සැමට විදු නැන නුවණ – Science Literacy for All

සාගරවල ඇසිඩ් ගතිය වැඩිවීමට නොපමාව පිළියම් යෙදිය යුතුයි

සාගරවල ඇසිඩ් ගතිය වැඩිවීම හෙවත් ආම්ලිකතාවය වැඩිවීම නිසා 2100 වන විට ලෝක ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ට්‍රිලියනයක් වියහැකියැයි ගණන් බලා ඇත. මේ ගණන් බැලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතිය විසින් මීට දෙසතියකට පෙර නිකුත්කරක ලද අලුත්ම වාර්තාවකය.

ජලයේ ආම්ලිකතාවය මනින්නේ එහි pH අගයෙනි. pH අගය අඩුවීමෙන් පෙන්වන්නේ ජලයේ ආම්ලිකතාවය නොහොත් ඇසිඩ් ගතිය වැඩිවීමයි.

විිවිධ රවලින් පැමිණි විෂය විශේෂඥයන් 30 දෙනෙකුගේ කන්ඩායමක් විසින් සකසා ඇති මේ වාර්තාවට අනුව 18 වන සියවසේ 8.1කක් වූ සාගර ජලයේ pH අගය මේවන විට 8.0 දක්වා අඩුවී තිබේ. pH පරිමාණය ලඝුගණකීය බැවින් මෙහි තේරුම පසුගිය වසර 250 තුළ ලෝකයේ සාගරවල ආම්ලිකතාවය 26%කින් ඉහළ ගොස් ඇති බවයි. මේ වැඩිවීමට හේතුව මිණිස් ක්‍රියාකාරීකම් නිසා නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍ර‍මාණයෙන් හතරෙන් එකක්ම අවශෝෂණය කරනු ලබන්නේ සාගර වලින් වීමයි. මේ සියවස අවසන් වන විට සාගර ජලයේ pH අගය 7.9 දක්වා පහළ වැටෙනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව මේ සියවස අගවෙන විට සාගර වල ඇතිවිය හැකි ආම්ලිකතාවය කාර්මික යුගය ඇරඹීමට පෙර සාගර වල පැවැති ආම්ලිකතාවයට වඩා 170% වකින් වැඩිවෙතැයිද වාර්තාව පවසයි.

සාගර ආම්ලීකරණයවීම යනු මීට දශකයකට පමණ පෙර දක්වා ම එතරම් අවධානයක් ලබාගත් කාරණයක් නොවීය. එහෙත් ඉන්පසු විද්‍යාත්මක ගවේෂණ විධිවල ඇතිවූ මහත් දියුණුව නිසා සාගර ආම්ලීකරණයවීමේ ප්‍ර‍තිවිපාක කෙතරම් බරපතලදැයි වඩා විස්තීර්ණ හා පැහැදිලි ලෙස විද්‍යාඥයන්ට අවබෝධ වන්නට පටන්ගත්තේය.

සාගරජලයේ වැඩිවන ආම්ලිකතාවය මුහුදුජීවීන්ට විෂම ලෙස බලපාන බවත් මින්පෙර ඇතැම් භුගෝලීය අවධිවලදී විශේෂයෙන් කැලසියම් කාබනේට් කටුව සහිත මුහුදු ජීවීන් සමස්තයක් වශයෙන්ම වඳවීමට හේතුවූයේද සාගරජලයේ ආම්ලිකතාවය විවිදහේතු නිසා ඉහළ ගිය බැවිනැයි වාර්තාවගැන තම අදහස් පළකළ එඩින්බර්ග්හි හැරියට් වොට් සරසවියේ ආචාර්ය මුරේ රොබර්ට්ස් පවසයි.

සාගර ආම්ලීකරණය වැඩිවශයෙන්ම බලපාන්නේ කොරල්පරවලටයි. සාගර ජලය ආම්ලීකරණය වීම වැඩිවශයන්ම සාගරයේ ඉහළ ජලමට්ටම් වල ඇති කාබනේට අයන සානධ්‍ර‍ය අඩුකරයි. එවිට කැල්සියම් කාබනේට් වලින් සැදුණු කොරල්පර දියවීයන්නට පටන් ගනී.

සාගර අම්ලීකරණයෙන් ඝර්මකලාපීය කොරල්පර විනාශවීම නිසා වසර 2100 වන විට නැතිවයන ආදායම ඩොලර් ට්‍රිලියනයකට අධික විය හැකියැයි පවසන වාර්තාව කොරල්පර විනාශය සංචාරක වයාපාරයට, මුහුදු ආහාර නිෂ්පාදනයට හා වෙරළ සංරක්ෂණයට බෙහෙවින් හානිදායක ලෙස බලපාන බව පෙන්වාදෙයි.

“මෙවැනි වාර්තා නිසා තම රට අවට මුහුද ආම්ලීකරණයවීමෙන් සිදුවන පාඩුව ත්කසේරු කිරීම පිනිස රජයන් විසින් පර්යේෂණ කිරීමට උනන්දු විය හැකි නමුත් ප්‍ර‍ශ්නයට පිළිතුර සාගර ආම්ලිකරණය ගැන තව තවත් පර්යේෂණ කරමින් කල්මරණවාට වඩා මිනිස් ක්‍රියා නිසා වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍ර‍මාණය අඩුකිරීමට කටයුතු යෙදීමයි” යනුවෙන් අචාර්ය රොබට් පවසයි.

සාගර ආමිලිකරණය පිළිබඳ 2003දී බොහෝ විහේෂඥයන්ගේ අවධානය දිනාගත් පර්යේෂණ වාර්තාවක් සකස් කළ කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් සරසවියේ කෙන් කල්දේරා, ආචාර්ය රොබට්ගේ මතය හා එකඟ වෙමින් මෙසේ පවසයි.
“අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ වැඩෙමින් ප්‍ර‍වර්ධනය වූ පාරිසාරික පද්ධති දශක කිහිපයක් වැනි සුලුකාලයක් තුළ මිනිසුන් විසින් කරන ලද ක්‍රියාකාරකම් නිසා බිඳවැටෙමින් පවතිනවා. මේක ඉතාමත් කනගාටු දායක කාරණයක්. මේ තත්වය වෙනස්කිරීමට කටයුතු යෙදීම තව තවත් පමා කළ යුතු දෙයක් නොවේ.”

නිව්සයන්ටිස්ට් සඟරාව ඇසුරෙනි

පෘර්‍ථවියේ ඇති එකම නියම කාබන් කිඳුම (carbon sink) මහා සාගරයයි

 දීර්ඝ කාලීනව බැලූවිට පෘර්‍ථවියේ ඇති එකම නියම කාබන් කිඳුම (carbon sink) මහා සාගරයයි. වර්ෂ 1800 ත් 1994ත් අතර කාල පරිච්ඡෙදය තුල මනුෂ්‍යයන් විසින් වායුගෝලයට නිකුත් කරනලද කාබන් ප්‍රමාණයෙන් 48%ක්ම අවශෝෂණය කර ඇත්තේ සාගර හා මුහුදු මගිනි.

කාබන් අවශෝෂණය කිරිමේ ශක්‍යයතාවය සාගර කලාපයෙන් කලාපයට වෙනස්වේ.  මහාසාගරයෙන් 15%ක් වන උතුරු අත්ලන්තික් සාගර ද්‍රෝණීයේ පමණක් 1800 න්පසු මනුෂ්‍යයන් විසින් නිකුත් කරන ලද කාබන් ප්‍රමාණයෙන් හතරෙන් එකක් තැන්පත් ව තිබේ. කාබන් පෙරණ වකුගඩු (carbon kidney)මෙන් නොගැඹුරු මුහුදු සැලකිය හැකිය. මන්ද, මනුෂ්‍යයන් විසින් නිකුත් කරන ලද කාබන් ප්‍රමාණයෙන් 20%ක් තැන්පත් ව ඇත්තේ නොගැඹුරු මුහුදුවල බැවිනි.

ගෝලීය උණුසුම වැඩිවීමෙන් සාගර ජල ප්‍රවාහ වෙනස්වීම මේ මුහුදු කාබන් වකුගඩුවල කාර්යක්ෂමතාවය අඩු කිරීමට හේතුවනු ඇතැයි විද්‍යාඥයෝ කනස්සල්ලට පත්වෙති. මෙය තේරුම් ගැනීමට උනුසුම් වූ බීම කෑන් එකක් උදාහරණයට ගත හැකිය. උණුසුම් වූ බීම කෑන් එකක් විවර කල විට එහි දියව ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව බුබුළු දමමින් වේගයෙන් නිකුත්වන අතර සිසිල් කෑන් එකක් විවරකල විට එසේ බුබුළු දැමීම සිදුවන්නේ ඉතා සෙමිනි. මේ අනුව උණුසුම් සාගරයට වඩා විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් සිසිල් වූ සාගරයේ රඳවා ගත හැකිය. මේ නිසා ගෝලීය උණුසුම කරණ කොට සාගරය උණුසුම් වූ විට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමට සාගරයට ඇති ශක්‍යයතාවයද අඩුවේ.

සාගර ජලයේ විවිධ කාබනේට් (carbonate) වර්ග අඩංගුය. සාගර වලට ගලා එන ගංගා හුණුගල් මිශ්‍රිත ප්‍රදේශ හරහා ගලා යාමේදී හා කාබනේට සහිත ඛණිජ ද්‍රව්‍යය එම ගංගා මගින් සෝදා ඒම හේතුකොට ගෙන මෙසේ කාබනේට වර්ග සාගරයට එක්වේ. සාගරයේ අවශෝෂණය වන කාබන් ඩයොක්සයිඩ් සමඟ මේ කාබනේට ප්‍රතික්‍රියා කරයි. සාගරයට අවශෝෂණය වන කාබන් ඩයොක්සයිඩ් සහ සාගරයේ ඇති කාබනේට අතර සංයුතියේ සමබරතාවයක් දැනට පවතිණ නමුදු සාගරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය තවත් වැඩිවු විට කාබනේට ප්‍රතික්‍රියාද වඩාත් උත්තේජනය වනු ඇත.

එහි ප්‍රතිඵලය විය හැක්කේ සාගර වඩ වඩා ආම්ලික ගතියෙන් යුක්ත වීමයි. වැඩි ආම්ලිකතාවයකින් යුත් සාගර ජලයකට අවශෝෂණය කල හැකි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුය.

සාගර මගින් අවශෝෂණය කල හැකි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ ශත වර්ෂය අවසන්වීමට පෙර 10% කින් අඩුවනු ඇතැයි විද්‍යාඥයෝ පුරෝකථනය කරති. ‍එහෙත් ඒ අතරතුර අපි වැඩි වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු කරමින් සිටිමු.

ආචාර්ය ටිම් ෆ්ලැනරි ලියූ  අප වනාහි දේශගුණය නිපදවන්නෝය නමැති පොතෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: