අපේ ලෝකය සහ ක්ෂුද්‍ර ජීවී ලෝකය

Posted by

ක්ෂුද්‍ර ජීවීන් යනු පියවි ඇසට නොපෙනෙන සාමාන්‍යයෙන් අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි තරම් ඉතා කුඩා ප්‍රාණීන් ය.  තතු මගින් පල කරන ලිපි මාලාවේදී සොයා බැලෙන්නේ මෙම ක්ෂුද්‍ර ජීවීන් සහ අපගේ ජීවිත අතර සබඳතාවයි.මේ ලිපි මාලාවේදී අප උත්සාහ ගන්නේ ක්ෂුද්‍ර ජීවීන් අපේ ජීවිතවලට බලපාන අන්දම හඳුන්වා දීමටයි.මේ ලිපි මාලාවේ පළමුවැන්නයි.

Related image

අපේ ජීවිතයට බලපාන ක්ෂුද්‍රජීවීන් 

අප බොහෝ දෙනාට ශුද්ධ ජීවියකු(microbe) හෝ බීජ (germ)  යන්න ඇසෙන විට  මතක් වෙන්නේ අපට ලෙඩ රෝග ගෙන එන අපට වින කරන ඉතා කුඩා ජීව විශේෂයක් ගැනයි. නිතර අසන පැරණි ප්‍රශ්නයක් වන ‘උන් සත්තුද?,  ශාක ද? නැතිනම් පාෂාණ ද? යන්නෙන් දැක්වෙන ප්‍රවර්ග කිහිපයකටත් මේ ජීවීන් අයත් නොවන බවයි අපට සිතෙන්නේ.  මයික්‍රෝබ හෙවත් ශුද්ධ ක්ෂුද්‍ර ජීවීන් යනු තනි තනි වශයෙන් ගතහොත් පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා  ප්‍රාණීන් කණ්ඩායමකි.  මේ කණ්ඩායමට බැක්ටීරියා, දිලීර   (යීස්ට් සහ පුස්)  ප්‍රෝටෝසෝවා වන් (protozoa)  සහ අන්වීක්ෂීය ඇල්ගී අයත් වේ.  මේ කණ්ඩායමටම වෛරසද  ඇතුළත් වන නමුත් මෙම නිස්සෛලයීය(non-cellular) ස්ථිතීන් සැලකෙන්නේ ජීවය හා අජීවය අතර ඉමෙහි ලගින්නන් ලෙසය.

ප්‍රෝටෝසෝවා

අප මේ ක්ෂුද්‍ර ජීවීන් ගැන කල්පනා කරන්නේ අපව ලෙඩ කරවන ආසාදන ඇතිකරන,  අපට කරදර ගෙන දෙමින් කෑම වර්ග නරක්කරවන, එහෙම නැතිනම් ඒඩ්ස් වැනි බියකරු රෝගවලට මගපාදන අපට අහිතකර ජීවී විශේෂයක් හැටියටයි. එසේ වතුදු,  මේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් අපේ පරිසරයේ ජීව තුලනය(balance of life) පවත්වාගෙන යාමට උදව් වෙති. සමුද්‍ර සහ මිරිදිය ක්ෂුද්‍ර ජීවීහු සාගර, විල් සහ ගංගාවල අහාර දාමයන්ගේ පදනම සකසති.  පසෙහි සිටින ක්ෂුද්‍ර ජීවීන් හෙවත් පාංශු ක්ෂුද්‍ර ජීවීන් කසල (අපද්‍රව්‍ය) බිඳ දැමීමට ආධාර වන අතර වාතයේ නයිට්‍රජන් වායුව කාබනික සංයෝග බවට සංයෝජනය කරන්නේ  පස ජලය සහ සජීවීන් හා වාතය අතර රසායනික මුලද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරමිනි. ඇතැම් ක්ෂුද්‍ර ජීවීහු ප්‍රභාසංස්ලේෂණයේදී(photosynthesis) වැදගත් කාර්යයක් ඉටු කරති. ‍ප්‍රභාසංස්ලේෂණය යනු පෘථිවිය මත ජීවිතයට තීරණාත්මකව බලපාන ආහාර හා ඔක්සිජන් ජනනය කිරීමේ ක්‍රියාදාමයකි. මානවයන් සහ තවත් බොහෝ සතුන් ආහාර ජීර්ණයට හා  ශරීර වලට අවශ්‍ය ඇතැම් විටමින  සංස්ලේෂණයට(synthesis)  විශ්වාසය තබන්නේ සිය අතුණුබහන් වල සිටින ක්ෂුද්‍ර ජීවීන් මතය. පරිවෘත්තීය සඳහා ඇතැම් B විටමිනයන් ද ලේ කැටි ගැසීම සඳහා K විටමිනය ද ඊට ඇතුළත්ය.

