ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා. නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.
එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS. එය ඇසුරෙන් සකසණු ලබන, සෑම බදාදාවකම තතු ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.
හැමදෙයක්ම වැඩිහිටියන්ගේ පාලනයේ තියෙන්නේ ඇයි?
පිළිතුරු සපයනු ලබන්නේ සම්මානනීය නිළි, විහාසිකා සහ ලේඛිකා Miranda Hart විසින්
ඇත්තම කියනවානම් මගේ හිතටත් සමහර වෙලාවට ඔය ප්‍රශ්නේ එනවා. බාගදා, ඔබටත් මේ ප්‍රශ්නය හිතට නැගෙන අවස්ථා ඇති. සමහර විට ඔබට නොතේරෙන දේවල් වැඩිහිටියන් කරන විට හෝ, නිවැරැදි හෝ සාධාරණයැයි ඔබට නොහිතෙන දේවල් කරන්න කියා ඔවුන් ඔබට කියන විට ඔබත් මේ ප්‍රශ්නය අහල ඇති. මට විශ්වාසයි , ඔවුන් කියන දේ ඔබට කරන්න සිද්ධනොවුණා නම් ඔබට මීට වඩා සතුටින් ඉන්න තිබුණා නේද කියලා ඔබ හිතනවා ඇති. ඒ වගේම වැඩිහිටියෙක් වන මට වුණත්, මට වඩා වයසින් වැඩි හෝ මට වඩා ඉහළ රැකියාවක නියැලෙන කෙනෙක් ඇතැම් වෙලාවට, මම කරන්න කියන්න ඕනෑ මොනවා ද කියලා මට කියලා දෙන්න හදන කොට කේන්ති යනවා වගේම ඔවුන් වැරදියි කියලත් හිතෙනවා.
නමුත් කාරණාව මේකයි. අපට වඩා ජීවිතය පිලිබද දැනුම, ප්‍රඥාව වගේම බොහෝ අත්දැකීම් තියෙන නිසාවෙන් වැඩිහිටියන්, අපේ ආරක්ෂාව සහ යහපත පිලිබද හොඳින් සිතා බලා තීරණ ගන්න නිසා අප ඔවුන්ව විශ්වාස කල යුතුයි. මොකද ඔවුන් අපිට ආදරෙයි. එය සැම විටම එහෙමෙයි කියලා දැනෙන්නේ නැහැ වගේම වැඩිහිටියනුත් සමහර වෙලාවට එය වරදවා වටහා ගන්නවා. ඔබ යමකට දැඩි ලෙස විරුද්ධ නම් එය ඔවුන්ට සන්සුන්ව පවසා ඔවුන් කියන්නේ කුමක්දැයි බලන්න. කොහොම නමුත් මූලික වශයෙන්, මිනිසුන් වයසට යනකොට, ඔවුන්ගේ ජීවිත අත්දැකීම්වලින් වටහා ගන්නේ ඔවුන් වඩා දක්ෂ හා සියල්ල පිළිබඳ වඩා හොඳින් දන්නා නිසා ඔවුන් පාලනය භාරව සිටිය යුතුයි කියලයිි. මතු යම් දවසක ඔබත් වැඩිහිටියෙක් බවට පත්වෙච්ච කාලයක මම මේ කියන කාරණය ඔබට ඉතාම හොඳින් වටහා ගන්න පුළුවන් වේවි.
ඒ කෙසේ වෙතත් මට ඔබ සමග පුංචි රහසක් බෙදාහදා ගන්න අවශ්‍යයයි. මට හිතනවා සමහර වෙලාවට වැඩිහිටියන්ටත් වරදින්නේ ළමයෙක් හැටියට ඉන්නවා කියන එක ඒගොල්ලන්ටත් අමතකවෙලා ගිහින් තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ප්‍රධාන ස්වරූප නැතිනම් ආකාර තුනකින් ඒ දේවල් වැඩිහිටියන්ට මතක් කර දෙන්න පුළුවන්.
මුලින්ම, ඔබ සමග සෙල්ලම් කරමින් කාලය ගත කිරීම කොච්චර වැදගත් වෙනවාද, අවශ්‍ය ද කියලා වැඩිහිටියන්ට ඒත්තු ගන්වන්න ඕනෑ. මොකද කීවොත් සමහරවිට වැඩිහිටියන් ඕනවට වඩා වෙහෙස මහන්සි වී වැඩ කරනවා නේ. ඉතින් පුන්චි අය එක්ක ටිකක් විනෝදෙන් ගත කරන එක ඒ අයටත් හොඳයි, පුන්චි අයටත් හොඳයි.
දෙවනුව, අනික් මිනිසුන් ඔවුන් ගැන හිතන දේ ගැන වද වෙන්න එපා කියලා ඔවුන්ට(වැඩිහිටියන්ට) මතක් කරන්න. ඔන්න ඔහේ කිසිගානක් නැතුව තමන්, හැමවිටමත් තමන් විදිහටම් ඉන්න ගමන් හිතට හයියක් අරගෙන තමන්ගේ සිහින හඹා යන්න කියලා ඒගොල්ලන්ට කියන්න. තමන්ගේ සිහින හඹා නොයා ඉන්න එක තේරුමක් තියෙන දෙයක් යැ. එහෙම නේද?
ඒ වගේම අවසන් වශයෙන්, ඔබට පුළුවනි ඔවුන්ට කියා දෙන්න හැම දවසක්ම උපරිම සතුටෙන් ගෙවන්න කියලා. ඒ වගේම හෙට දවස ගැන වද නොවී ඉන්න කියලා. මොකද වැඩිහිටියන්ට ඒ මොහොත සතුටෙන් හා නිවී සැනසිල්ලේ ඉන්න අමතක වෙන්න ඉඩ තියනවා. ඒ වුණත් ඔබට පුළුවනි ඒ ඒ දින වෙන වෙනම අරගෙන ඒකෙන් ලබාගන්න පුළුවන් හැම සතුටක්ම මිරිකලා, පෙරාලා අරගෙන ඒ ඒ දිනය සතුටින්, ප්‍රීතියෙන් ගත කරන විදිහ ඒගොල්ලන්ට කියලා දෙන්න. පුංචි සන්ධියේ හැම මොහොතක්ම ප්‍රීතියෙන් ගත කරන එක සමබන්ධයෙන් කියා දෙනවා නම් ඒකට දක්ෂම ඉතින් පුංචි අයනේ, නේද?