මනසෙහි ඇබ්බැහිවීම්: විචාරාත්මක ප්‍රතිචාර කුසලතා

Posted by

හවුලේ පරිහරණය කරනු ලබන වටිනාකම් හෙවත් හරයන්, ආකල්ප සහ කුසලතා, එක්එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරන්නේ කෙසේ ද යන්න ගැන පුද්ගලයෝ ඉතිහාසය  පුරාවට සිය සැලකිල්ල, අවධානය දක්වා  ඇත්තාහ. මේ කාරණා තුනම,  විධිමත් පාසල් අධ්‍යාපනය නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර උගන්වනු ලැබූ ඒවාය.  දැනුම, ඉගෙනුම සහ ජීවිතයේ අනෙකුත් අංග ගතහොත් ඒවා ගැන ජනතාවගේ අදහස් හැඩගැන්වීම්හිලා අද පවා පවුල, ආගම, සමපදස්ථයන්( – සාමාන්‍යයෙන් සම වයසේ, තත්ත්වයන් හා උනන්දුව ඇති අය), පොත පත,  ප්‍රවෘත්ති සහ විනෝදය සපයන මාධ්‍ය  සහ  පොදු ජීවන අත්දැකීම් ප්‍රධාන බලපෑම් මාර්ග වේ.  මේ ක්‍රියාදාමයේදී,  පාසල් අධ්‍යාපනය හෙවත් ශික්ෂණය යන සන්දර්භය තුළ  විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණය යන අංග තුණ වැදගත්  කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඊට හේතු දක්වතොත්,  ඒවා  ගොඩ නැගී ඇත්තේ කැපී පෙනෙන හර පද්ධතියක් මත වීම ද, ඒවා  පොදුවේ සමාජය හරයන් පිළිබිඹු කිරීම හා එම හරයන්ට ප්‍රතිචාර දැක්වීම ද එමෙන්ම  හවුලේ පරිහරණය කරන සංස්කෘතික හරයන් හැඩගැසීමෙහිලා එන්ට එන්ට ම වැඩි වන බලපෑම් කිරීම ද සඳහන් කළ හැකිවේ.  සංස්කෘතික විවිධත්වය සහ පෞද්ගලිකත්වය අගයන එමෙන්ම  මතවාදය දෙස සැක මුසුව බලන සමාජයක දැඩි සංවේදී තාවයක් දක්වන කාරණාවක් වන  හරයන් සහ ආකල්පයන් සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය(ශික්ෂණය)  දක්වන දක්වන සැලකිල්ලෙහි ‍ප්‍රමාණයටම  තරුණ පිරිසගේ පාසලෙන් ඔබ්බට  ඇති ජීවිතය සූදානම් කිරීමේදී ද විද්‍යාත්මක හරයන් ම‍ෙන්ම ආකල්ප  සැලකිල්ලට  ගත යුතුය.

මෙලෙසම, විද්‍යාව ගණිතය සහ  තාක්ෂණය හා සම්බන්ධව තරුුණ පිරිස් සිය පාසල් සමයේ දී වර්ධනය කරගැනීමට අවශ්‍ය චෛතසික කුසලතා ද ඇත. සුවිශේෂීව ම නොවුණත් මේවා අතරින් බහුතරය විධිමත් සහ අවිධිමත්  ඉගෙනුම යන දෙකටම මෙන්ම සමස්තයක් වශයෙන් සමාජය තුළ ජීවිත කාලයක් ගත කිරීමටද අත්‍යවශ්‍ය ගණිතමය හා තාර්කික කුසලතා ය. එක්ව ගත්කල මෙම හරයන්, ආකල්ප සහ කුසලතා මනසෙහි ඇබ්බැහි ලෙස සිතිය හැකිය. ඊට හේතුව ඒවා සියල්ල සෘජුවම පුද්ගලයෙකුගේ දැනුම හා ඉගෙනුම මෙන්ම සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති දෘෂ්ටියකින් සම්බන්ධවීමයි.