වාණිජ භාවිතාවන් ගණනාවකටම ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනේ.  ඒවා, විටමින්,  කාබනික අම්ල, එන්සයිම, මධ්‍යසාර සහ බොහොමයක් ඖෂධ වැනි රසායන නිෂ්පාදන සංස්ලේෂණයේදී භාවිත කෙරේ. නිදසුනක් දක්වන්නේනම් ඇසිටෝන් (acetone) සහ බියු‍ටනෝල්(butanol)  නිෂ්පාදන සදහා ක්ෂුද්‍ර ජීවීන් යොදාගනු ලබන අතර විටමින් B2 (riboflavin රිබෝෆ්ලේවින්) සහ විටමින් B12 (cobalamin කොබලමින්) සාදනු ලබන්නේ ජෛවී රසායනිකවය. ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇසිටොන්  සහ බියු‍ටනෝල් නිපදවීමේ ක්‍රියාවලිය 1914 දී සොයා ගනු ලැබුවේ  එංගලන්තයේ වැඩ කළ, රුසියානු සම්භවයක් සහිත රසාඥයෙකු වන චේම් වෛස්මාන් විසිනි. එම වසරේ අගෝස්තු වෙහි දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමත් සමඟම ඇසිටොන් නිෂ්පාදනය බෙහෙවින් වැදගත් විය. මන්ද යුද අවි වල දී යොදාගන්නා දුම් රහිත පුපුරණ ද්‍රව්‍යයක් වන කෝඩයිට් සඳහා එය අවශ්‍ය වන හෙයිනි. ඇත්තට වෛස්මාන්ගේ සොයාගැනීම යුද්ධයේ ප්‍රථිපල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේය.

ආහාර කර්මාන්තය ද, නිදසුනක් ලෙස විනාකිරි, ගෝවා අච්චාරු (සැවු ක්රූට් නම් ජර්මන් අච්චාරු), සොයා සෝස්, චීස්, යෝගට්, පාන් සහ මධ්‍යසාර බීම වර්ග නිෂ්පාදනයේදී ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනේ.  මීට අමතරව ක්ෂුද්‍ර ජීවීන්ගේ  එන්සයිම, සාමාන්‍යයෙන් ඒවා මගින් සංස්ලේෂණය කරනු නොලබන ද්‍රව්‍ය නිපදවීමට හැකිවන සේ හැසිරවිය හැකිය. මෙලෙස නිපදවිය හැකි ද්‍රව්‍ය අතර සෙලියුලෝස්, ජීරණ ආධාරක සහ කාණු පිරිසිදුකාරක සමග ඉන්සියුලින් වැනි වැදගත් ප්‍රතිකාර ද්‍රව්‍යය ද ඇතුළත්ය. ඔබ ආශාවෙන් සැරසෙන ජීන්ස්  ද නිපදවීම සඳහා ක්ෂුද්‍රජීවීන් උදවු වනවා වන්නට ඇත.

Related image

ක්ෂුද්‍රජීවින් අතුරෙන් ව්‍යාධි කාරක(pathogenic)  වන්නේ ක්ෂුද්‍ර ජීවින් සුළුතරයක් පමණකි. එහෙත් වෛද්‍ය විද්‍යාත්මක  මෙන්ම ඊට අදාළ සෞඛ්‍ය විද්‍යාව සඳහා ක්ෂුද්‍ර ජීවීන් ගැන ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වේ. නිදසුනක් ගතහොත් සාමාන්‍යයෙන් හානිකර නොවන එහෙත් රෝගී සහ තුවාල ලත් අයට තර්ජනයක් විය හැකි සුලබ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් රෝගීන් ආරක්ෂා කිරීමට රෝහල් සේවකයන් සමත් විය යුතුය.

ක්ෂුද්‍රජීවීන් සෑම තැනකම පාහේ හමුවන  බව අපි අද අවබෝධ කරගෙන සිටිමු.  එහෙත් ටික කලකට පෙර, ඒ කියන්නේ  අන්වීක්ෂය  සොයා ගැනීමට පළමුව ක්ෂුද්‍ර ජීවීන් ගැන  විද්‍යාඥයන් දැන සිටියේ නැත. දරුණු රෝග වසංගත වලදී දහස් ගණන් ජනතාව  ජීවිතක්ෂයට පත් වූවත් එම රෝග වලට හේතුව හෝ ඒවා සම්ප්‍රේෂණය ගැන අවබෝධයක් නොවීය. ආසාදනයන්ට එරෙහිව සටන් කිරිමට එන්නත් හා ප්‍රතිජීවක නොතිබුණු හෙයින් ජනතාව මිය ගියේ පවුල් පිටින්. මේ අතීතය පසුකොට අද ක්ෂුද්‍ර ජීවවිද්‍යා  සංකල්ප සංවර්ධනය වුනේ කෙසේද යන්න ඓතිහාසික සන්ධිස්ථාන  අධ්‍යනයෙන් අවබෝධ කරගත හැක. හැබැයි ඊට පෙර අප තව හැදෑරිය යුතු දෑ ඇත. ඒවා තතු මතු ලිපි වලින් දැන කියා ගත හැකිය.

Microbiology — An Introduction (12 GLOBAL Edition, 2016) නම් ග්‍රන්ථයේ  Microbes in our Lives යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාර 4ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.