හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න
ලොව පුරා ලොමු ඩැහැ ගන්වන වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය ලෙස බහුලව හඳුන්වනු ලබන (SARS-CoV-2) වෛරසය ගැන අප කොයි තරම් අහලා කියවලා තිබුණත්, මෙම ගෝලිය වසංගතය හේතුවෙන් නිවෙස් වලට කොටුවී සිටින අපගේ සිත් වලට නැගෙන ප්‍රශ්න නම් අපමණයි. ඒවා තෝරා බේරා ගෙන වර්ග කරන කොට යම් යම් තේමාවන් ඉස්මතුවෙනවා. ඉන් ප්‍රධාන කාරණවක් තමයි මේ (SARS-CoV-2) කොයි කොයි තැන්වල හැංඟිලා ඉන්නවා ද? (හැංඟිලා නැත්තේ කොයිබ ද?) යන්න. විශේෂයෙන්ම, ඇඳිරි නීතිය ඉවත් කළ විටත් ඒ වගේම, එක එක අවශ්‍යතා සඳහාත් නිවසින් බැහරව ගිහින් ආපහු එද්දීත් අපේ ඇඳුම්වල, අපේ සපත්තු සෙරෙප්පුවල, පත්තර සඟරාවල එහෙමත් නැතිනම් ගෙදර අරගෙන එන බඩුබාහිර ආදිය එක්ක අපි නොදැනුවත්ව හෝ මේ වෛරස මාරයාවත් කැඳවාගෙන එනවාද යන්න. අපට ඒවෙලාවට හිතට දැනෙන්නේ බියක්. සැකයක්. හැබැයි ඉතින්, පරෙස්සම් වීමේ කිසිම අඩුවක් සිදු නොකළ යුතු වුවත්, මෙ ලිපිය කියවීමෙන් ඔබේ හිතට සහනයක් ඇතිවෙන බව අපට විශ්වාසයි. කියවන්න අද අවසන් කොටස.
ඇඳුම් හෝ අනෙකුත් පෘෂ්ඨ මත වෛරසයකට කොපමණ කාලයක් සජීවීව පවතිය හැකිද?
මේ නව කොරෝනා වෛරසය පෘෂ්ඨ මත කොපමණ පැවතිය හැකිද යන්න ගැන අපේ අවබෝධයෙන් වැඩි කොටස අපට ලැබුණේ මාර්තු මාසයේ එළිදැක් වූ The New England Journal of Medicine සඟරාවේ පළ කර තිබූ අධ්‍යනයක ප්‍රථිඵල මගිනුයි. ප්‍රශස්ථ තත්ත්වයන් යටතේ, කොරෝනා වෛරසය ලෝහ සහ ප්ලාස්ටික් පෘෂ්ඨ මත දවස් තුනක් සහ කාඩ්බෝඩ් පෘෂ්ඨ මතුපිට පැය විසි හතරක් ද ජීවත් විය හැකිය යයි එම අධ්‍යනයෙන් හෙළිවුණා. එහෙත් රෙදි පිළි පෘෂ්ඨ සම්බන්ධව එමගින් අධ්‍යයනය කර තිබුණේ නැත. එසේ වුණත්, වෛරස සම්බන්ධ විශේෂඥයන් වැඩි පිරිසක් අදහස් කරන්නේ කාඩ්බෝඩ් පෘෂ්ඨ මතුපිට කොරෝනා වෛරසය ක්‍රියාකරන ආකාරයෙන්ම තමයි රෙදි මතුපිටත් ක්‍රියා කරන්නේ බව. තව ද, කාඩ්බෝඩ්වල තිබෙන අවශෝෂණ හැකියාව මෙන්ම එහි අඩංගු ස්වාභාවික තන්තු නිසාවෙන් අනෙකුත් දෘඪ පෘෂ්ඨ වලට වඩා කොරෝනා වෛරසය ඉක්මනින් වියලනය කර හැකි බව පෙණීයයි. රෙදිපිළිවලිනුත් ඒ හා සමාන ප්‍රතිඵල බලාපොරොත්තුවන්න පුළුවනි.
