කාන්තාර භූමි

Posted by

ලෝකයේ දේශපාලන සිතියමක් ගතහොත් එය රටවල් හැටියට, ඔව් 200ක් පමණ රටවල් හැටියට බෙදා වෙන්කර දක්වා තිබෙනවා දැක ගත හැකියි. එහෙත් ස්වාභාවධර්මයට එහෙම සීමා මායිම් නැහැ. ඒ නිසා පෘථිවි ග‍්‍රහයාගේ ස්වාභාවික බෙදීම් මිනිසා විසින් ඇතිකරගෙන තිබෙන බෙදීම් (රටවල්) වලට වඩා බෙහෙවින් වෙනස්. මහද්වීප යනු මෙලෙස භූගෝල විද්‍යාඥයන්ට, පෘථිවි විද්‍යාඥයන්ට ප‍්‍රයෝජනවත් බෙදීමක්. ඒත්, ජිව විද්‍යාව පරිසර විද්‍යාව  හා ජීවභූගෝල විද්‍යාව යන ක්ෂේත‍්‍රවල දී බියෝමය හෙවත් ජීව දර්ශකය වඩාත් අර්ථවත් සංකල්පයක් හැටියට සැලකෙනවා. මූලික භෞමික සහ ජලජ බියෝම දුසිමකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. උත්තර කේතුධර වනාන්තර (boreal coniferous forests), කාන්තාර, තුන්ද්‍රා(tundra) සහ දිය යට පරිසරයන් ද (underwater environments) ඇතුළුව මේ සැමකක්ම වෙන්ව ගත් කළ ඒවාට ආවේණික සත්ව හා ශාක ගති ලක්ෂණ සහිත සුවිශේෂී ‘ලෝකයන්’ය. ද අපි විශේෂයෙන් කතාබහ කරන්නේ කාන්තාර බියෝහ ගැනයි. අද අපි විශේෂයෙන් කතාබහ කරන්නේ කාන්තාර බියෝම ගැනයි.

කාන්තාර බියෝමය(biome) හෙවත් ජීව දර්ශනය තමයි මේ මහ පොළොව මත වඩාත්ම වියළි බියෝමය. සහරාව ගැන අප කවුරුත් පාහේ අහලා තියෙනවා. සහරාව වැනි ඇතැම් කාන්තාරවලට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය අඟලකටත් අඩුයි. ඔව් මුළු අවුරුද්දටම අඟලකටත් අඩුයි. එවැනි කාන්තාරවල පවතින ශාක මෙන්ම සත්ව විශේෂද ගෙවිය යුත්තේ ඉතා අසීරු දිවියක්.

creosot3

කාන්තාර ශාක ගත්තොත් ඒවා ජලය සංරක්ෂය කිරීම සඳහා ක‍්‍රමවේද පරිණාමීයව වර්ධනය කරගෙන තිබෙනවා. තෙත් බියෝමවල ශාකයන්හි විශාල පත‍්‍ර හෙවත් කොළ තිබෙන්නට පුළුවන්. එහෙම විශාල පත‍්‍ර වර්ධනය කරගන්නේ (ප‍්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය) සූර්යාලෝකය හැකිතාක් හසුකර ගැනීමටයි. ඒ වුණත් විශාල පත‍්‍ර ජල හානියටත් මග පාදනවා. ඉතින් එය වළක්වා ජලය සංරක්ෂණය කර ගැනීම පිණිස කාත්තාර ශාක ඉතා කුඩා පත‍්‍ර වර්ධනය කරගෙන තිබෙනවා. එහෙමත් නැතිනම් පත‍්‍ර ඇත්තෙන්ම නැතුව පරිණාමය වෙලා තිබෙනවා. ඒත් ඉතින් එතකොට ප‍්‍රභාසංස්ලේෂණයට කුමක්ද වෙන්නේ? ශාක මෙකී ප‍්‍රභාසංස්ලේෂණය කාර්යය ඒවායේ කඳට හෝ නටුවලට පවරනවා. පතොක් ශාකයෙන් අපට මේ බව හොඳින් නිරීක්ෂණය කළ හැකිවේ.

