නිරායාසයෙන් (අසංයමයෙන්) මල මුත්‍රා පහවීම

Posted by

නිරායාසයෙන් (අසංයමයෙන්) මල මුත්‍රා පහවීම

මුත්‍රාශය හෝ මල පහකිරීම පාලනය කරගැනීමට නොහැකිවීම හෙවත් අසංයමය බොහෝ දෙනා අතර තිබෙන, එසේම බොහෝ දෙනා  ලජ්ජාවට පත්වන හෙයින් ප්‍රසිද්ධියේ නොකියන ප්‍රශ්නයකි.  කහින විට හෝ කිවිසුම් යවනවිට ඉඳහිට  මුත්‍රා පොඩ්ඩක් පිටවීමේ සිට වැසිකිළියට යාගන්නටවත් වේලවක් නොමැතිව ක්ෂණිකව මුත්‍රා හෝ මල පහකිරීමට තරමට ඇතිවන පෙළඹවීම දක්වා පරාසයක සීඝ්‍රතාවක්, අසංයමයෙහි දැකිය හැකිය.

මෙම තත්ත්වය බොහෝවිට දකින්නට ලැබෙන්නේ වයසක උදවිය අතරේ වුවත් මෙය වයස් ගත වීමේ නොවැළක්විය හැකි ප්‍රතිඵලයක් නොවේ. අසංයම මලමුත්‍රා පහවීම ඔබගේ එදිනෙදා කටයුතුවලට බලපෑමක් එල්ලවන්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු බැහැදැකීම යෝග්‍යයි.

අසංයමයෙහි විවිධ ස්වරූප

අසංයම පහවීම මුත්‍රා හා මල දෙකටම සම්බන්ධවුණත්, සමාජයේ වැඩිවශයෙන් ප්‍රචලිත මුත්‍රා ඉබේටම පහවීමේ තත්ත්වයයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම මේ අසහනකාරී ගැටළුවට මැදිවෙතත් ස්ත්‍රී පාර්ශවය ඉන් වඩාත් පීඩාවට පත්වන බවක් පෙනෙන්නට තිබෙනවා. තවද, අසංයමයෙහි විවිධ ස්වරූප ද ඇත. අපි මෙහි ඉන් පහක්  ගැන දක්වන්නෙමු.

උද්භාර අසංයමය(Stress incontinence) ඔබ කිවිසුම් යවනවිට, කහිනවිට, තදින් සිනාසෙනවිට, බර යමක් උස්සනවිට හෝ මුත්‍රාශයට පීඩනය ගෙන එන එවැනි යම් කාර්‍යයක නියැළෙන විට ඔබට නොදනුවත්ම, නිරායාසයෙන්ම  මුත්‍රා පහවීම මෙයින් දැක්වෙනවා. ඔබට මේ තත්ත්වය මද වශයෙන් පවතින්නේ නම් සමහරවිට ඔබ ඒ ගැන දැනුවත් නොවන්නට පවා පුළුවන.

අදාළ රූපය

උත්ප්‍රාය අසංයමය(Urge incontinence) මුත්‍රාශයේ අධික්‍රියාකාරිත්වය ලෙසද මෙය දැක්වෙනවා. වැසිකිළියට යාගන්නටවත් ඉස්පාසුවක් නොමැතිව ක්ෂණිකව මුත්‍රා හෝ මල (සිටිතනම වුව) පහකිරීමට තරමට ඇතිවන පෙළඹවීම මෙහි ලක්ෂණයයි. ඔබට දවසකට දිවාකාලයේ  අට වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සහ රාත්‍රියට එකවරකට වැඩියෙන් මුත්‍රා පහකෙරෙන්නේ නම ඔබට ද මෙවැනි තත්ත්වයක් තිබෙනවා විය හැකියි. සමහරුනට ජලය ඇල්ලීමේ දී හෝ ජලය ගලායන හඬ ඇසෙන විට ද මෙම පෙළඹවීම ඇතිවේ. මුත්‍රාශය හිස්ව ඇතිවිට ද පෙළඹවීම ඇතිවෙන ස්වරූපයක් ද මෙහි ඇත.

