විදු නැන නුවණ – Science Literacy for All

විශ්වය අපට මෙතරම් පුදුම තැනක් වන්නේ ඇයි?

රිචඞ් ඩෝකින්ස්

අපට හිතින් හිතා ගත හැකි පමණට වඩා විශ්වය බෙහෙවින් අසාමාන්‍ය විය හැකිය. ඒ් අප මුහුණ දුන් පරිණාමයේ  ස්වභාවයට අනුව ප්ලයිස්ටොසීන යුගයේ මානවයා ඇති දැඩි වූ අප‍්‍රිකාවේ දිවි රැක ගැන්මට අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් විශ්වය ගැන සිතා ගැනීමට අප සීමා වී තිබූ නිසාද ?ජීව විද්‍යාඥ ආචාර්ය රිචඞ් ඩෝකින්ස් කළ මේ ටෙඞ් කතාව අන්තර්ජාලය ඔස්සේ විසි ලක්ෂයකට අධික පිරිසකගේ අවධානයට ලක් වුණා.

යමක් දැන වටහා ගැනීමට, නැත්නම් යමක් සිදුවන්නේ මෙසේ යැයි අදහස් කිරීමට ඇති හැකියාව අපට ලැබුනේ කෙසේද, අනෙක් අතට අප වැනි පෘථග්ජන මනුෂ්‍යයින්ට කිසිකලෙක වටහා ගත නොහැකි එහෙත් අතිමානුෂික බලවේගයකට පමණක් වටහා ගතහැකි දෙයක් මේ විශ්වයේ තිබිය හැකිද? එසේත් නැත්නම් මොනයම්ම අතිමානුෂික බලවේගයකට වුවද වටහා ගත නොහැකි දෙයක් මේ විශ්වයේ වේද?

නවීන විද්‍යාවේ ඉතිහාසය යනු විශ්වයේ ඇති අසාමාන්‍ය ස්වාභාවය තේරුම් ගැනීම පිණිස අප විසින් නොකඩවා පරපුරෙන් පරපුරට දියුණු කරනු ලබන ඉතා සහාසික බුද්ධි අරගලයක් බව කිව හැකියි. උදාහරණයකට ගත්තොත් හිරු පෘථිවිය වටා භ‍්‍රමණය වෙනවා නොව පෘථිවිය හිරු වටා භ‍්‍රමණය වෙන බව අප දැන් විවාදයකින් තොරව පිළිගන්නා දෙයක්. එහෙත් එසේ පිළිගැනීමට සිදුවීමම මුල් අවධියේදී අපට මොනතරම් දරුණු මානසික වියවුලක් වෙන්නට ඇද්ද? බැලූ බැල්මටම අපට පේන්නේ පෘථිවිය සූර්යාට වඩා බෙහෙවින් විශාල නිශ්චල වස්තුවක් බව සහ සූර්යයා අහසේ ගමන්කරන බවයි.

