ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපට මතු පිටින් පෙනෙනවාට වැඩි යමක් විශ්වය සතුව පවතිනවා. අප සිතනවාට වඩා බොහොමත්ම ගොඩාක් දේවල් එහි තියෙනවා. ඇත්ත වශයෙන්ම, විශ්වයේ වැඩි කොටස සැලකිල්ලට ගන්නාවිට විශ්වයේ නැතිනම් වැඩි කොටස හමුවේ ඔබ අභූතයි සහ ඔබ නොවැදගත්. ඔබව සමන්විත වන එදිනෙදා දේවල් ඔබ සැලකිල්ල දක්වන සියල්ල මුළු විශ්වයෙන් සියයට 10 ක් වත් නැහැ. ඉතිිරිය සෑදී ඇත්තේ අඥාත ද්‍රව්‍ය (dark matter) සහ අඥාත ශක්තිය (dark energy) යනුවෙන් හඳුන්වනු ලබන ගුප්ත ස්ථිතීන් වලින්. ඔය දෙකම එකට ගත්තාහම ඒ දෙක අපේ කාලයේ මහාම මහා විශ්ව න්‍යාය විද්‍යාත්මක(cosmological) අභිරහස බවට පත්වනවා. ඒවා කුමක්ද යන්න නම් කාටවත් නිච්චි නැහැ.
තේරුම් ගැනීමට අසීරු මේ ස්ථිති දෙකෙන් මුලින්ම කරළියට පැමිණෙන්නේ අඥාත ද්‍රව්‍යයයි. අපි 1930 ගණන්වලට ආපස්සට ගියොත්, යාන් ඕට්(Jan Oort) කියන ඕලන්ද ජාතික තාරකා විද්‍යාඥයා ක්ෂීර පථය මන්දාකිණිය හෙවත් ගැලැක්සිය තුළ තාරකා කක්ෂගතව ඇති ආකාරයෙහි ඇතැම් ක්‍රම විරෝධයක් හෙවත් විෂමතාවක් ඇති බව නිරීක්ෂණය කර සොයා ගත්තා. මේ විපරීත චර්යාව පැහැදිලි කරන්න තිබුණු එකම විදිහ වුණේ ඇසට හසු නොවන, තේරුම්ගත නොහැකි යම් අඥාත ද්‍රව්‍යයකින් විශ්වයේ වැඩි කොටස පිරී පවතින්නේය යනුවෙන් පරිකල්පනය කිරීම පමණයි.
පසු කාලයකදී, ආලෝක වර්ෂ මිලියන 320 ක් ඈතින් පිහිටි මන්දාකිණි පොකුරක පෙර කිව් අන්දමේ විපරීත හැසිරීමක් ස්විට්සර්ලන්ත ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ප්රිට්ස් ස්විකි(Fritz Zwicky) විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ගුරුත්වය මගින් නියම කරනු ලබනවාට වඩා වේගයෙන් මන්දාකිණි හෙවත් ගැලැක්සි එකිනෙක වටා කක්ෂගතව ගමන් කරන බව ඒවායේ තාරකාවල එකට එකතු කළ ස්කන්ධ පදනම් කරගෙන ඔහු විසින් සොයා ගනු ලැබුවා. එක්කෝ පෙනී යනවාට වඩා බෙහෙවින් වැඩි පදාර්ථවලින් ගැලැක්සි සමන්විත වන්නට ඕනෑය නැතිනම් ගුරුත්වය පිළිබඳ අයිසැක් නිව්ටන්ගේ නීතිය වැරදි වෙන්න ඕනෑය. ස්විකි තෝරා ගන්නේ ඔය දෙකෙන් පළමුවැන්නයි. ඒ අනුව ඔහු අදහස් කළේ, අදිසි (නොපෙණෙන) වායු විශාල තීරු නැතිනම් වැටි එයට වගකිව යුතු බවයි.