මිශ්‍ර අසංයමය(mixed incontinence)උද්භාර අසංයමය සහ උත්ප්‍රාය අසංයමය යන දෙකම එකවර ඇතිවන තත්ත්වයයි. කාන්තාවන් අතරේ වඩාත් ප්‍රචලිතයි.

පිටාර අසංයමය(overflow incontinence)මෙය වඩාත් සුලබ පුරුෂයන් අතරේයි. මුත්‍රා කරනවිට සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් නොවී පැවති විටක පසුව මුත්‍රාශයෙහි මුත්‍රා පිරුණුවිට නොදැන්නුවත්ම මුත්‍රා පහවීම සිදුවිය හැකිය.

කෘත්‍යාත්මක අසංයමය(Functional  incontinence) මෙය වෛද්‍යමය තත්ත්වයකි. ආතරයිටිස් වැනි වෛද්‍යමය ප්‍රශ්නයක් හේතුවෙන්(පමාවීම නිසා) වැසිකිලියට යා ගැනීමට පෙරම ඇතිවන පහවීම මෙයින් දැක්වෙනවා.

අසංයම පහවීම වළක්වාගත නොහැකි ද?

කිසියම් අභාග්‍යසම්පන්න සිදුවීමක් සිදුවන තුරුම බොහෝ දෙනකුට මුත්‍රාශය () සහ මලපහකිරීම පාලනය ගැන මතක් වන්නේවත් නැත. නිතිපතා සිදු වුණ දේවල් දිගටම ඒ ආකාරයෙන්ම සිදු වනු ඇතැයි යන්න තමයි අපි බොහෝ දෙනා කල්පනා කරන්නේ. ගණන් බලා ඇති අන්දමට ඇමරිකානුවන් මිලියන තිස් දෙකකට අසංයමය () පවතිනවා. අසංයමය කියන්නේ කෙනෙකුට තම ස්වස්ථතාව යහපත් ආකාරයට පවත්වා ගෙන යාමට සහ සමාජයීය හා රාජකාරි ජීවිතය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමට අසීරු වන තරමට සිතාමතන්නේ නැතිව ඉබේටම මුත්‍රා හෝ මළපහ වීමය. බොහෝවිට අසංයමය අදාළ පුද්ගලයාගේ පාලනයෙන් බැහැර හේතුවක් නිසාවෙන් සිදුවන්නකි. නිදසුනක් ලෙස දරු උපත් වලින් පසුව කාන්තාවන්ගේ අසංයමය සුලභ දෙයකි.  පුරුෂයන් ගතහොත් අසංයමය (බොහෝ පිරිමින්ට ඇතිවන) ‍ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථියේ ප්‍රශ්නයකට ගත් ප්‍රතිකාරවල අතුරු ඵලයක් ලෙස අසංයමය ඇති වේ. එහෙත් සියලු බලාපොරොත්තු අත්හළ යුතු නොවේ. සුභ ආරංචිය වනුයේ අසංයමය සඳහා ප්‍රතිකාර වඩාත් ඵලදායී බවට පත් වෙමින් පවතින අතර අක්‍රාමී ( පුද්ගලයාගේ ශරීරයට ඇතිවන බලපෑම) ගතියෙන් අඩු වීමයි.

අසංයමය මගහරවා ගැනීමට නොහැකි වුණත් මේ කරදරකාරී ප්‍රශ්නය වර්ධනය වීම අඩුකර ගැනීම සඳහා ඔබටම ගත හැකි පියවර ගැන අපි සොයා බලමු.

අසංයමය අඩුකර ගැනීම සඳහා ගත හැකි පියවර

ඔබේ ශරීර බර ගැන සැලකිලිමත් වන්න: අධික බර සහ අසංයමය එකිනෙකට බෙහෙවින් සම්බන්ධය. විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ගත් විට මේ සම්බන්ධව දැක්වෙන එක් මතයක් වන්නේ උදරයේ අතිරේක  මේදය මගින් ශ්‍රෝණී තලයේ පේශි (pelvic floor muscles) )  දුර්වල කිරීමෙහිලා බලපාන අතර එය (කහින විට සිනහසෙන විට කිවිසුම් යවන විට ආදී අවස්ථාවල ඇතිවන ) උද්භාර අසංයමයට තුඩුදෙන බවය.

දුම්පානයෙන් වැළකීම: දුම්පානය අපේ සෞඛ්‍යයට බොහෝ ආකාරවලින් තර්ජනයක් වේ. කාන්තාවන්ට නම් උද්භාර අසංයමය  වර්ධනය වීමේ අවධානම දෙගුණ වේ. නිකොටින්, උත්ප්‍රාය අසංයමය හා සම්බන්ධ බව ද කියැවේ.

ක්‍රියාකාරීව සිටින්න: සාත්තු සේවකයන්ගෙ සෞඛ්‍ය අධ්‍යනයෙහි(Nurses’ Health Study) දැක්වෙන පරිදි ශාරීරිකව වඩාත් ක්‍රියාකාරී මැදිවයස් කාන්තාවන්ට,  අසංයමය වර්ධනය වීමට ඇත්තේ අඩුම අවස්ථාවකි.

අන්ත්‍ර උත්කෝපන අවම කරගන්න: කැෆේන් සහ මද්‍යසාරය, උත්ප්‍රාය අසංයමය(ඒ කියන්නේ ආශය පිරී ඇති විටකදී පවා මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවීම) හා සම්බන්ධයක් ඇති බව දැක්වේ. කාබනිකෘත පානයන්, (අස්පාර්ටික් අම්ලයෙන්  නිපදවන) ඇස්පාටේම් කෘතිම රසගන්වනය, කුළුබඩු අධිකව යෙදූ ආහාර, දොඩම් කුලයේ පලතුරු සහ යුෂ ඇතමුන්ට  උත්ප්‍රාය අසංයමය හෙවත් පෙලඹුම් අසංයමය ඇති කරවයි.

පහකිරීමේදී තැටමීමෙන් වළකින්න: මෙය ශ්‍රෝණී තලයේ පේශි  දුර්වල කරයි. ඔබට අසූචි(මල) නිරතුරුවම තද ගතියකින් යුක්තවේ නම්  හෝ මලපහ කිරීමට වෙහෙසක් දැරිය යුතු නම් ඔබේ වෛද්‍යවරයාට දැන්විය යුතුවෙනවා. වයස අවුරුදු 65 හා ඊට වැඩි අය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයක දී පෙනී ගියේ මල බද්ධය සඳහා ප්‍රතිකාර කිරීම, පහවෙන සීඝ්‍රතාව හා පහ කිරීම සඳහා ඇතිවන හදිසිය ඇතුළු අනෙකුත් මුත්‍රා රෝග ලක්ෂණ දුරු කිරීමට හේතු වෙයි.  ආහාරයෙහි තන්තු වැඩි කිරීම හා ප්‍රමාණවත්ව ජලය පානය ද  මලබද්ධය මගහරවා ගැනීමට උපකාර වෙනවා.

අසංයමයට සැපයෙන ප්‍රතිකාර දැන් වඩාත් ඵලදායිය. එමෙන්ම ආක්‍රාමික(invasive) බවෙන්  වඩා අඩුය. ඔබට ඉබේටම මුත්‍රා පහ වීමේ ගැටලුවක් ඇත්නම් නිහඬව, තනිව විඳවන්න එපා. ඔබේ වෛද්‍යවරයා හමුවී සකච්ඡා කරන්න. මෙය ලැජ්ජාවිය යුතු ප්‍රශ්නයක් නොව ප්‍රතිකාර අවශ්‍ය ගැටලුවක් බව සලකන්න.

 

Harvard Medical School, WebMD සහ Mayo clinic  යන වෙබ් අඩවි ඇසුරෙන් සකසන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.