මහා සාගරයේ කිසිම තැනක් ප්ලාස්ටික් දූෂණයෙන් ගැලවීමට හැකියාවක් ලබා නැතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මාරියානා ආගාධයේ සතුන්ට පවා මේ ව්‍යසනයෙන් ගැලවී ගත නොහැකිවී ඇති බව වාර්තා වේ.
සාගරයේ මීටර 10,970 තරම් ගැඹුරු අගාධයක ජීවත්වන කවචයන්ගේ බඩවැල්වල ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව නව අධ්‍යනයකින් හෙළි වෙයි. ඇත්තටම ශාන්තිකර සාගරයේ ගැඹුරු මුහුදු හයක් පුරාවටම ගතහොත් ඉන් එකක්වත් ප්ලාස්ටික් දූෂණයෙන් ගැලවීමට සමත් වී නැතැයි පර්යේෂකයෝ නොවැම්බර් 15 දා වාර්තා කළහ. “සාගරයට මුදා හරින කසල අවසානයේ වෙරළට ගසාගෙන විත් හෝ මුහුදු පත්ලට ගිලී හෝ තමයි අවසන් වෙන්නේ” අධ්‍යයන ප‍්‍රධානී ඇලන් ජැමයිසන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි, “මේ හැර වෙනත් විකල්ප නැහැ”. ඇලන් ජැමයිසන් එක්සත් රාජධානියේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥයෙකි.
සමුද්‍රික ගැඹුරු මුහුද කෙලසීම
මේ වසරේ පෙබරවාරියේදී ජැමයිසන් සහ කණ්ඩායම Nature- Evolution and Ecology සඟරාවට වාර්තාවක් සපයමින් පෙන්වා දුන්නේ, ගැඹුරු මුහුදේ ආගාධ බහු-ක්ලෝනිකෘත ද්විෆීනයිල(polychlorinated biphenyls — PCBs) සහ බ්‍රෝමිනිකෘත ඩයිෆීනයිල ඒතර්(polybrominated diphenyl ethers — PBDEs) මගින් දූෂණය වී ඇති බවයි. PCB යනු බොහෝ කර්මාන්ත සඳහා යොදා ගනු ලබන ඉටිමය හෝ තෛලමය රසායනිකය. ඒවායේ විෂ සහිතභාවය පිළිබඳ ගැටලූ හේතුවෙන් 1979 සිට PCB තහනමට ලක්ව තිබේ. ගිනි දලූ මන්දගතක(retardants) ලෙස යොදා ගන්නා රසායනිකයක් වූ PBDE බොහොමයක් මගින් ප‍්‍රජනන, ප‍්‍රතිශක්ති සහ ස්නායු පද්ධති අවහිර කිරීමට හැකිය යන්න පදනම් කරගෙන තහනම් කර තිබුණි.
මීටර් 10,000 පමණ ගැඹුරු දකුණු ශාන්තිකරයේ කර්මඩෙක් ආගාධයේ සහ මීටර 10,250 උතුරු ගැඹුරු ශාන්තිකර මරියානා ආගාධයේ ජිවත්වන කවයන් තුළ මෙම අපවිත‍්‍රකාරක දෙක සොයා ගැනීමට ජැමයිසන් සහ කණ්ඩායම සමත්ව සිටිති. පර්යේෂකයන් මෙම අම්පතෝඩාවන් එකතු කරගෙන ඇත්තේ පෘථිවියේ ගැඹුරුතම සාගර පත්ලෙනි. පෙබරවාරි වාර්තාව නිකුත් වූ පසුව ජැමයිසන් ඇතුළු කණ්ඩායමට ආගාධයේ ප්ලාස්ටික් අපවිත‍්‍රකරණය පිළිබඳ ප‍්‍රශ්න ගණනාවක්ම මතු විය. එහෙයින් ඒ ගැන සොයා බැලීමට ඔවුහු තීරණය කළහ. “ප‍්‍රතිඵල ක්ෂණිකව ලැබුණු අතර, ඒවා සිත් සසල කරවන සුලූ විය” යනුවෙන් ජැමයිසන් පවසයි, “මේ වගේ වැඩවලදී අපවිත‍්‍රකාරක දැඩි පාලනයක් තිබිය යුතු අතර ඇත්තටම බඩවැල් වල අඩංගු දෑ අතර ඒවා ඉවත් කරද්දී ප්ලාස්ටික් කෙඳි දැක ගන්න ලැබුණා”.
