වසංගත රෝග විද්‍යාඥයන් සහ ඔවුන්ගේ භූමිකාව
ජෙරාඩ්. ඩි. ටේලර් විසින්
(ඔක්ලහෝමා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය ව්‍යාධි ජීවවිද්‍යා මහාචාර්ය )
මම වසංගත රෝග විද්‍යාඥයෙක්. වෛද්‍යවරුන් නැතිනම් පශුවෛද්‍යවරුන් නම් සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නෙ එක වරකට එක් රෝගියෙකුට ප්‍රතිකාර කිරීමටයි. ඒත් වසංගත රෝග විද්‍යාඥයෝ නම් අවධානය යොමු කරන්නේ මනුෂ්‍යයන් වේවා, සත්වයින් වේවා විශාල කණ්ඩායම් වෙතටයි. වසංගත රෝග විද්‍යාඥයන් නැතිනම් විශේෂඥයන් වන අප උත්සාහ කරන්නේ රෝග පැතිරීම වළක්වාලන්නයි. ඒකෙන් අදහස් කරන්නේ මම ඉගෙන ගත්තේත්, උගන්වන්නේත් මනුෂ්‍ය කණ්ඩායම් සහ සත්ව සමූහයන් සෞඛ්‍ය සම්පන්නව තබාගන්නේ කෙසේද යන්න ගැනයි. වසංගත රෝග විද්‍යාඥයන් සෞඛ්‍යය මෙන්ම ලෙඩ රෝග ගැනත් හුඟක් කරුණු කාරණා දැන කියා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එලෙසම ඔවුන්ට ගණිතය ගැන ඇල්මක් දක්වමින් සංඛ්‍යාලේඛන සමග කටයුතු කිරීමටත් සිද්ධ වෙනවා. තවත් කියන්න කාරණාවක් කියනවා: අපි හැමදෙනාම ම අවශ්‍යයෙන් වෛද්‍යවරුන් හරි පශු වෛද්‍යවරුන් හරි වෙන්නම ඕන නෑ.
ඩොමිනෝස් ක්‍රීඩාවට සමාන රාජකාරියක්
ඔබ ඩොමිනෝස් නමින් දැක්වෙන ක්‍රීඩාව ගැන දන්නවාද? අඩු තරමින් අහලවත් ඇතිනේ? ඍජුකෝණාස්ර දාදු කැට යොදා ගනිමින් කරන මේ ක්‍රීඩාවේ දී එම කැට එකක් ආසන්නයේ එකක් සිරුවෙන් තබනවා.(කඩදාසි කුට්ටම යොදාගෙනත් මේ ආකාරයෙන්ම දාදු ක්‍රීඩාව කරන්න පුළුවන්). මෙහි එක කැටයක් නැතිනම් කාඩ් කුට්ටමේ කොළයක් පෙරළුණොත් සියලුම කැට හෝ කාඩ් එකිනෙක පෙරළී යනවා. සමහර සිදුවීම් ද එයාකාරයි. එක සිදුවීමකින් තවත් එකකට, එයින් තවකෙකට ද වශයෙන් ප්‍රතිඵල ලෙස සම්පූර්ණ ක්‍රියාදාමයක් ම සිද්ධ වෙනවා. මේකට කියන්නේ ඩොමිනෝ ආචරණය(dominoe effect) කියලයි. දැන් හිතන්න එක ඩොමිනෝ කැටයක් හෝ කාඩ් එකක්, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුව නියෝජනය කරනවා කියලා. එම තැනැත්තා රෝගීවීම ඩොමිනෝ කැටය වැටීමට සමානයි. එතකොට වැටුනු කැටය කියන්නේ රෝගියෙකු ලෙස ගන්න පුළුවනි. ඉතින් ඩොමිනෝස් ක්‍රීඩාවේදී වගේම එක් අයෙකු රෝගී වුවහොත් ඔහු ගෙන් තවත් අයකු ඒ අයගෙන් තවත් අයකු ලෙස ඩොමිනෝ ආචරණය අනුව විශාල පිරිසක් රෝගීන් බවට පත් විය හැකියි.
ඉතිං වසංගත විද්‍යාඥයන්ට පැවරෙන අසීරු කාර්ය තමයි ඩොමිනෝ කැට හෝ කාඩ් පෙළ සුළු වශයෙන් හෝ වෙනස් කරලා රෝගීන් ප්රජාවක්ම ඇද වැටීම නවත්වා ගන්නේ කෙසේද කියා සැලසුම් කරන එක. ඉතින් අපි මුලින්ම කරන්නේ මුල්ම රෝගී පුද්ගලයා (ඩොමිනෝව) කුමක්ද කවුද කියන එක තෝරා බේරා ගන්න උත්සාහ කරන එකයි. මන්ද, එතනින් තමයි ප්රශ්නය පටන්ගන්නේ. ඊළඟට අපේ වෑයම ඩොමිනෝ කැට නැතිනම් කඩදාසි කුට්ටමේ කොළ පෙරලෙනවා වගේ එක පෙළට ඇද වැටෙන එක වළක්වන්නයි. වෙන විදිහකට කිව්වොත් රෝග ව්‍යාප්තිය වැලකීම.
