සෙනසුරු ග්‍රහයා ගැන කියන විටම අපට නිතැතින්ම මතක් වෙන්නේ ඒ වටා ඇති වළලුයි. විද්‍යාඥයන්ගේ, කලාකරුවන්ගේ පරිකල්පනය අවදි කරවන මෙම වළලු අප බොහෝ දෙනාට දැනෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ස්ථාවර අංගයක් හැටියටයි. කැසිනි යානයේ අවසන් මාස කිහිපය තුළ ලබාගත් නිරීක්ෂණ අනුව පෙනී යන්නේ සෙනසුරු ග්‍රහයා වටා ඇති වළලු සාපේක්ෂව තරුණ බවයි. ඇමරිකානු භූ විද්‍යා සංගමය වෙත පසුගියදා ඉදිරිපත් කෙරෙන වාර්තාවක් අනුව පෙනී යන්නේ පසුගිය වසර මිලියන කිහිපයක් වන තුරුමත් එම ග්‍රහයා වටා මේ වළලු නොපැවති බවයි. ඒ කියන්නේ ඩයිනෝසරයන් මිහිපිට රජ කළ කාලයේ කෙනෙකු අහස දෙස බැලුවේ නම් දකින්නේ වළලු රහිත සෙනසුරු ග්‍රහයෙක්.
ඒත් ඊට පසුව හදිසියේ මේ යෝධ ග්‍රහයාට මහා පරිමාණ ව්‍යසනයක් සිදු වන්නට ඇත. බාගදා, ධූමකේතුවක් හෝ ග්‍රහයෙක් සෙනසුරුගේ අයිස්මය චන්ද්‍රයකු හා ගැටෙන්නට ඇත. ඒ නිසා ඇතිවූ සුන්බුන් වළල්ලක ආකාරයෙන් සෙනසුරු වටා කක්ෂ ගත වූවා විය හැකිය. එසේත් නැතිනම් සෙනසුරුගේ චන්ද්‍රයන් ගේ කක්ෂගත ගමන යම් හෙයකින් වෙනස් වුණා විය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවූ ගුරුත්වාකර්ෂණ ඇදිල්ල හේතුවෙන් චන්ද්‍රයකු කැඩී බිඳී ගියා වන්නටද පුළුවන. ඔය කොයි ආකාරයකින් එය සිද්ධ වුණා වේවා, කැසිනි යානය මගින් ලබාගත් තොරතුරු ධාරාවන් දෙකකින්ම පැහැදිලි වන්නේ සෙනසුරු වළලු මෙයට වසර බිලියන 4.5 කට පමණ පෙර, එනම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධියේ වළලු නොතිබූ බවයි. විද්‍යාඥයන් බොහෝ කාලයක් තිස්සේ විශ්වාස කළේ මුල් අවධියේ සිටම සෙනසුරු ග්‍රහයා වටා වළලු තිබූ බවයි. ඒත් කැසිනි තොරතුරු කියන්නේ ආදි කල්පික වළලු කතාව බිඳ වැටෙන බවයි. “මට නම් හිතන්නේ එහෙමයි” යනුවෙන් කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනය සතු අමෙස් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ග්‍රහ වළලු විද්‍යාඥයකු වන ජෙෆ් කුෂි කියා සිටීයි.
ප්‍රථම සාක්ෂි ධාරාව ලැබෙන්නේ වළලුවල ස්කන්ධයෙනි. වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් වැඩි නැඹුරුවක් දැරුවේ සෙනසුරුගේ ඕමාස් චන්ද්‍රයාගේ ස්කන්ධයටත් වැඩි ස්කන්ධයක් සහිත වළලු ඇත යන මතය කෙරෙහිය. මීට හේතු වන්නේ සෙනසුරුගේ මූලික වළල්ල වන B වළල්ලෙහි(the B ring) පාරාන්ධ, ඝන පෙනුමයි. මෙහිදී බලපෑ තර්කය වුණේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවදියේ දී පිරී පැවති ග්‍රහ පිණ්ඩ (planetesimals) මගින් දැවැන්ත වළල්ලක් තැනීමට වසර බිලියන ගණනක් තිස්සේ අවශ්‍ය තරම් ප්‍රමාණවත් ද්‍රව්‍ය සැපයෙන්නට ඇති බවයි. එහෙත්, කැසිනි කක්ෂගත නිරීක්ෂණ යානය සෙනසුරු පසුකර ගිය ගමන් වාර විසිදෙකෙන් අවසන් පහෙන් ලබාගත් දත්ත B වළල්ල අවධානයට ලක් කෙරෙතැයි රෝමයේ සැපිසෙන්ෂා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යාඥයකු වන ලුසියානෝ ලෙස් පවසයි. කැසිනෝ රේඩියෝ සම්පරික්ෂණ කණ්ඩායමේ නායකයා ලෙස් ය.
