජීවිතයකූත් ඔබේ සිනහව බුක්ති විදින අයට ප‍්‍රසන්න ප‍්‍රමෝදයකුත් ලබාදෙනවා.

ටෙඞ් කතන්දර වලින් සාරසංග‍්‍රහ කළේ ©ජයා පත්මපාණී

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.