වෘත්තිකයන් වශයෙන් අපේ කාර්යභාරය තේරුම් ගන්න තවත් විදිහක් තමයි අපව (වසංගත රෝග විද්‍යාඥයන්ව) රහස් පරීක්ෂකයාට සමාන කිරීම. රහස් පරීක්ෂකයෝ යම් අභිරහසකට, සිද්ධියකට හෝ නැතිනම් අපරාධයකට සම්බන්ධ තොරතුරු ටික ටික, එකින් එක, එකට ගලපාගෙන සම්පූර්ණ කතාවම ගොඩනගා ගන්නවා. බොහෝවිට තොරතුරු විරලයි. ඒ වගේම බැලූ බැල්මට තොරතුරු කොටස් එකිනෙකට සම්බන්ධ බවක් පෙනෙන්නේ නැහැ. ඉතිං අපටත් සමහරවිට පැවරෙන්නේ ඔය වගේ රාජකාරියක්. යම්කිසි රෝගයකින් සමහරුන් රෝගාතුර වෙනවා. තවත් සමහරුන්ට එහි එතරම් හෝ සමහරවිට කිසිම බලපෑමක් නැහැ. ඉතින් මේවා ගැන විමර්ශනය කරලා බලන්ට ඕන.
හැබැයි වසංගත රෝග විද්‍යාඥයන් සම්බන්ධ වෙන්නේ සමාජයේ විශාල පිරිසකට මේ ආකාර බලපෑමක් ඇති වන විටයි. එහෙම බලපෑමක් ඇතිවීමෙන් සමාජයේ විශාල පිරිසක් යම් රෝගයකින් රෝගාතුර වෙන්න පටන් ගත්තහම ඒකට කියන්නේ වසංගතය (epidemic) කියලයි. එහෙම නැතුව කොවිඩ් 19 වගේ මුළු ලෝකයම රෝගයක බලපෑමට නතු වන විට එය හැඳින්වෙන්නේ මහා වසංගතය නැතිනම් ගෝලීය ව්‍යාප්ත වසංගතය(pandemic) යනුවෙනුයි. SARS-CoV-2 වෛරසයෙන් කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීම එවැනි මහා වසංගතයක්!
පුරෝකථන සිදු කිරීම
ඒ කිව් ආකාරයට වසංගත මෙන්ම මහා වසංගත හටගන්නා විට, වසංගත රෝග විද්‍යාඥයන් ජනතාව අතර රෝගය ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන එක අධ්‍යනය කරනවා. එමෙන්ම එම රෝගය ඇති කරන රෝග ලක්ෂණ ගැන සොයා බලනවා. මෙහි අවසාන ඉලක්කය වන්නේ සමාජයේ වැඩි පිරිසකට රෝගය වැළඳීම නැතිනම් ව්‍යාප්තිය මගහරවා ගැනීමයි. ඒ අවස්ථාවේ දී, මන් වගේම මගේ වෘත්තීය සගයෝ උත්සාහයක් ගන්නවා කොපමණ දෙනෙකු නම් රෝගයේ බලපෑමට නතු වේ ද? ඒ කොයි කාලවකවානුවක ද? යන්න ගැන පුරෝකථනයක් කිරීමට. එලෙස රෝගීන්හට සත්කාර කිරීමට සූදානම් වීම සඳහා අවස්ථාව වෛද්‍යවරුන්ට හෙද වෘත්තිකයන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට මේ අනාවකි මගින් සැලසෙනවා.
බෝවෙන රෝග අධ්‍යයනයට එහා ගිය රාජකාරි ගණනාවක්ම අපි ඉටු කරනවා. බෝවෙන රෝග වශයෙන් දැක්වෙන්නේ සරම්ප එහෙම නැතිනම් ඉන්ෆ්ලුවන්සාව වගේ එක් අයෙකුගෙන් තවත් අයෙකුට වැළඳිය හැකි රෝගයි. දුම්බීමෙන් පිළිකා හැදෙයි නැතහොත් වායු දූෂණය හේතුවෙන් ඇදුම රෝගය උත්සන්න වේ යනාදී කාරණා සොයා ගැනීමටත් වසංගත රෝග විද්‍යාඥයන් උපකාරී වී තිබෙනවා. මෙය තව ටිකක් පැහැදිලි කර ගමු. එක් තනි වෛද්‍යවරයකුට නිරීක්ෂණ වෙන්න පුළුවන් ඒ වෛද්‍යවරයාගේ රෝගීන් කිහිප දෙනෙකුට දුම්පානය හේතුවෙන් පිළිකාවක් හට ගන්නා බව. එහෙත් ඊට (පිළිකාවට) හේතු වූයේ දුම්පානය බව ඔප්පු කිරීමට විශේෂඥ වාර්තා සිය ගණන් ඇතැම් විට දහස් ගණන් පිරික්සා බැලීමට සිදුවෙනවා. ඉතින් රෝගය ඉන්ෆ්ලුවෙන්සාව වේවා කොවිඩ් 19 වේවා නැතිනම් පෙණහලු පිළිකාව වේවා විශාල පිරිසකට ඉන් බලපෑමක් වේ නම් එම ප්‍රහේලිකාව නැතිනම් ‘අභිරහස’ විසඳීම පිණිස වසංගත රෝග විද්‍යාඥයන් ක්‍රියා කරනවා. දැන් ඉතින් වසංගත රෝග විද්‍යාඥයන් කියන්නේ කවුරුන්ද ඒ අය කරන්නේ මොනවාද යන්න ගැන යම් අවබෝධයක් ඔබට ඇති වෙන්න ඇති, එහෙම නේද? ඉතින් මාධ්‍යවල වසංගත රෝග විද්‍යාඥයන් ගැන සඳහන් කර කොට ඒ අය කවුද? මොනවාද කරන්නේ? කියන එක ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න ඔබටත් දැන් පුළුවන් කම තියෙන්න ඕන.
The Conversation (USA) හී පළවන What’s an epidemiologist? යන ලිපිය ඇසුරෙනි.