ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි රෝගකාරක විශබීජ (තාවකාලිකව) පරාජය කළේ කොහොමද?
‘1928 සැප්තැම්බර් 28 වෙනිදා හිමිදිරි පාන්දරම අවදි වෙනකොට නම් වෛද්‍ය විද්‍යාවේ පෙරළිකාර වෙනසක් කරන්න මට සැලසුමක් තිබුණෙ නැහැ… නමුත් මම හිතන්නෙ මම මුලපිරුවේ එවන් පෙරළියකට කියලයි.‘ ජෛව වෛද්‍ය විද්‍යාවේ (biomedical science) විප්ලවයකට තුඩුදුන් පෙනිසිලින් (penicillin) සොයාගත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් (Alexander Fleming) ඒ ගැන අදහස් පළ කළේ එහෙමයි.
මේ සිදුවීම පිළිබඳ නිල ඉතිහාස කතන්දරය ප්‍රසිද්ධ පුවතක්. ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේ ක්ෂුද්‍රජීවවිද්‍යාඥයකු හැටියට සේවය කරපු ෆ්ලෙමින්, staphylococci (ස්-ටැ-ෆෛ-ලො-කො-ක-යි) කියන විද්‍යාත්මක නාමයෙන්, staph (ස්ටඵ්) කියන එහිම කෙටි නමින් හඳුන්වන රෝගකාරක බැක්ටීරියා කාණ්ඩය පිළිබඳව පර්යේෂණයක නිරත වී සිටියා. කෙටි නිවාඩුවක් වේලාසනින්ම අවසන්කර සේවයට වාර්තා කළ ඔහුට, ඔහු ක්ෂුද්‍රජීවීන් සහිත මිශ්‍රණය ගබඩා කළ තැටිවලින් එකක් යම් පුස් වර්ගයක් මගින් ආක්‍රමණය කරනු ලැබ ඇති බවත්, එ මගින් ස්ටැෆ්වල වර්ධනය නැවතී ඇති බවත් දැකගන්නට ලැබුණා. විවෘතව තිබුණු කවුළුවෙන් පුස් වල බීජාණු (ස්පොරෙස්) ඇතුලු වන්නට ඇති කියලා ඔහු පසුව අනුමාන කළා.
පුස් සහිත සූප්
ෆ්ලෙමින් ඒ පුස්(දිලීර වර්ගය) සූපයක වගා කරලා, ඒ මිශ්‍රණය කොලරාව සහ උණ සන්නිපාතය වැනි රෝග ඇතිකරන රෝගකාරක රාශියක් මර්දනය කිරීමට අපොහොසත් වුණත්, තවත් රෝගකාරක බැක්ටීරියා රැසක් මර්දනයට යොදාගත හැකි බව පර්යේෂණ මගින් දැනගතතා. ඒ අතරින් ගලපටල (diphtheria) රෝගකාරකය විශේෂයි. ඔහු මුලින්ම මේ දියරය දිලීර සූප පෙරහණය (liquid mould broth filtrate) නමින් හැඳින්වුවත් පසුව ඒ පුස් වර්ගයේ ලතින් නාමය වන Penicillium (පෙ-නි-සි-ලි-ය-ම්) ඇසුරින් එය පෙනිසිලින් (penicillin) යනුවෙන් නම් කළා. විශාල මාත්‍රාවකින් හෙවත් අධිමාත්‍රාවකින් පවා පෙනිසිලින් සතුන්ට විෂ නොවන බව ඔහු පෙන්වා දුන්නා.
ෆ්ලෙමින් 1929 වසරේදී ඔහුගේ සොයාගැනීම ගැන පුවත්පතකට ලිපියක් පලකළා. බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාරයක් ලෙස පෙනිසිලින් යොදාගත හැකි බවත් ඔහු ඒ ලිපියේ සඳහන් කළා. ඔහු එහි ඖෂධීය වටිනාකම වඩාත් හොඳින් අවබෝධ කරගන්න ඊළඟ දශකය පුරාම වෙහෙස නොබලා මෙහෙයුමක් දියත් කළා. පෙනිසිලින් මහා පරිමාණයෙන් නිපදවා පිරිපහදු කිරීම තනිවම කිරීමට තමන් අපොහොසත් බව ෆ්ලෙමින්ට පෙනී ගිය නිසා ඔහු සිදුකළ වැදගත්ම කාර්යය වුණේ රසායනවිද්‍යාඥයන් පිරිසක් එම කාර්යට යෙදවීමයි.
Penicillin Production through Deep-tank Fermentation
අවසානයේදී ඕස්ට්රේලියානු ජාතික හෝවඩ් ෆ්ලොරේ (Howard Florey) නායකත්වය දැරූ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ කණ්ඩායමක් මේ ගැටලුවට පිළියමක් සැපයීමට සමත් වුණා. 1944 වසර වන විට පෙනිසිලින් මහා පරිමාණයෙන් නිපදවීම ඇරඹිලා. දෙවැනි ජගත් සංග්‍රාමයේ දී, මිත්‍ර හමුදා උතුරුදිග ප්‍රංශය ආක්‍රමණය කරමින් 1944 ජූනි 6 දා නෝමැන්ඩි වෙරළට ගොඩ බට ඒ ඓතිහාසික දිනයේ(D-Day) ආරම්භවූ මෙහෙයුමේ තුවාලකරුවන්ගේ දිවි ගලවාගැනීමට එයින් ලැබුණු සහය වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවා.
පෙනිසිලින් විසිවන සියවසේ විශිෂ්ටතම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම බව අවිවාදයෙන් පිළිගැනෙනවා. පෙනිසිලින් නිපදවීමට පෙර ස්ටැෆ් ආසාදන නිසා ඇතිවන රුධිරය විසවීමට මුහුණදුන් ආසාධිතයන්ගෙන් සියයට අසූවක්ම මියගියත් එය නිපදවීමෙන් පසුව කිසිදු මරණයක් වාර්තා නොවූ තරම්. එය ජීවිත කීයක් ගලවාගත්තාද කියලා නිශ්චිත අගයක් කීම අසීරු වුණත්, මධ්‍යස්ථ ගණනය කිරීමක් අනුව වුණත් මිලියන දහයක් පමණ වෙතැයි කියන්න පුළුවනි. පෙනිසිලින් බිහිවීමෙන් ඇරඹුණු ‘ප්‍රතිජීවක යුගය’ තවත් මිලියන සිය ගණනක් ජීවිත ගලවාගන්නට දායක වෙන්න ඇති. නමුත් පෙනිසිලින් සොයාගැනීම පිළිබඳ ඇත්ත කතාව නම් අපට හිතෙන තරම් ජයග්‍රාහී එකක් නොවෙයි.
ජයග්‍රාහී එකක් ලෙස ආරම්භ නොවුණත්, අනුප්‍රාණයත්-අනුග්‍රහයත් මිශ්‍රවීමෙන් සාර්ථකත්වය ලබාගැනීමේ ඒ කතාන්දරය ගැන හෙට(19 ඉරිදා) තතු ලිපියෙන් කියවමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE BEAT THE BUGS (FOR A WHILE)? පරිච්ඡේදය ආශ්‍රයෙනි.