දූෂණය ඒකරාශීවීම
නූතන තාක්ෂණික උපකරණ උපයෝගී කරගනිමින් පර්යේෂකයෝ අගාධ හයක් පරීක්ෂාවට ලක් කළහ. මරියානා ආගාධය, ජපාන ආගාධය, ඉසු-බොනින්(Izu-Bonin) ආගාධය පේරු-චිලී ආගාධය, නව හෙබරයිඞ්(New Hebrides) ආගාධය සහ කර්මඩෙක් ආගාධය එම හයයි. ඒ එකදු අගාධයක්වත් ප්ලාස්ටික් වලින් තොර නොවන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. පරීක්ෂාවට ලක්කළ ආගාධ හයම එකතු කර ගත් කවචයන් 90 දෙනෙකු ගැන අධ්‍යනය කෙරුණි. පවිත‍්‍රකරණය අඩුම මට්ටමක් දැක්වූයේ නිරිතදිග ශාන්තිකරයේ නව හෙබිරයිඩ් ආගාධයයි. එහි, නියැදියට ගත් කවචයන්ගෙන් අඩකම ප්ලාස්ටික් දැකගත හැකි විය. ඉහළම මට්ටම වාර්තා වූයේ මරියානා ආගාධයෙන්ය. එහි නියැදියට ගත් සතුන් සියල්ල ම අපවිත‍්‍රකරණයට ලක්ව තිබිණ.
සතුන්ගේ බඩවැල් වල තිබී සොයා ගනු ලැබූ ඉතා කුඩා ප්ලාස්ටික් කැබලි අතර නයිලෝන්, රේයෝන්, මහදියදුල්(ramie), ලයොසෙල්(lyocell) මෙන්ම, පොලීඑතිලීන්, පොලිඒමයිඩ (polyamide ) පොලිවිනියල වැනි තන්තුය. පොලිඑතලීන් තමයි, ප්ලාස්ටික් ග්‍රොසරි බෑග් සහ ප්ලාස්ටික් බෝතල් තැනීමට ගන්නේ. පොලිඒමයිඩ කෘතිම කෙඳි තැනීමට ගැනේ. පොලිවිනියලවලට අප පීවීසී(PVC) ලෙස හඳුන්වනු ලබන පොලිවිනිල ක්ලෝරයිඞ්(polyvinyl chloride) ද ඇතුළත්ය. නල, පරිවරණ, මෙන්ම ක්‍රෙඩිට්කාඞ් ආදිය තැනීමට යොදා ගන්නේ මේ ප්ලාස්ටික් වර්ගයයි.
2014 සිදුකල අධ්‍යයනයට අනුව ප්ලාස්ටික් තනි තනි කුඩා කැබලි ට‍්‍රිලියන 5 ක් තරම් ප‍්‍රමාණයක් මුහුදේ පාවෙමින් තිබේ. ඒවායේ බර මෙට‍්‍රික් ටොන් 227,000 කට අධිකය. මේ අතර 2017 ජූනි සිදු කළ අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ ගංගා වලින් පමණක් මෙට‍්‍රික් ටොන් මිලියන 2.2ක් වාර්ෂිකව සාගරය වෙත ගලා එන බවයි. මේ ප‍්‍රමාණයෙන් 86% ප්ලාස්ටික් දූෂණය සිදු වන්නේ ආසියාවේ ගංගාවලිනි. තවද වෙරළ අසල දමන කසළ හෝ වෙරළ තීරයට සුළඟින් ගසාගෙන එන කසල මගින්ද සාගරයට ප්ලාස්ටික් එකතු වේ.
සාගර ජීවීන් සිය පෝෂණය පවත්වා ගෙන යන්නේ ගැඹුරු මුහුදෙහි ගැඹුරු ප‍්‍රදේශවලට ගිලා බසින ඉතා කුඩා ආහාර කැබලි මගින් බව ජැමයිසන් පෙන්වා දෙයි. ඉතිං මෙම ‘සමුද්‍ර ආහාර වර්ෂාවට’ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් එක් වූ විට ඒවාද ඔවුහු ආහාරයට ගනීති. “මේ නිරීක්ෂණය තමයි, ක්ෂුද්‍රප්ලාස්ටික් (micro-plastic) හටගැනීම හා අධිග‍්‍රහණය පිළිබඳව ලබාගත හැකි වඩාත් ගැඹුරු වාර්තාව. ඉන් දැක්වෙන්නේ මනුෂ්‍ය මූලික හෙවත් මිනිසා විසින් නිර්මිත කසළවල දූෂණයෙන් මිදුණු සාගර පරිසර පද්ධති කොහෙත්ම නැති වීමට බොහෝ සේ ඉඩ ඇති බවය” යි ජැමයිසන් කියයි.
Live Science හි පළවූ Even at 36,000 Feet Deep, Ocean Creatures Have Plastic in Their Guts යන ලිපිය ඇසුරෙනි