මේ ලිපිපෙළ මගින් විද්‍යා අධ්‍යාපනය යන සන්දර්භය තුළ  හරයන්,  ආකල්පයන් සහ කුසලතාවන් සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කරණු ලැබේ. ලිපි පෙළෙහි මුල් කොටසින් හරයන් සහ ආකල්ප සම්බන්ධ විශේෂිත අංග හතරක් ගැන අවධානය යොමු කෙරේ: විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණයට ආවේනික වටිනාකම්; විද්‍යාව සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම්; පොදු සමජ වටිනාකම් වෙරගැන්වීම; විද්‍යාව සහ ගණිතය අවබෝධ කර ගනු වස් තමන් තුළම ඇති හැකියාව ගැන ජනතාවගේ ආකල්පයන්.

ලිපි පෙළෙහි දෙවැනි කොටසින් අවධානය යොමුකෙරෙන්නේ, ආගණනය සහ නිමානය(computation and estimation), මෑනවීම(හසුරුවීම) සහ නිරීක්ෂණය(manipulation and observation), සංනිවේදනය, සහ  නැගෙන තර්කවලට දක්වන  විචාරාත්මක ප්‍රතිචාර කෙරෙහිය.

විචාරාත්මක ප්‍රතිචාර කුසලතා

ජනමාධ්‍ය, ගුරුවරු සහ සමපදස්ථයෝ(peers),  විවිධ ස්වරූපවලින් දැඩි මත (ප්‍රගල්භන) සහ තර්ක සිසුන් මත පටවති. මින් සමහරක් අයත් වන්නේ විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය පථයටය. අධ්‍යාපනයෙන් සිදුවිය යුත්තේ, අවධානය යෙදවිය යුත්තේ කුමණ සාක්ෂි වෙත දැයි සහ ඉවතලිය යුත්තේ කුමක්දැයි  තීරණය කිරීමින්,  එමෙන්ම  සැලකිලිමත්ව ගොඩ නගන තර්ක බාල,  අවුල් සහගත තර්කයන්ගෙන් වෙන්කොට හඳුනා ගනිමින් එවන් දැඩි මත විචාරාත්මකව කියැවීම හෝ ඒවාට විචාරාත්මකව ඇහුම්කන්දීම පිණිස  ජනතාව සූදානම් කිරීමය. එපමණක් ද නොව ජනතාව ද තමන්ගේ ම නිරීක්ෂණ, තර්ක සහ නිගමන සම්බන්ධයෙන් එකී විචාරාත්මක කුසලතා යොදා ගැනීමේ හැකියාව සතුවිය යුතු අතර එසේ කිරීමෙන් තමන්ගේම අගතීන් හා ප්‍රාග් විනිශ්චයන් මෙන්ම තර්කාපණ හෙවත් යුක්ති ප්‍රතිපාදන(rationalizations) මගින් අඩුවෙන් වෙළි සිටීමට හැකිවිය යුතුය.

තාක්ෂණික ක්ෂේත්‍රයන්හී විශේෂඥයන් වීමට සෑම දෙනාටම හැකිවෙතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් සැකසහිත දැඩි මත සහ තර්කවල ලක්ෂණ සොයා ගැනීමට සැමටම උගෙන ගත හැකිය. මෙයට, අපේක්ෂිත ප්‍රතිඵල වාර්තාකරන ආකාරය සම්බන්ධ වේ. මතු දැක්වෙන්නේ  ඇතැම් දුර්වල තර්ක හඳුනාගැනීමට ඉවහල් වන  සලකුණුය. ඒවා උපයෝගී කර ගනිමින් දුර්වල තර්ක හඳුනාගැනීමට සහ ඒවා පිළිබඳ සැලකිලිමත්වීමට  අප උගෙන ගත යුතුවේ.

 