ඒ සමානව අපේ සාමාන්‍ය අන්තර්ඥාණයට පටහැනි ලෙස විද්‍යාවෙන් අපට පෙන්වාදෙන්නේ ගල් ගඩොල් වැනි ඝන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම පාහේ සැදී ඇත්තේ ඇත්තටම හිස් අවකාශයෙන් බවයි. ඝන ද්‍රව්‍ය සැදී ඇත්තේ පරමාණු එකිනෙක යාවීමෙන්. එක් පරමාණුවක මැද ඇති න්‍යෂ්ටිය ක‍්‍රීඩාපිටියක මැද වසා ඇති මැස්සෙකුගේ ප‍්‍රමාණයයැයි සැලකුවහොත්  එයට යාව ඇති ඊළඟ පරමාණුව යාබද ක‍්‍රීඩාපිටියයැයි සැලකිය හැකියි. ඒ අනුව එක පරමාණුවක න්‍යෂ්ටිය සහ අනෙක් පරමාණුවේ න්‍යෂ්ටිය අතර වැඩි වශයෙන් ඇත්තේ අවකාශයයි. න්‍යෂ්ටි අතර ඇති ලේශ මාත‍්‍රික පාටිකල් නොසලකා හැරි විට ඝන බවෙන් ගහණ දැඩි කලුගලක වුවද වැඩි වශයෙන් ඇත්තේ හිස් අවකාශයයි. එසේ නම් විනිවිද බැලිය නොහැකි තද ඝන වස්තුවක් ලෙස කලුගල අපට දැනෙන්නේ කෙසේද. පරිණාම ජීව විද්‍යඥයෙකු ලෙස මා අදහස් කරන අන්දමට හේතුව මේකයි; අපේ මොළය පරිණාමය වී ඇත්තේ හුදෙක් අපේ ශරීරය ක‍්‍රියාත්මක කළ හැකි සීමාවට අනුකූලවූ ප‍්‍රමාණයන් හා වේගයන් තුළ පමණක් අපේ දිවිරැක ගැනීමටයි. පරමාණුවක් තරම් අතිශයින් ක්ෂුද්‍ර දෙවල් ඇතුළත අතපත ගෑමට, සැරිසැරීමට කිසිසේත් අප පරිණාමය වී නැහැ. එසේ නොවීනම් කලුගලක වැඩි වශයෙන් ඇත්තේ හිස් අවකාශය බව අපට දැනෙන්නට ඉඩ තිබුනා. අපේ දෑත්වලට කලුගලක දැඩිබව දැනෙන්නේ කලුගල් සහ අපේ දෑත් එකිනෙක පසාරුකරගෙන නොයන නිසයි. ඒ නිසා ‘ඝනත්වය’ ‘දැඩිබව’ ‘අපාරගම්‍යබව’ වැනි ගුණමතිකයන් නිර්මාණය කර ගැනීම අපේ මොළවලට ප‍්‍රයෝජනවත් දෙයක් වුණා. අපට සැරිසැරීමට ඇති මනුෂ්‍ය ප‍්‍රමාණයේ ලෝකයක අපේ සිරුරු හසුරුවා ගැනීමට එවැනි ආකාරයේ ගුණමතිකයන් අත්‍යවශ්‍යයි.

ක්ෂුද්‍රබවේ අනෙක් අන්තය වන කෙළකෝටි ගණන්වල අප‍්‍රාමාණයන්ගෙන් බැලුවොත් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් සක්වල සැරිසැරීමට අපේ මුතුන් මිත්තන්ට කිසිකළෙක සිදුවුණේ නැහැ. එසේ වී නම් අප සියල්ලන්ටම මීට වඩා ඉතා පහසුවෙන් අයිස්ටයින්ගේ සාපේක්ෂතාවාද තේරුම් ගැනීමට ඉඩ තිබුනා.

අප පරිණාමයට ලක් වුණු පරිසරයෙන් යුත් මැද තරමේ ලෝකය මජ්ඣිම ලෝකය යනුවෙන් හැඳින්වීමට මා කැමැතියි. එසේ අප මජ්ඣිම ලෝකයක පරිණාමය වීම නිසා අපේ සිත්වල මවා ගත හැකි යථාර්තයට යම් යම් සීමාවන් තිබෙනවා. දුවන හාවෙකු ගලක වැදී වැටෙන එක අපිට හිතින් හිතා ගැනීම ඉතා පහසුයි. හාවෙකුගෙ වේගය අපේ මජ්ඣිම ලෝකයේ පැවැතිය  හැකි වේගයක්. එමෙන්ම ගලක් වැනි දෙයක් මජ්ඣිම ලෝකයේ පවතින ප‍්‍රමාණයන්ට අයත් වස්තුවක්.

එහෙත් වාතයෙන් ඇතිවිය හැකි ඝර්ෂණය නොවන්නට බර වස්තුවක් සහ සැහැල්ලූ වස්තුවක් බිමට වැටෙන්නේ එකම වේලාවක යැයි ගැලීලියෝ පැවැසූ විට බාහිර උපකාරයකින් තොරව ඒ අදහස තේරුම් ගැනීමට අපේ අන්තර්ඥාණයට පුළුවන් කමක් තිබුනේ නැහැ. එයට හේතුව අපේ මජ්ඣිම ලෝකය තුළ වාතයෙන් ඇතිවන ඝර්ෂණය සාමාන්‍ය දෙයක් වීමයි. කිසියම් ආකාරයකින් අප පරිණාමය වූයේ වාතයෙන් තොර රික්තයක නම් ගැලීලියෝගේ අදහස අවිවාදයෙන්ම පිළිගැනීමට අපට හැකිවෙනවා. එමෙන්ම අපද  අවට ඇති ක්ෂුද්‍රඅණුවල තාප සංචලනයන්ට නිරන්තරයෙන් ලක්වන බැක්ටීරියාවන් වී නම් අපට ඇතිවෙන සංවේදනා මීට වඩා බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුනා. එහෙත් එවැනි ලේශමාත‍්‍රික චලනයන්ට සංවේදීවීමට අප අත්දකින මඣිජිම ලෝකය ලොකු වැඩියි.