කාන්තාරයේ ජීවත්වන සත්ව විශේෂවලටද අධික උෂ්ණත්වය හා අවම ජල සැපයුම තුළින් ඇතිවන තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවෙනවා. කාන්තර සත්වයන් ආකෘතිකව (typically) ගත්තොත් නිශාචර විශේෂයි. ඔවුන් රස්නයෙන් ගැලවීම පිණිස දිවා කාලය බිල, බෙන තුළට වී සැඟ වී සිටිනවා. කාන්තාර ඉබ්බන් වැනි මින් සමහරක් සත්ව විශේෂ වසරේ උෂ්ණත්වය අධික කාලයේ දී ‘ගිම්හාන තරණයෙහි’ (estivation) යෙදෙනවා. ගිම්හාන තරණය කියන්නේ අපට අහලා පුරුදු සිසිර තරණය කාන්තාරයේදී කි‍්‍රයාත්මක කරන ආකාරයයි. මෙහිදී සතාගේ නාඩි වැටීම හා හුස්ම ගැනීම පුදුමාකාර ලෙස මන්දගාමී වෙනවා. එවිට ඔවුනට ඉතා අඩුවෙන් ජලය සහ ශක්තිය යොදා ගැනීමට ඉඩකඩ සැලසෙනවා.

Biomes_19_1400

ලෝකයේ කුඩාම සිවලා වන ෆෙනෙක් (fennec) ජීවත්වන්නේ අපි‍්‍රකාවේ සහාරා කාන්තාරයෙහියි. කාන්තාර ජීවිතයට ඌ අනුගත වී ඇති ආකාරය දක්වන පැහැදිලිම ලක්ෂණය තමයි පමණට වඩා විශාල උගේ කන්පෙති.  සමේ පෘෂ්ඨයට ඉතා ආසන්නව රුධිර නාල පිහිටා ඇති මේ විශාල කන් සිරුරේ තාපය විකරණය කර  හෙවත් විහිදුවා සිසිල්ව ගත කිරීමට මග පාදනවා. එහෙත් ජලය සංරක්ෂණය කිරීම මෙම නරි විශේෂයට ඇති හැකියාව උගේ කන් වාගේ බැලූ බැල්මට පෙනෙන දෙයක් නොවෙයි. මෙම ෆෙනෙක් නරියන්ට ජලය බීමට අවශ්‍ය වන්නේ බොහොමත්ම කලාතුරකිනි.

ඉතින් කාන්තාර බියෝමයක තත්ත්වයන්ට ශාක හා සත්ව අනුගතව පරිණාමය විමේදී ඇතිවී තිබෙන ගති ලක්ෂණ කිහිපයක් තමයි ඒ සඳහන් කෙරුනේ. මිලිමීටර 250කට අඩු වාර්ෂික වර්ෂාපතනයක් ඇති උණුසුම් ශුෂ්ක ප‍්‍රදේශ ලෙස තමයි ස්වාභාවික කාන්තාර බියෝම විග‍්‍රහ කෙරෙන්නේ. ඒවාට ආවේණික ගති ලක්ෂණ වශයෙන් සලකතොත් එවැනි ප‍්‍රදේශවල වාෂ්පීකරණය (evaporation) ඉහළයි. දහවල ඉතා ඉහළ උෂ්ණත්වයකින් (diurnal temperature)  යුක්තයි. කලින්ද දක්වා ඇති පරිදි කාන්තාරය ශාක හා සත්වයන් දැඩි රස්නය හා ජල හිඟය යන කාන්තාරවල ස්වාභාවික ගති ලක්ෂණවලට හැඩ ගැසී ඇති බව පැහැදිලියි. කාන්තාර ශාක අතුරෙන් ඉහළ ප‍්‍රතිශතයක් වාර්ෂික ශාක හෙවත් වසරකට හෝ ඊට අඩු කාලයකින් මිය යන ශාක වීම කාන්තාර පරිසරයේ ශාක අතර නෛසර්ගික ලක්ෂණයකි. කදෙහි ජලය රැස් කිරීම (ශාක) සහ දිවා කල බිල තුළ සැඟවී වාසය කිරීම (සත්ව) එවැනි චර්යා ලෙස දැක්විය හැකියි.

Kids Discover හි පළවු  Desert Lands ලිපිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.