ගිණිමැලයක රස්නය ඔබට දැනෙන්නේ විකිරණය නිසායි

Posted by

ශක්තිය එක් වර්ගයක සිට තවත් වර්ගයකට හැරවිය හැකිවාක් පමණක් නොව එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමටද පුඵුවන්. තාප ශක්තිය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම වලංගුයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබේ උදුනේ සිට තාපය ඔබ පිසින ආහාර වලට ගලා යනවා. තාපය ගලායාමේ මේ හැකියාව ස්වාභාවධර්මයේ ඇති බොහෝ පද්ධති වලට අතිශයින්ම වැදගත් දෙයක්. මිහිමත ශාකයක වැඞීමේ සිට මහාද්වීප ප්ලාවනය වීම දක්වාද වූ සියළු ක‍්‍රියාවලි වලදී තාපය එසේ ගලායාම සිදු වෙනවා. මෙසේ එක් තැනක සිට තවත් තැනකට තාපය ගලායාම තුන් ආකාරයකින් සිදු වෙන්නට පුළුවන්. ඒවා හඳුන්වන්නේ සන්නයනය (conduction) සංවහනය (Convection)  සහ විකිරණය(Radiation) යනුවෙනුයි.

උණු සුප්කෝප්පයකට ලෝහමුවා හැන්දක් දැමූ විට තත්පර කිහිපයක් තුළ හැන්දේ මිටද උණුසුම් වෙන බව ඔබ අත්දකින්නට ඇති. ඊට හේතුව ලෝහ වර්ග තාපය සන්නයනය කරන නිසායිි. හැන්ද ඇතුළත බැලීමට හැකි ප‍්‍රබල අන්වීක්ෂයක් ඔබට ඇත්නම් උණු සුප් වලට ආසන්නව හැන්දේ ඇති පරමාණු ඉතා වේගයෙන් චලනය වන අන්දම ඔබට දැකගත හැක වෙයි. ඊට හේතුව හැන්දේ ඇති එකී පරමාණු උණුසුප්වල වේගයෙන් චලනය වන ජල අණු සමග ගැටීමයි. එසේ ගැටීම නිසා පළමුවෙන්ම හැන්දේ උණුසුප් වලට ආසන්නවූ කොටසේ ඇති පරමාණු චලනය වන්නට පටන් ගන්නවා. ඒ බල පෑම නිසා එවිට අනුක‍්‍රමයෙන් හැන්දේ ඉතිරි කොටසේ ඇති සාමාන්‍ය ප‍්‍රමාණයට චලනය වෙමින් තිබූ පරමාණු ද වඩා වේගයෙන් චලනය වෙන්නට පටන් ගන්නවාග හැන්ද රස්නෙයි යනුවෙන් අප කියන්නේ එසේ අනුක‍්‍රමයෙන් හැඳි මිටේ අග ඇති පරමාණුද වේගයෙන් චලනය වන විටයි. ඒ අනුව සන්නයනය යනුවෙන් හැඳින්වෙන්නේ වස්තුවක එක් එක් පරමාණුව චලනය වී අනුපිළිවෙලින් එකිනෙක ගැටීමෙන් තාප ශක්තිය වහනය වීමටයි.

තාප සංවහනය

උදුනක ජලය නැටීමත් තාරපාරක් රත්වීම නිසා වාතය ඉහළට ගමන් කිරීමත් තාප සංවහනය සම්බන්ධයෙන් දිය හැකි හොඳ උදාහරණ දෙකක්. මොහොතකට අපි උදුනක් මත ඇති භාජනයක රත්වෙන ජලය ගැන සිතමු. උදුනෙන් ලැබෙන තාපය නිසා පළමුවෙන්ම භාජනය පතුලේ ඇති ජල අණු වේගයෙන් ගමන් කරන්නට පටන් ගන්නවා. මෙහිදී යම් තාප ප‍්‍රමාණයක් භාජනය පතුල මට්ටමේ ඇති ජලයේ සිට ඉහළ මට්ටමේ ඇති ජලය දක්වා සංක‍්‍රමණය වෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට තාපය සන්නයනය වීමෙනුයි. එහෙත් රත් වූ උදුනෙන් ලැබෙන මුළු තාප ප‍්‍රමාණයම සංක‍්‍රමණය කිරීමට ඒ සන්නයනය පමණක් ප‍්‍රමාණවත් නැහැ. මෙහිදී භාජනය පතුලේ ඇති ජලය පළමුවෙන්ම රත්වී ප‍්‍රසාරණය වී ඉහළ නගිනවා. ඒ නිසා භාජනය මතු පිට මට්ටමේ තිබූ සිසිල් ජලය භාජනය පහළට කිඳා බසිනවා. නොහොත් විස්ථාපනය වෙනවා. එහෙත් මුලින්ම රත්වූ ජලය ඉහළ නැග සිසිල් වන විට යළි කිඳා බැසීමට ලක්වෙනවා. මේ අතරතුර පහළ මට්ටමට කිඳාබැස ඇති ජලයද රත්වෙමින් ඉහළ නගිනවා. මෙසේ රත්වෙමින් සිසිල්වෙමින් භාජනය ජලය ඉහළ පහළ යන ක‍්‍රියාදාමය භාජනයට තාපය සැපයෙන තෙක් චක‍්‍රයක් මෙන් නොකඩවා සිදුවන දෙයක්. ඒ ක‍්‍රියාවලිය හඳුන්වන්නේ සංවහන චක‍්‍රයක් යනුවෙනුවෙයි. සංවහනයේදී සිදුවන්නේ කිසියම් ද්‍රව්‍යකින් උණුසුම් පදාසයක් තැනකින් තැනකට සංක‍්‍රමණය වීමයි. එහෙත් සන්නයනයේදී සිදුවන්නේ එසේ ද්‍රව්‍යක පදාසයක් සංක‍්‍රමණය වීමෙන් තාපය තැනකින් තැනකට යාමක් නොව එම ද්‍රව්‍යයේ ඇති පරමාණු එකිනෙක ගැටීම මගින් තාපය සංක‍්‍රමණය කිරීමයි.
ගිනිමැලයක් ආසන්නයට ඔබේ අත්ල ලංකළ හොත් ඒ අත්ල රත්වන බව ඔබට දැනේවි. එහෙත් එය සිදුවන්නේ ඉහතකී සන්නයනය හෝ සංවහනය හෝ මගින් නොවෙයි. එය සිදුවන්නේ විකිරණය නිසා තාපය ඔබේ අත්ලට ගමන් කිරීමෙනුයි. මෙහිදී ඒ විකිරණය සිදුවන්නේ අධෝරක්ත කිරණ මගින් ගිනි මැලයේ සිට තාප ශක්තිය ඔබේ අත්ලට ගෙන යාමෙනුයි. සාමාන්‍ය ආලෝක කිරණ මෙන් නොව අධෝරක්ත කිරණ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. විශ්වයේ ඇති හැම වස්තුවක්ම මෙසේ විකිරණය මගින් තාපය නිකුත් කරණවා. ඇත්ත වශයෙන්ම වායුගෝලයකින් තොර අභ්‍යවකාශය වැනි රික්ත ප‍්‍රදේශයකදී තාරකාවකට හෝ චන්ද්‍රිකාවකට තාපය නිකුත් කළ හැකි එකම ක‍්‍රමයද විකිරණයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.