උදාහරණයක් විදියට ද්‍රව්‍ය වර්ග ගැන අපේ අත්දැකීම විමසා බලමු. කිසියම් ඝනත්වයක් නැති කිසිවක් යථාභූතව පවතින දෙයක් ලෙස සැලැකීම අපට හුරුපුරුදු දෙයක් නොවේ. ඒ අනුව රික්තයක ඇතිවන විද්‍යුත්චුම්බක තරංග සාමාන්‍ය යථාර්ථයක් ලෙස සැලැකීම අපට නුහුරු දෙයක්. තරංගයක් ගමන් කිරීමට නම් අවකාශයක අඩුම වශයෙන් ඊතර් වැනි ද්‍රව්‍යක්වත් තිබිය යුතුයැයි වික්ටොරියානු යුගයේ විද්‍යාඥයන් තර්ක කළේ ඒ නුහුරු නුපුරුදු කම නිසයි. අපේ පරිණාමය සිදු වූයේ මජ්ඣිම ලෝකයේ බැවින් එහි ඇති දෘෂ්‍යමාන ද්‍රව්‍ය පමණක් නියම යථාභූත ද්‍රව්‍ය ලෙස සැලැකීමට අප පුරුදුවී තිබෙනවා.

එහෙත් යථාර්තය පිළිබඳ දැඩි විශ්වාසයක එල්බ ගැනීම එතරම්ම සරල දෙයක් නොවේ. කිසියම් ලෙසකින් පරාමාණු තුළ ඇති ලේශමාත‍්‍රික න්‍යුටි‍්‍රනෝවකට මොළයක් තිබුණි නම් කලුගලක් හිස් අවකාශයෙන් යුතු දෙයක් බව ඒ මොළයට නිරායාසයෙන් වැටහෙනු නිසැකයි. එහෙත් අපේ මොළ පරිණාමය වුණේ කලුගල් විනිවිද ගමන් කළ නොහැකි මජ්ඣිම ලෝක ප‍්‍රමාණයේ ශරීර සහිත මුතුන් මිත්තන්ගෙන් බැවින් නියුට්‍රෝන මොළයකට දැනෙන ආකාරයක යථාවබෝධයක් නිරායාසයෙන් ලබා ගැනීමට අපට නොහැකියි. ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට විවිධ සත්ව විශේෂ වලට යථාර්තය යනු සිය ප‍්‍රමාණයන්ට හා වේගයන්ට අනුකූලව පැවැත්මට අත්‍යවශ්‍යය යැයි එම සත්වයාගේ මොළය විසින් තීරණය කරන දෙයයි. එක් එක් සත්ව විශේෂ ජීවත් වන්නේ ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස් ලෝක වල බැවින් ඔවුනොවුන්ගේ යථාර්තයන්ද එකිනෙකට වෙනස්. අපේ ලෝකයේ යථාර්තය ලෙස අප දකින්නේ අමුම අමු ලෝකයකට වඩා අපේ සංවේදනා මගින් ලැබෙන දත්ත වලට අනුව අප විසින් ගොඩනගනු ලබන ලෝකයක එක්තරා මාදිලියකුයි.

ඒ කියන ලෝක මාදිලිය තීරණය වන්නේ අප කිනම් ආකාරයක සත්වයන්ද යන්න මතයි. පියාඹන සත්වයින්ට අවශ්‍ය වන ලෝක මාදිලිය ඇවිදින සත්වයන්ට අවශ්‍ය ලෝක මාදිලියට වඩා වෙනස්. වඳුරෙකුගේ මොළ මෘදුකංග සැකසී ඇත්තේ ත‍්‍රිමාණ වූ අතුපතරින් යුත් ලෝකයක් අණුකරණය කිරීම පිණිසයි. වැලිමීයෙකුගේ මොළ මෘදුකාංග සැකසී තිබෙන්නේ පොළොව යටින් යන ත‍්‍රිමාණ ලෝක මාදිලියක් ඇති කර ගැනීම සඳහායි. එහෙත් පොකුණක ජල පෘෂ්ටයේ ඇති ආතතිය මත දිවිගෙවන දිය මැක්කන්ට ත‍්‍රිමාණ ලෝකයක් අනවශ්‍ය බැවින් උන්ගේ ලෝක මාදිලියේ ත‍්‍රිමාණයක් ඇතතේම නැහැ. රෑ කල කෘමිසතුන් හඹායන වවුලා තම ලෝක මාදිලිය ගොඩ නගා ගන්නේ හුදෙක් ශබ්ද තරංග වල දෝංකාරයෙන් මැවෙන චිත්තරූපය අනුවයි. දිවා කළ සිය දෑසින් වෛවර්ණ ලෝක මාදිලියක් ගොඩනගා ගෙන කෘමි සතුන් හඹා යන කුරුල්ලනගේ ලෝක මාදිලිය දෙසවනට ඇසෙන තරංග දෝකාරය අනුව සැරිසරන වවුලන්ගේ ලෝක මාදිලියට වඩා බෙහෙවින් වෙනස්.

මජ්ඣිම ලෝක පරිමාවන් සහ වේගයන් පමණක් අපහසුවකින් තොරව ග‍්‍රහණය කර ගැනීමට අප පරිණාමය වීම එක්තරා ආකාරයට අපේ පියවි ඇසට දැකිය හැක්කේ ස්වාභාවික වර්ණාවලියේ එක්තරා සීමිත කලාපයක් පමණක් වීමට සමාන කළ හැකියි. වර්ණාවලියේ අපට නොපෙනෙ එහෙත් ඇතැම් සත්ව විශේෂයන්ට පෙනෙන හෝ දැනෙන පාරජම්බුල, අධෝරක්ත වැනි කිරණාවලි අපේ ලෝක මාදිලියට සාමාන්‍යයෙන් හසු වෙන්නේ නැහැ.

මජ්ඣිම ලෝකයක් තුළ අප පරිනාමයට ලක්වීම නිසා ඇතැම් අති දීර්ඝ කාලීන සිද්ධීන් නිතැතින් ග‍්‍රහණය කර ගැනීමට තරම් ආයු කාලයක් අපට නැහැ.  උදාහරණයක් වශයෙන් ප‍්‍රමාණාතික‍්‍රාන්ත අභ්‍යවකාශයේ තුමුළ ස්වාභාවය හා කල්පගනන් දිගු භූකාල තුල ඇති වන සංසිද්ධින් සහමුලින් අත්දැකගැනීම අපේ ලෝකමාදිලිය තුළ අපට ප‍්‍රායෝගික දෙයක් නොවේ. ඒ නිසා අපට තුමුළ විශ්වය වටහා ගැනීමට හැකි එක් ආකාරයක් වන්නේ  එහි කොපමණක් ග‍්‍රහවස්තු වෙත් දැයි අනුමාන කිරීමයි.  ඒ අනුමානය ග‍්‍රහවස්තු බිලියන බිලියන 20 සිට බිලියනයේ ඒවා බිලියන 100ක් දක්වා විශාල විය හැකියි.

අපට හිතින් හිතා ගත හැකි පමණට වඩා විශ්වය බෙහෙවින් අසාමාන්‍ය විය හැක්කේ ප්ලයිස්ටොසීන යුගයේ මානවයා ඇති දැඩි වූ අප‍්‍රිකාවේ දිවි රැක ගැන්මට අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් සිතා ගැනීම අප මුහුණ දුන් පරිණාමයේ  ස්වභාවයෙන්ම අපට සීමා වී තිබූ නිසාද ? නොඑසේ නම් ඒකී පරිනාමීය සීමාවන් ඉක්මවා යාමට අපට අවශ්‍යවන පුහුණුව ලබා දීමට තරම් අපේ මොළය  නම්‍ය ලෙස ප‍්‍රසාරිත කල හැකිද? හුරුබුහුටි ලෙස බහුශ‍්‍රැත කළ හැකිද? එසේත් නැතිනම් කිසිදු ආගමකට, දර්ශන වාදයකට හෝ, දේවොත්තමයෙකුට,  අතිමානුෂික බලවේගයකට හෝ සිහිනයකින් වත් සිතා ගත නොහැකි අමුතුම දේවල් මේ විශ්වයේ වෙත්ද?

සාර සංග‍්‍රහය ජයා පත්මපානිගෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: