සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුල මුල 9: පෘථිවියෙහි භූමිය වගේම සාගර තියෙන්නේ ඇයි?

ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

පෘථිවියෙහි භූමිය වගේම සාගර තියෙන්නේ ඇයි?

අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහයන් හතරෙන් එකකි, පෘථිවිය නැතිනම් මහපොළොව. බුධ, සිකුරු සහ අඟහරු තමයි අනෙක් තුන. (සියල්ලෙහි සුලමුල  7බලන්න). හැබැයි ඉතින්, අනෙක් ග්‍රහ ලෝකවල කෙසේවෙතත් මේ මිහිපිට ජීවය තිබෙන්නේය  කියන කාරණාව පමණක් නොවෙයි වෙනත් අංග ගත්තත් පෘථිවිය, අනෙක් ඒවා සමග  ගලපීමක් නැහැ. පෘථිවියට තියෙන්නේ සන්සුන් නැති පෘෂ්ඨයක් හෙවත් මතුපිටක්. භූ කාරක තැටිවල(plate tectonics ) නිර්දය ක්‍රියාකාරිත්වය නිසා පෘථිවියෙහි පෘෂ්ඨය නිරන්තරයෙන්ම යළි සැකසෙමින් පවතිනවා. ඔය කාරණාවටත් වඩා අසාමාන්‍ය දෙයක් තියෙනවා. පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණ වැසී ඇත්තේ ජලයෙන්.

ඒ කාරණාව සැලකිල්ලට අරන් තමයි, “අපේ මේ ග්‍රහයාට පැහැදිලිවම කිව යුත්තේ සාගරය කියලා වුණත් මහ පොළොව කියලා කියන එක කොයිතරම් නම් නොගැළපෙන කතාවක්ද?“ කියල වරක් ආතර් සී. ක්ලාක් කියා හිටියේ. පෘථිවි ග්‍රහයාගේ මතුපිට එහා මෙහා යාම, එමෙන්ම ජලයෙන් යට වී තිබීම වටහා ගැනීමට නම් අප එහි ආදිතම ආරම්භක කාලය  වෙත යළි යා යුතුයි.

අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය නැතිනම් පටන් ගත් කාලය මෙයට වසර මිලියන 4.567ක් කියලා තමයි පොදුවේ පිළිගැනීම.  ඔය කියන අවස්ථාවේ ඇත්තටම පෘථිවිය පැවතුණේ නැහැ. ග්‍රහපිණ්ඩවල ප්‍රචණ්ඩකාරී ඝට්ටන තුළින් එය බිහිවීමේ ක්‍රියාදාමය තමයි ඒ අවස්ථාවේ තිබුණේ. මෙයට වසර මිලියන 4.55ක් පමණ වෙද්දී පෘථිවියෙන් 65%ක් ගොඩ නැගිලා තිබුණා. මෙම  නොමේරු හෙවත් කලලමය ග්‍රහලෝකය අතිශය රස්නයකින් යුක්ත වුණා. ඇත්තටම එය උණුවූ පාෂාණවලින් සම්පූර්ණයෙන්ම සමන්විතවුණු. ‘මැග්මා ලෝකයක්‘.  ඒත් එය අනුමානය  කිරීමට හැකිපරිදි සිසිල් වෙන්නට පටන් ගෙන පාෂාණමය හරයක් සෑදුණා.

ඊළඟට ඔයිට වසර මිලියන  20කට පමණ පස්ස් ළදරු පෘථිවිය ඝනීභවනය වෙද්දී එමෙන්ම සූර්යයා වටා කක්ෂගත ගමනකට හුරුවෙද්දී  ඒ ක්‍රියාදාමය හිටි අඩියේම නතර කරනු ලැබුවා. මේ තරුණ ග්‍රහලෝකයට අඟහරු ප්‍රමාණයේ වස්තුවකින් කනේ පහරක් එල්ල වුණා. මේ ඝට්ටනයෙන් ඇතිවුණු සුන්බුන් පෘථිවිය වටා  කක්ෂයක් වෙත විසිවී ගිය අතර අවසානයේ චන්ද්‍රයා සෑදුනේ ඒවායින්. පෘථිවියෙහි වායුගෝලය වාෂ්පීකෘත වූ පාෂාණපිරී ගිය අතර ඒවා ඝනීභුතව ලාවා වර්ෂා ලෙසය ඇද වැටුණේ  සමහර විට දවසකට මීටරයක්  ප්‍රමාණය බැගින්  උණු වූ පාෂාණ සාගරයක් නිර්මාණය කරමිනුයි.

මහ පොළවට පහර පිට පහර

බාගදා එහි හරය දක්වාම පෘථිවිය  තවත් වරක් උණුකිරීමට ප්‍රමාණවත් තාපයක් ඝට්ටනයේ ශක්තියෙන් සැපයුණේ මැග්මා සාගරය යළි නිර්මාණය කරමිනුයි; එමෙන්ම අපේ ග්‍රහයගේ  ඉස්සර  භූවිද්‍යාත්මක වාර්තාව මකා දමමිනුයි.

ඊළඟට අලි මදිවාට කොටි  කීවාක් මෙන් මෙයට වසර බිලියන 4.1කට පමණ පෙර, ‘පසුකාලීන දැඩි විවර්ෂණය හෙවත් බැට දීම’(Late Heavy Bombardment) ආරම්භ වුණා. සමහර විට වායු යෝධයන්ගේ කක්ෂ ගත ගමනෙහි යලි සැකසීමකින් දෝ මුලපිරී ග්‍රහක පථයෙන් උල්කාෂ්ම වර්ෂාවක් සේ පොළව මත කඩාවැටෙන්නට පටන් ගත්තා. ඒකෙන් වුණේ පෘථිවියෙහි පෘෂ්ඨය යළිත් වරක් අර්ධ වශයෙන් උණු වී යාමයි. මේ මහා කැළඹිලි, පසු කාලීන තැටි භූ චලන හා ජීර්ණය(weathering) සමග එකතුව අපේ පෘථිවි ග්‍රහයාගේ මුල් වසර බිලියන භාගය ගැන දැනුමෙහි කැපී පෙනෙන හිඩැසක් ඇති කර තිබෙනවා. ඒ අවධියේ මිහිපිට පැවති අපායක් බදු අහිත කර තත්ත්වය හඳුන්වනු ලබන්නේ නරකාවාට සමය(the Hadean) යනුවෙනුයි.

Related image

වසර බිලියන 4 කට පමණ පෙර නරකාවාටයෙන් මිදී පෙරට එද්දී පෘථිය සතුව වියළි භූමිය, සාගර සහ භූකාරක තැටි සහ සමහරවිට ජීවය ද තිබෙන්නට ඇති. එදා තිබූ ලෝකය අද අප දකින මේ ලෝකය ම නොවේ. නිදසුනක් දක්වතොත්, වායුගෝලය බෙහෙවින් වෙනස් විය. එහෙත්, චන්ද්‍ර ඝට්ටනයෙන් පසුව මතුව ආ උණු වූ පාෂාණ බෝලයට වඩා නම් එය බෙහෙවින් වෙනස් වී තිබුණි. පෘථිවිය ඒ අන්දමට වෙනස් වූයේ කෙසේද? ඒ ප්‍රශනයට පිළිතුරු සමග ලිපියේ ඉතිරි කොටස හෙට කියවමු.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  WHY DOES EARTH HAVE LAND AND OCEANS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: