ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි QWERTY යතුරු පුවරුව ළඟ නැවතුණේ ඇයි? II කොටස
1874දී රෙමින්ටන් සමාගම ඔවුන්ගේ නොම්මර එකේ යතුරුලියනය වෙළඳපොළට හඳුන්වාදීමෙන් පසුව කෙටි කාලයක් තුළ ලෝකයේ මුල්ම වරට වෙළඳපොළ ජයගත් අකුරු ලියන යන්ත්‍රය බවට පත්වුණා යයි අපි ඊයේ පළ වූ මේ ලිපියේ මුල් කොටසේ සඳහන් වුණා. අද එතැන් සිට….
1890සර වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ භාවිතයට ගැනුණු QWERTY යතුරු පුවරු ප්‍රමාණය 100,000 ඉක්මවා තිබුණා. QWERTY යතුරු පුවරුව 1870 දශකයේ පැවතුණු පැරණි ආකෘතියෙන් විකාශය වුණු බව පැහැදිලියි. නමුත් මේ අක්ෂර සැකැස්මේ සුලමුල මොකද්ද?
මේ සම්බන්ධයෙන් නිරින්තරයෙන්ම අසන්නට ලැබෙන පැහැදිලි කිරීමක් වන්නේ වේගයෙන් යතුරු පුවරුව භාවිත කිරීම නිසා යන්ත්‍රයේ අකුරු සහිත කූරු එකවර උඩට ඇදී යන්ත්‍රය ‘හිරවීම’ හෙවත් අවහිරවීම (jamming) වලක්වනු වස් යතුරු ලියන්නාගේ වේගය අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස මේ අන්දමින් පුවරුව සකස් කළ බවයි. මෙලෙස ‘අකුරු එකට හිරවීම’ මුල් කාලයේ අත්හදා බැලූ යතුරුපුවරු ආකෘතිවල අතිවුණු දෝෂයක්. ලිවීමේදී නිරන්තරයෙන් එක ළඟ යෙදෙන අක්ෂර ඈත් කොට තැබීමෙන් මෙම අවහිරවීම වලක්වා ගත හැකි වෙතැයි කල්පනා කෙරුණා.
ඒ වුණාට, ඒ මතයේ ඇත්තක් නැහැ. ඉංග්‍රීසි භාෂාවේදී දෙවැනියට නිරන්තරයෙන්ම එකිනෙකට ආසන්නයෙන් ලියවෙන අක්ෂර වන Eසහ R පිහිටා ඇත්තේ යාබදව පිහිටි යතුරු මතයි. සුලබවම එකිනෙකට ආසන්නව යෙදෙන T සහ H අක්ෂර දෙකත් පිහිටා තිබෙන්නේ එකිනෙකට බෙහෙවින්ම සමීපවයි. 1949දී සිදුකළ සංඛ්‍යාලේඛනාත්මක විශ්ලේෂණයකදී හෙළි වුණේ අහම්බයෙන් අක්ෂර සකස් කළ යතුරුපුවරුවක තිබෙන්නට හැකිවාට වඩා එකිනෙකට ආසන්නයේ යෙදෙන අක්ෂර යුගල QWERTY යතුරු පුවරු ආකෘතියේ සමීපව පිහිටා ඇති බවයි.
ඇත්තක් සේ ප්‍රචලිත වන තවත් මිත්‍යා මතයක් වන්නේ මේ ආකෘතිය ‘‘TYPE WRITER QUOTE’ ’ යන වගන්තිය පාරිභෝගිකයන් විශ්මයට පත්කරන වේගයෙන් යතුරුලියනය කිරීමට අලෙවි නියෝජිතයන්ට උපකාරී වන ලෙස සකසන ලද්දක් බවයි. එයත් අපූරු මතයක් තමයි – මේ අකුරු එක ළගින් පිහිටා තිබීම අහම්බයක් වීමේ ඉඩකඩත් සීමිතයි- නමුත් මේ මතය සනාථ කරන්න කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැහැ.
මේ තරම් හිත් ගන්නා හේතුවක් නොවුණත් වඩාත් පිළිගත හැකි හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන් කාරණයක් තියෙනවා: මෙය, අර මුල් පියානෝ පුවරුව වැනි යතුරු පුවරුවේම අර්ධ අහඹු සැකැස්මක් පමණක් යන්නයි ඒ.
මේකේ ඇත්ත නැත්ත අපට කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්. ශෝල්ස් යතුරු පුවුරව තනා අහවර කරාට පස්සේ සිය වසරක් ගතවූ තැන මධ්‍යම එංගලන්තයේ ලවුෆ්බරෝ (Loughborough) විශ්ව විද්‍යාලයේ ජෑන් නොයෙස් මේ ගැන දීර්ඝ විශ්ලේෂණයක් ලියා පළ කළා. එහි නිගමනය කර තිබුණේ ‘යතුරු පුවරු පිරිසැලසුමේ අකුරු ගලපා ඇති ආකාරය සඳහා …. පැහැදිලිව පෙනෙන හේතුවක් නැත’ යන්නයි.
අසාර්ථක ආකෘති අතර අසාර්ථකම ආකෘතියත්
එක කාරණයක් නම් හොඳටෝම පැහැදිලියි: මේ යතුරුපුවරුව නිර්මාණය කර ඇත්තේ පුවරු දෙස නොබලා හුදු ‘ස්පර්ශයෙන්’ යතුරුලියනය කරන්නන් (touch-typists) වෙනුවෙන් නම් නොවෙයි. නොයයෙස් පෙන්වා දුන්නේ මුල් QWERTY යතුරුපුවරුව සකස් කළේ “අකුරු අහුළමින්” යතුරුලියනය කිරීමට මිස ස්පර්ශයෙන් හඳුනාගෙන යතුරුලියනය කිරීමට (touch-typing) නොවන බවයි.
මෙයින් QWERTY ආකෘතියේ කැපී පෙනෙන ප්‍රායෝගික අඩුපාඩුවලට හේතුව පැහැදිලි වෙනවා. යතුරුලියන යන්ත්‍රත්, යතුරුලියනය කිරීමේ ක්‍රියාවලියත් 1930ස් ගණන් වල දී ජනප්‍රිය වෙද්දී පර්යේෂකයන් එහි ඵලදායී භාවය ප්‍රශ්න කිරීමට පෙළඹුණා. ඒ අතරින් දරුණුම ගණයේ විචාරකයකු වුණු අධ්‍යාපන මනෝවිද්‍යාඥ ඕගස්ට් ද්වොරැක් (August Dvorak — ඔහු චෙකොස්ලොවැකියානු සංගීත නිර්මාපක ඇන්ටොනින් ද්වොරැක් ගේ දුර ඥාතියෙක්) ඉංජිනේරුවන් පිරිසක් ලවා යතුරුලියන ආකෘති 250ක් පරීක්ෂාවට ලක්කරවා QWERTY ආකෘතිය අසාර්ථකම ආකෘති අතරින් එකක් බව නිගමනය කළා.
ඔහු මේ පියවර ගත්තේ යටි අරමුණක් ඇතිවයි. 1936 වසරේදී ද්වොරැක් “ද්වොරැක්ගේ සරල යතුරුපුවරුව” (Dvorak Simplified Keyboard) නමින් විකල්ප නිශ්පාදනයකට පේටන්ට් බලපත්‍රය ලබාගත්තා. ඔහු මෙය භාවිතයට වඩාත් පහසු බවත්, වේගයෙන් භාවිතා කළ හැකි බවත්, අත්වලට ඇතිකරන වෙහෙස , පීඩාව අවම බවත් ප්‍රකාශ කළා. එහෙත්, ඒ නිශ්පාදනය ජනප්‍රිය වුණේ නැහැ.ඒ වන විට සම්මතය බවට පත්වී තිබුණු QWERTY යතුරුපුවරුවට ඊට වඩාත් පැරණි නිශ්පාදන බොහොමයක්ම අභිභාවා යෑම අභියෝගයක් වුණේ නැහැ. එය යාන්ත්‍රික යතුරුලියනයේ සිට පරිගණක දක්වාත්, වර්තමානයේදී ස්පර්ශ තිරය (touch screens) දක්වාත්, කොටින්ම ලතින් හෝඩිය භාවිතා කරන සෑම තැනකදීම නොවෙනස්වම භාවිතයට ගැනෙනවා.
එයට ලැබුණු ප්‍රචාරණය තරමක් අසුබවාදී වුණත් QWERTY යතුරුපුවරුව ඒ තරම්ම අසාර්ථකත් නැහැ: 1975දී සිදුකළ සමීක්ෂණයකින් පළපුරුදු යතුරුලියනකරුවෙකුට න්‍යායිකව වැඩිම වේගය ලෙස සැතකෙන අගයෙන් සියයට අනූවක් දක්වා ළංවිය හැකි බව අනාවරණය වුණා.
එය දිගු කාලයක් නොවෙස්ව පවතින්නට බලපාපු සත්‍ය හේතුව හැටියට(භෞතික විද්‍යාවේ දී අවස්ථිතිය-inertia ලෙසින් හඳුන්වනු ලබන) නිෂ්ක්‍රියතාව හෙවත් හුදු කුසීත බව දක්වන්න පුළුවන්. විකල්ප ආකෘතියක් නිර්මාණය කරන්නත්, පරීක්ෂා කිරීමටත්, නිශ්පාදනය කරන්නත් දරන්න සිදුවෙන වියදමත්, බිලියන ගණනක් ජනතාවට ඒ ආකෘතිය හුරු කරවීමට දරන්න වෙන පරිශ්‍රමයත් ගැන හිතලා බලන්න. යතුරුලියනය කරලා අකුරු අතුල් කරන්න යන්ත්‍රයක් ඕනෑ කරන තාක් කල් අපට ඇති එකම පිළියම QWERTY තමයි.
බටහිර ලෝකයේ වේගවත්ම ඇඟිලි තුඩු
යතුරුලියනය බිහිකළ නිර්මාණකරුවන්ගේ සිහිනය වුණේ මිනිසාට අත් අකුරින් ලියනවාට වඩා දෙගුණයක් වේගයෙන් තම සිතුවිලි සටහන් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරන්නයි. එක අතකින් ඔවුන් ඒ අභියෝගය ජයගත්තා. අත් අකුරෙන් ලියද්දී මිනිත්තුවකට වචන 30කට වඩා වේගයෙන් ලිවීම අසීරු වුවත් යතුරුලියනය කිරීම නුහුරු අයෙකුට වුණත් ඊට වැඩි වේගයකින් අක්ෂර යතුරුලියනය කරන්න පුළුවන්. නමුත් තව අතකින් ඔවුන් අසාර්ථකයි. වේගවත්ම යතුරුලියනකරුවෙක්ටවත් ලඝු ලේඛන ක්‍රමය (shorthand) අභිභවා යන්න අමාරුයි.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY ARE WE STUCK WITH THE QWERTY KEYBOARD? පරිච්ඡේදය ආශ්‍රයෙනි.