කරකවලා අත ඇරියාවාගෙයි
1970 ගණන්වල දී තනි තනි මන්දාකිණි සම්බන්ධයෙන් පෙර කී නිරීක්ෂණයට සමාන නිරීක්ෂණයක් සිදු කළා. එනම් ඒ මන්දාකිණි කොපමණ නම් වේගයෙන් භ්‍රමණය වනවා ද කීවොත් ඒවා පැළී ඉරි යා යුතු යුතුයි යන්නයි එම නිරීක්ෂණය. විකල්ප අතුරෙන් ඔවුන් මුලින් ස්විකිගේ ‘අදිසි වායු’ පැහැදිලි කිරීම තෝරා ගත්තා වුණත් ඔවුන් ඒකෙන් කරදරයක වැටුණා. අදිසි ද්‍රව්‍යය ප්‍රෝටෝන(proton) , නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන වලින් සැදුම්ලත් නම් එතකොට තාරකා සහ මන්දාකිණි සෑදෙන ආකාරය පිළිබඳ අපේ අවබෝධය වැරදි වෙන්න ඕන: මුල්ම තාරකා සහ මන්දාකිණි සෑදීම පිණිස ඒවා එතරම් ඉක්මණින්ම බිඳ වැටෙන්නේ නැහැ.
ඉතින් ඒ ගොල්ලෝ, ආලෝකය හෝ අනෙකුත් විද්‍යුත් චුම්බක විකිරණ අවශෝෂණය කරන්නේ හෝ විමෝචනය කරන්නේ නැති තව මොනවා හරි අභිරහස් දෙයක්– පදාර්ථයක ගුප්ත ස්වරූපයක් විශ්වයේ තිබෙනවාය යනුවෙන් තව්දුරටත් කල්පනා කරන්න පටන් ගත්තා, මෙම හේතුව නිසා අපට එය දැක ගත නොහැකිය කියලා හිතුවා. එහෙත් එය ගුරුත්වය සමග අන්තර් ක්‍රියා කරනවා. ඒ හන්දා තමයි අපට සාමාන්‍ය පදාර්ථ මත එහි බලපෑම දැකගත හැක්කේ. ඔවුන් එය හැඳින්වූයේ අඥාත ද්‍රව්‍යය ලෙසයි.
අඥාත ද්‍රව්‍යය යනු විශ්වය සමන්විත වන ද්‍රව්‍ය වලින් වැදගත් සංඝටකයක් කියලා විශ්වවේදීන් දැන් විශ්වාස කරනවා. විශ්වයෙන් සියයට 27 ක් පමණ සමන්විත වන්නේ අඥාත ද්‍රව්‍ය වලිනුයි. එමගින් සැපයෙන අතිරේක ගුරුත්වය නොවන්නට මෙපමණ ඉක්මණින් ගැලැක්සි පමණක් නොව අද අප දකින ගැලැක්සි පොකුරු ද, සුපිරි පොකුරු ද සෑදීමට ඉඩ ලැබෙන්නේ නැහැ.
අඥාත ද්‍රව්‍ය වැඩි පුරම ඒකරාශි වෙලා තියෙන්නේ ගැලැක්සි වටා ඇති ගෝලීය ප්‍රභා මණ්ඩලය තුළය. ඇත්ත වශයෙන්ම, අප අයත් වන්නා වූ ක්ෂීරපථය මන්දාකිණිය වැනි සර්පිලාකාර මන්දාකිණිවල ස්කන්ධයෙන් බොහොමයක් අඩංගු වී ඇත්තේ එහි තාරකා හෝ ග්‍රහලෝකවල නොව එම වස්තු වටා ඇති අඥාත අදිසි ද්‍රව්‍යයෙනි.
ඉරිදා(හෙට) මේ ලිපියේ ඉතිරි කොටස පළ වෙයි. නොවරදවාම කියවන්න
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT IS THE UNIVERSE REALLY MADE OF?පරිච්ඡේදය ආශ්රයෙනි.