ග්‍රහ පිණ්ඩ
කැසිනි යානයේ රේඩියෝ සංඥාවල ඉතා කුඩා ඩොප්ලර් විස්ථාපනයන්, එය කක්ෂගතව ඇති වස්තුවේ ස්කන්ධය මැනීම පිණිස කණ්ඩායම් විසින් යොදා ගන්නා ලදී. සෙනසුරු ග්‍රහයා මතට කඩා වැදීමට පෙර කැසිනි යානය සෙනසුරු හා එහි වළලු අතරින් සීරුවෙන් ගමන් කළ අවසන් ගමන් වාර කිහිපයේදී කණ්ඩායම වළලුවල ගුරුත්වාකර්ෂණ ඇදිල්ල තෝරා බේරා ගැනීමට මෙන්ම ඒ අනුව ඒවායේ ස්කන්ධය නිර්ණය කරගැනීමට හැකිවිය. “ස්කන්ධය සහ (වස්තුවක) වයස සම්බන්ධ කෙරෙන න්‍යායන් නිවැරදි නම් ඉන් පැහැදිලි වෙන්නේ සෙනසුරු ග්‍රහයා බිහිවන විටම වළලුද බිහි නොවූ බවය” යි ලෙස් කියා සිටියි. මෙම නිගමනයට අනෙක් සාක්ෂි ධාරාවෙන් රුකුලක් ලැබෙන්නේ දෙසැම්බර 13 දා නිව් ඔලින්ස් හි පැවති ඇමරිකානු භුභෞතික සංගමයේ (American Geophysical Union) රැස්වීමට ඉදිරිපත් කෙරුණු තවත් වාර්තාවකිනි.
ඉතා කුඩා අංශු මනින කැසිනි සම්පරීක්ෂණයක් වන අන්තරීක්ෂ දූලි විශ්ලේෂකය(Cosmic Dust Analyzer) යොදා ගනිමින් වසර 12 ක් තිස්සේ වෙහෙසෙමින් සිදුකල ගණන් ගැනීම් හා විශ්ලේෂණ මේ වාර්තාවට ඇතුළත් විය. එහි ප්‍රතිඵල වළලු ඉතා පුරාණ යයි කියැවෙන මතය හා නොගැලපෙන බව බොල්ඩර්හි කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතිකඥ සැශ්චා කෙම්ප්ෆ් කියයි. මේ අනුව වළලුවල වයස වසර මිලියන 150 සිට 300 දක්වා අගයන් ගනී. “අපේ ගණන් හිලව් තමයි කෙලින්ම ලබාගන්න පුළුවන් මිනුම්. ඉතින් ඒවායේ පෙනෙන්නේ වළලු තරුණ බවය” යි කෙම්ප්ෆ් වැඩිදුරටත් සඳහන් කරයි.
සාක්ෂ්‍ය ධාරා දෙකම එක්ව ගත්කල සෙනසුරු වළලු වල තරුණ භාවය තහවුරු වෙන බව කොලරාඩෝ සරසවියෙහිම ග්‍රහලෝක විද්‍යාඥයකු වන ලැරී එස්පොසිටෝ ප්‍රකාශ කරයි. සෙනසුරු වළලු බොහෝ පැරණි යයි ඔහු මීට පෙර දිගු කාලයක් තිස්සේ විශ්වාස කළ අයෙකි. “මේ සාක්ෂි අනුව මට හිතෙන්නේ සෙනසුරු වළලු වයසින් වසර මිලියන 200කට වඩා අඩුයි” ඔහු කියයි. වළලු බිහිවීමට තුඩුදුන් ඝට්ටන කෙසේ වෙන්නට ඇති දැයි අධ්‍යයනය කිරීම විද්‍යාඥයන් දැන් ආරම්භ කළා පමණකි. “ දැන් නව අදහස් සඳහා කාලය උදාවෙලා. මුළු සෞරග්‍රහ මණ්ඩලය ම මේ වගේ පුදුම කරවන සුළු දේවල් වලින් ගහනයි.” කුෂී කියා සිටී.
________________________________________________________________________
කැසිනි : නාසා ආයතනය යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සහ ඉතාලි අභ්‍යවකාශ ඒජන්සිය එක්ක කැසිනි හියුජෙන්ස් මෙහෙයුම දියත් කෙරුණේ 1997 දී ය. එය වසර විස්සක් අභ්‍යවකාශයෙහි ක්‍රියාත්මක ව තිබුණි. කැසිනි යානය, එහි ඉලක්කය වූ සෙනසුරු ග්‍රහයා වෙත ගොස් ඒ වටා කක්ෂගතව ගමන් කිරීම ආරම්භ කළේ 2004 දී ය. මේ වසරේ (2017) සැප්තැම්බරයේ සිය මෙහෙවර නිමාවන තුරු කැසිනි ඕබිටරය මගින් සොයා ගනු ලැබූ විද්‍යාත්මක තොරතුරු අනාගත ග්‍රහලෝක ගවේෂණයේ ගමන් මග වෙනස් කිරීමට සමත් වූ බවයි විද්‍යාඥයන්ගේ මතය.
_________________________________________________________________
Science – AAAS(American Association for the Advancement of Science) Saturn’s rings are a recent addition to the solar system, Cassini observations show යන ලිපිය ඇසුරෙනි