  • තර්කයෙහි පූර්වාවයවයන් (premises =අනුමානයකට පාදක කරගත් පූර්ව කියමන) සවිස්තරව, නිශ්චිතව දක්වා නොතිබීම
  • සපයා ඇති සාක්ෂිවලින් නිගමනය තර්කානුකූලව තහවුරු නොවීම (නිදසුනකට වඩාත්ම “පොහොසත් ජනතාව වැඩිදෙනා රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දෙති” යන්නෙහි සත්‍යය එහි අනිත් පැත්තෙහි  (විලෝමයෙහි) සත්‍යය එනම් “රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දෙනා පොහොසතුනය්” යන්න ඔප්පු නොවේ.
  • තර්කය පදනම් කරගෙන ඇත්තේ සාදශ්‍යය මත වුවත් සංසන්දනය උචිත නැත.
  • පරිසිද්ධිය (fact =කරුණු) හා මතය(opinion) එකිනෙක් හා කලවම් වී තිබීම. පරිසිද්ධි(facts) ලෙස, මත(opinions)  ඉදිරිපත් කර තිබීම හෝ කෝක කොයිකද කියා පැහැදිලි  නැතිවීම
  • කීර්තිමතුන්,  අධිකාරින් (විශේෂඥයන්) ලෙස යොදා ගැනීම (උදා: ‘චිත්‍රපට තාරකාව නව ආහාර වර්ගය(හෝ සුවඳ විලවුන් වර්ගය) අනුමත කරයි’.)
  • විශේෂිත සඳහන් කිරීම් වෙනුවට අනිශ්චිත උපලක්ෂණ යොදා ගැනීම (නිදසුන් ‘ප්‍රධාන පෙළේ වෛද්‍යවරැ පවසති’, ‘විද්‍යාව පෙන්වා දී ඇත’,  ‘වෙනත් සමහර අවස්ථා හා සසදන විට….’,  සහ ‘විද්‍යා ප්‍රජාව නිර්දේශ කරන්නේ ….’)
  • තමන්ම වාර්තා කරන මත හෝ තොරතුරුවලදී ඕනෑකමින්ම සිදු කරන හෝ උපවිඥානකව සිදු කරන විකෘති කිරීම්වලින් ආරක්ෂාවීමේ පියවර  ගැන කිසි සඳහනක් නොකිරීම.
  • සම්පරීක්ෂණයකින් එළඹි බව කියන සාක්ෂිෂීවල දී සම්පරීක්ෂණ කණ්ඩායම්(experimental group) සේම පාලක කණ්ඩායම්(control groups) ගැන සඳහනක් නොකිරීම
  • පරිමාණයේ කොටසක් කපා හැරීම, අසාමාන්‍ය පරිමාණ ඒකක යොදා ගැනීමෙන් හෝ පරිමානයක් කොහොමටවත් යොදා නො ගැනීම හෝ මගින් ප්‍රතිඵලවල පෙනුම විකෘති කෙරෙන ප්‍රස්ථාර යොදා ගැනීම.
  • ‘ගැටවරයන්’, ‘පාරිභෝගිකයන්’,  ‘සංක්‍රමණිකයන්’  හෝ  ‘රෝගීන්’ වැනි කණ්ඩායමක සියලු සාමාජිකයන් සතුව වෙනත් කන්ඩායම්වල ගති ලක්ෂණ උපරිපතනය (එක පිට එක වැටීම) නොවන මුළුමනින්ම පාහේ අනන්‍ය ගතිලක්ෂණ ඇතැයි ගම්‍ය කිරීම
  • ප්‍රතිඵලවල සාමාන්‍යය(average) ඉදිරිපත් කළ ද එම සාමාන්‍යය වටා ඇති විචල්‍යයන් වාර්තා නොකිරීම ප්‍රතිශතයක් හෝ භාගයක්(fraction) ඉදිරිපත් කළ ද සම්පූර්ණ නියැදියේ ප්‍රමාණය ඉදිරිපත් නොකිරීම (දන්ත වෛද්‍යවරු දහයක් අතුරෙන් නවදෙනෙකු නිර්දේශකරන්නේ…)
  • පරිපූර්ණ ප්‍රමාණය හා අනුපාත එකට මිශ්‍රකරමින් යෙදීම ( අනෙකුත් නගරවල සොරකම් වැඩි වූ ප්‍රමාණය සියයට 1ටත් වඩා අඩුවෙද්දී අපේ නගරයේ පසුගිය වසරේ සොරකම් 3400ක් සිදු විය.)
  • නොමග යවන සුළු යථාතථ්‍යබවකින් යුතුව ප්‍රතිඵල වාර්තා කිරීම (නිදසුනකට සිසුන් 19 දෙනෙකුගෙන්  13 දෙනෙකු යන්න සියයට 68.42   ලෙස නිරූපණය කිරීම
  • අනෙකුත් විභවයන් හෙවත් හැකියාවන් ගැන කිසි සඳහනකින් තොරව සැලකිල්ලට ලක් කළ යුත්තේ එකම දෙය ලෙස පැහැදිලි කිරීම් සහ නිගමනයන් නිරූපණය කිරීම

 

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HABITS OF MIND නම්  12 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක අවසන් ලිපියයි මේ..  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.