SARS රෝගය ඇතිකරවන, කොරෝනා පවුලේ වෙනත් වෛරසයක් ගැන 2005දී කළ පරීක්ෂණයකිනුත් ඒ බව වැඩිදුරටත් තහවුරු වෙනවා. ඒ පර්යේෂණයේදී කඩදාසියක් හා කපු ඇඳුමක් මතට වෙන වෙනම වෛරස සාම්පල මුදා හැරියා. ඒ වෛරස සාම්පල වල අඩංගු වෛරස ප්‍රමාණය අදියරෙන් අදියරට වැඩි කළා. වෛරස සාම්පලයේ වෛරස සාන්ද්‍රණය සැලකිල්ලට ගත් විට වෛරසය මුලුමනින්ම අක්‍රීය වෙන්නට ගතවන්නේ මිනිත්තු පහක්, පැය තුනක් හෝ පැය විසි හතරක්ද කියන කාරණය තීන්දු වුණා. “බිඳිත්තෙහි අධික වෛරස සාන්ද්‍රණයක් පැවතුණත් කඩදාසි සහ කපු වැනි ද්‍රව්‍ය මතදී එහි ආසාදකතාව (ඉන්ෆෙශ්ටිවිට්ය්- ආසාදනයක් ඇතිකිරීමේ හැකියාව) ශීඝ්‍රයෙන් පහත බසින බව නිරීක්ෂණය කළ හැකියි” පර්යේෂකයන් නිගමනය කළා.
තැපෑලෙන් ලැබෙන ලියුම්, පාර්සල් හෝ නිවසට ලැබෙන පුවත්පත් ගැන මා සැලකිලිමත් විය යුතුද?
තැපෑලෙන් ලැබෙන ලියුම් හෝ පාර්සල් අල්ලමින් එහාමෙහා කිරීමෙන් මෙම වෛරසය ආසාදනය වීමේ අවදානම නම් අතිශයින් අඩු වන අතර මේ අවස්ථාවේ දී එය සැලකෙන්නේ හුදු න්‍යයාත්මක කාරණාවක් ලෙසට පමණයි. පාර්සලයක් විවෘත කිරීමෙන් හෝ පුවත්පතක් කියවීමෙන් යමෙකු අසනීප වූ බවට කිසිදු අවස්ථාවක් මෙතෙක් වාර්තා වී නැහැ. නමුත් ඔබ පූර්වාරක්ෂක පියවර නොගත යුතු බවක් එයින් කොහෙත්ම අදහස් කරන්නේ හැහැ. තැපැල්පත්, ලියුම් හා පාර්සල් ඇල්ලීමෙන් හෝ පුවත්පත කියවීමෙන් පසු හෝ පාර්සල් වල ඇසුරුම් ඉවත් කිරීමෙන් පසු අත් හොදින් සෝදාගැනීම නුවණට හුරු වෙනවා. ඔබට තවමත් මේ කාරණය ගැන විශේෂයෙන් චකිතයක් හෝ බියක් දැනෙනවා නම්, The New England Journal of Medicine සඟරාවේ සඳහන් මාර්ගෝපදේශ ඔබට පිළිපදින්න පුළුවන්: තැපෑලෙන් ලැබුණු ලියුම් හා පාර්සල් ලිහා බලීමට පෙර පැය 24 ක් පැත්තකින් තබා ඉන්පසු ඒවා ගැන සොයා බලන්න, ක්‍රියා කරන්න පුළුවන්.
ව්‍යායාම කරන්න එහෙමත් නැතිනම් බලු සුරතලා ඇවිද්දවන්න වගේ හේතුවකට එළි පහළියට ගියොත් රෝගකාරකයට නිරාවරණය වීමේ අවදානම ගැන කොයිතරම් දුරට අවධානය යොමුකළ යුතුද?
එළිපෙහෙළියට යනවිට ඔබත් අන් අය අතරත් ආරක්ෂිත පරතරයක් තබාගන්න ඔබ පැහැදිලිවම සැලකිලිමත් වෙනවා නම් වෛරසය ආසාදනය වීමට තියෙන්නේ අවම ඉඩක්.
”එළිමහන ආරක්ෂිතයි, වෛරස සහිත බිඳිති වස්සන වළාකුළු කොතැනකවත් නැහැනෙ” ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක සහ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කර තිබෙන, වාතයේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ රසායනාගාරයේ අධ්‍යක්ෂ ලිඩියා මොරව්ස්කා කියා සිටියි.
“ප්‍රාශ්වාසයකදී පිටවෙන ආසාදිත බිඳිති වාතය සමග මුසු වෙද්දී ඒවායේ සාන්ද්‍රණය ඉක්මනින්ම තනුක වෙමින් නොසලකාහැරිය හැකි මට්ටමට පහත බසින බව මුලින්ම කියන්න ඕන” වෛද්‍ය මොරොව්ස්කා වැඩිදුරටත් කියාසිටිනවා, “අනිත් කාරණය තමයි එළිමහනේදී වෛරසයේ ස්ථාවරභාවය (ක්‍රියාකාරීත්වය) අඩුයි. ඉතින් සෙනග ගැවසෙන තැනක් නොවෙයි නම්, (දැන් නම් කොහොමටත් සෙනග රොක්වීමත් තහනම් නිසා) එළිමහන සුරක්ෂිතයි. ඒ නිසා ඇවිදින්න හෝ ව්‍යායාමය සඳහා දුවන්න එහෙම එළියට ගියා කියලා වාතයේ තිබෙන වෛරස් අංශු ගැන අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ. ඇඳ සිටි ඇඳුම් නොපමාව සෝදන්න අවශ්‍යත් නෑ.”
මම කියවපු ලිපියක තිබුණා ගෙදරින් පිටතට ගිහින් ආවම පාවහන් ගලවලා පිසදැමීම අනිවාර්යයි කියලා. අධික මිළැති විශබීජනාශක යෙදූ ටිෂූ කඩදහිවලින් (disinfectant wipes) සපත්තු පිහිදාන්නද කියන්නෙ?
සපත්තුවල බැක්ටීරියා සහ වෛරස රැඳෙන්න ඉඩක් තිබෙනවා, නමුත් ඒ හරහා සුලබව ආසාදන ව්‍යාප්ත වෙන බවක් එයින් අදහස් වෙන්නේ නැහැ. රොක්ස්පෝට් කියන පාවහන් නිශ්පාදනය කරන සමාගම 2008දී එළිදැක්වූ පර්යේෂණ වාර්තාවක් දක්වන අන්දමට මල අපද්‍රව්‍ය ආශ්‍රිත බැක්ටීරියා ඇතුළු විශබීජ රැසක් පාවහන්වල අඩියේ රැඳී තිබෙන බව අනාවරණය වෙනවා. මෑතකදී චීනයේ සිදුකළ පර්යේෂණයකින් සෞඛ්‍ය සේවකයන්ගෙන් අඩකගේම පාවහන්වල කොරෝනා වෛරස් අංශු රැඳී තිබුණු බව හෙළි වී තිබෙනවා. ඔවුන් සේවය කරන්නේ ආසාධිත රෝගීන් සිටින රෝහල්වල නිසා එසේ වීම පුදුමයට කාරණයකුත් නෙවෙයි.
ඉතින් අපිට සපත්තු සම්බන්ධයෙන් කරන්න පුළුවන් මොනවද? ඔබේ සපත්තු සේදීමට හැකි ඒවා නම් (රෙදි සෝදන ආකාරයට) සෝදා හරින්න පුළුවන්. සමහර පාඨකයෝ සපත්තුවල අඩිය විෂබීජනාශක යෙදූ කඩදාසිවලින් පිසදමන්නද කියලා අහනවා. එය නම් අනුමත කරන්නෙ නැහැ. එයින් ගිනි ගණන් දීලා ගත්තු වටිනා කඩදහියක් අපතේ යනවා වගේම පොළොව මතුපිට හෝ සපත්තු අඩියේ රැඳුණු විශබීජ ඔබේ අත්වලත් තැවරෙනවා.
ඔබේ සපත්තුවල තැවරුණු විශබීජ ගැන නොසිතා ඉන්න උත්සහ කරන්න. නැත්නම් පවුලේ අයත් එක්ක “සපත්තු භාවිතයෙන් තොර නිවහනක්” ගැන සාකච්ඡා කරන්න. ඔබේ නිවසේත් බිම දණාගන වයසේ පුංචි දරුවෙක්, ආසාත්මිකතාවකින් පෙළෙන පවුලේ සාමාජිකයෙක්, ප්‍රතිශක්තිය දුර්වල වුණු කෙනෙක් ඉන්නවා නම්, එදිනෙදා සෞඛ්‍යාරක්ෂාව ගැන සිතුවොත් සපත්තු භාවිතයෙන් බැහැර වීම බුද්ධිමත් තීරණයක්.
වෛද්‍ය ජානොව්ස්කිට අනුව නම් කොරෝනා ආසාදනය වීමේ අවදානම සැලකීමේදී සපත්තු භාවිතයෙන් අහිතකර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත් ඔබේ සපත්තුවලින් පෑගූ තැන් සිහි වෙද්දි නම් (මොන මොනවා පාගාගෙන අපි ගෙදරට එනවාද කියලා)හිතට ජුගුප්සාවක් දැනෙන්න පුළුවන්. “අපි බැක්ටීරියා ගැන සඳහන් කතාකළොත්, බැක්ටීරියා සපත්තු මතුපිට වැඩෙන්න දැඩි නැඹුරුවක් දක්වනවා”, වෛද්‍ය ජනොව්ස්කි කියා සිටියා. “අපි පාගපු දේවල් අපිම දන්නෙ නැහැනෙ.”