පොදු ප්‍රවාහන සේවාවේ දී මුව ආවරණ පැළඳිය යුතු ම ද?

Posted by

 පොදු ප්‍රවාහන සේවාවේ දී මුව ආවරණ පැළඳිය යුතු ම ද?

කොරෝනා මහා වසංගතය හමුවේ ලෝකයේ රටවල් පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් වෙමින්, රටත් ජනතාවත් යළි එදිනෙදා කටයුතු වලට පිවිසීමට පටන් ගැනීමේදී කලින් ලබාදුන් ආරක්ෂක පියවර කොයි තරම් දුරකට, එමෙන්ම කොයි ආකාරයකට පිළිපැදිය යුතුද? යන්න ගැන නැවතත් අපේ අවධානය යොමු වෙයි. දුරස්ථ භාවය රැක ගැනීම, මුහුණ ආවරණය පැළඳීම, අත් සේදීම වේවා නොවෙනස්ව ඒ විදියටම කළ යුතු යැයි ඇතැම් විට උපදෙස් ලැබේ. එහෙත් රට ක්‍රමයෙන් විවෘත වෙද්දී ප්‍රායෝගිකව මේ ආරක්ෂක පියවර එලෙසම ම ක්‍රියාත්මක කළ යුතුද? ක්‍රියාත්මක කළ හැකි ද? යන ප්‍රශ්න පැන නගී.

විශේෂයෙන්ම රැකියාවට යාමට මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් සඳහා පොදු ‍රවාහන සේවා භාවිතාවේදී මෙය ප්‍රබල ව මතු වී එයි. මේ සම්බන්ධයෙන් ජනතාව අනුගමනය කළ යුත්තේ රජයන් සහ වැඩියක්ම දේශීය හා අන්තර්ජාතික සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් හා නිර්දේශයන් ය. එහෙත් මෙහිදී යම් භාවිතාවක් ගැන පොදු එකඟතාවක් නොමැතිකම සහ/හෝ වරින් වර වෙනස් උපදෙස් ලබා දීම හේතුවෙන් ඇතැම් විට ජනතාව වික්ෂිප්තභාවයට පත් වෙති.

මුව ආවරණ පැළඳීම, මහා වසංගතය ආරම්භයේ සිටම යම් ගැටළු ඉස්මතු කළ භාවිතාවකි

මුව ආවරණ පැළඳීම ගැන මත මේ මහා වසංගතය ආරම්භයේ සිටම යම් ගැටළු ඉස්මතු කළ භාවිතාවක් විය. නිදසුනකට ඕස්ට්‍රේලියාව ගත හොත්,  ඒවා පැළඳීම ගැන ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී නික් කෝට්ස්වර්ත් ගෙන් මේ ගැන අසන ලදුව ඔහුගේ පිළිතුර වූයේ “ඔබ අවදානම්ග්‍රාහී පුද්ගලයකු නම් එමෙන්ම වැඩට යාමට හෝ එහා මෙහා යාමට වෙන මගක් නැති නම් එහෙම කරන එක සාධාරණයි. ඒත් ඉතින් ප්‍රජාවේ සිටින සෞඛ්‍ය සම්පන්න සාමාජිකයන් එහෙම මුව ආවරණ පැළඳිය යුතු යයි අපි හිතන්නේ නැහැ” යනුවෙනි.  පොදු ප්‍රවාහන සේවාවන් හිදී මුව ආවරණ පැළඳීම ගැන විමසන ලදුව ප්‍රධාන වෛද්‍ය නිලධාරී බ්‍රෙන්ඩන් මර්ෆි  ඊට කලින් කියා සිටියේ “මෙය පිළිගත නොහැකි දෙයක් නොවෙයි” යනුවෙනි. කෙසේ වෙතත් ජාතික කැබිනෙට්ටුව එය අත්‍යවශ්‍ය දෙයක් බවටම වාගේ පමුණුවා ඇත. බලාගෙන යන විට එක්තරා අන්දමක අවුලකි.

ඉතින් ජනතාව සමග ගැවසෙන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් මුව ආවරණ පැලදීමේ වාසි ගැන අලුතෙන් ලැබී ඇති සාක්ෂි වලින් කියවෙන්නේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු පිණිස අප එම තොරතුරු යොදා ගන්නේ කෙසේ ද?

මුව ආවරණයක් පැළඳීමෙන් අවදානම අඩු වෙයි

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු නිවසින් පිටතට යෑමේදී මුව ආවරණයක් පැළඳීමෙන් එම පුද්ගලයාට කොරෝනා වෛරස ආසාදනය වීමේ අවදානම අඩුවේ ද යන්න ගැන මේ වනතෙක් තිබුණේ අඩමානයකි. එහෙත් මෑතක The Lancet සඟරාවෙහි පළ වූ සමාලෝචනයක් මගින් ඒ සියල්ල වෙනස් කිරීමකට බඳුන් වෙයි. කල් ඇතිව බලාපොරොත්තු වූ පරිදිම පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය සත්කාර සේවා සපයන්නන්  මුව ආවරණ පැළඳීමෙන් ඔවුන්ට කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් ආරක්ෂාව සලසන බවයි. ඒත් ඒ එක්කම පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත්තේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හට ද ප්‍රජාව තුළ (සාපේක්ෂව වඩාත් අඩුවෙන් වුවත්) මුව ආවරණ වලින් ආරක්ෂාව සැලසෙන බවයි.

ආරක්ෂාව සම්බන්ධ  මේ සාපේක්ෂ වෙනසට හේතුව සෞඛ්‍ය සේවකයන් N95 මුව ආවරණ පැලදීමට වැඩි ඉඩකඩක් තිබීමයි. ඒ වර්ගයේ මුව ආවරණ,  පොදුවේ ප්‍රජාව තුල සාමාජිකයන් සාමාන්‍යයෙන් පළඳින ඉවත දැමිය හැකි ශල්‍යකර්ම ආවරණ වලට වඩා වැඩි ආරක්ෂාව සැලසෙන හෙයිනි. දැන් මෙයින් ලැබෙන,  මතකයෙහි තැන්පත් කරගත යුතු පණිවිඩය මෙයයි: මුව ආවරණ ඔබට පූර්ණ රැකවරණයක් පිරි නමන්නේ නැති වුවත් ඔබ පිටත ගතකරද්දී ඒවා, ඔබට කොරෝනා වෛරස   ආසාදනයෙන් ඇතිවෙන අවදානම අඩු කරයි.

අධ්‍යයනයේ සොයා ගැනීම් හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organisation — WHO) මේ සම්බන්ධ ඔවුන්ගේ නිර්දේශ යාවත්කාලීන කර ඇත. පුළුල්ව පැතිරුණ වෛරස සම්ප්‍රේෂණයක් ඇති විට සහ පොදු ප්‍රවාහනයේ දී මෙන් සමාජයීය වශයෙන්  කායික දුරස්ථ භාවය පවත්වා ගැනීම අසීරු වූ විට සෞඛ්‍ය සම්පන්න ජනතාව ද පොදු ස්ථානවලදී මූව ආවරණ පැළඳිය යුතු යැයි එම සංවිධානය දැන් නිර්දේශ කරයි.

ඒත් ඉතින් ඒක අපි කලින් අහල තියෙන දේට වඩා වෙනස් වන්නේ කොහොමද?

The Lancet අධ්‍යනය එකතු කරනු ලබන්නේ, පිටත සැරිසරන සෞඛ්‍යසම්පන්න උදවිය මූව ආවරණයක් පැළඳීම ආසාදන අවස්ථා අඩු කරන බවට හොඳම සාක්ෂියයි.  තවද, ඔබ රෝගී තත්ත්වයට පත්ව ඇත්නම් මුව ආවරණයක් පැළඳීමෙන් ඔබෙන් කොරෝනා වෛරසය අන් අයට සම්ප්‍රේෂණය වීමේ අවධානම අඩු කෙරෙන්නේ යයි සාක්ෂි මගින් ඉතා පැහැදිලිව දක්වන  බව අවධාරණය කිරීම ද වැදගත්ය. ඔබට රෝගී බවක් දැනේ නම් හෝ කොවිඩ් 19 වැළඳ ඇති බව නිර්ණය කර ඇත්නම් අදටත් වලංගු පැහැදිලි උපදේශය වන්නේ නිවෙසට වී සිටිමින් ස්වයං නිරෝධායනය යෙදීමය.

(රෝගී අයෙකු නම්) ඔබ පරීක්ෂාවකට යනවා නම් හැර කොහොමටවත් පොදු ප්‍රවාහන සේවයේ යා යුතු අයකු නොවේ.

මුව ආවරණ අන් අයටද ආරක්ෂාව ගෙන එයි 

පොදු ප්‍රවාහන සේවාවන් හිදී මුව ආවරණයක් පැලදීමේ අනෙකුත් වාසි මොනවාද? ඔබට රෝග ලක්ෂණ නොමැති වුවත්(අලාක්ෂණික වුවත්)  ඔබ නොදැනුවත්වම අන්අයට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ අවදානම අඩු වෙයිද? පසු ගිය දා  ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) නිකුත් කළ යම් ආකාරයක අවුල්සහගත පණිවුඩ නොතකා විද්‍යාඥයන්ට පැවසිය හැක්කේ එහි කාර්යභාරය නැතිනම් එය සිදුවන්නේ කෙසේද යන්න තවම හරි හැටි තේරුම් කරගෙන නැතත් අලාක්ෂනික සම්ප්‍රේෂණය(asymptomatic transmission) සිදු වන්නේය යන්න ඇත්තක් බවයි. නිදසුනක් දක්වතොත් මෑතක සමාලෝචනයකින් දැක්වෙන්නේ කොරෝනා වෛරස ආසාදන වලින් 40% – 45% ක්ම අලාක්ෂණික වන අතර එවැනි අලාක්ෂනික අය දිගු කාල ඡේදයක් තුළ අන් අයට වෛරසය සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ඇති බවයි. එහෙයින්, මුව ආවරන පැළඳීමට ඔබ ගන්නා තීරණයට පාදක වන තවත් හේතුවක් වශයෙන් අලාක්ෂණික සම්ප්‍රේෂණය වැළැක්වීම දැක්විය හැකියි. ඒ කියන්නේ ආසාදනයෙන්  ගැලවීමට ඔබ මුව ආවරණයක් පළඳිනවා වෙනුවට අනුන් ආරක්ෂා කිරීමට ඔබට ආවරණයක් පැළඳිය හැකි බවයි.

අදාළ රූපය

ඉතින් මම කළ යුත්තේ කුමක්ද?

මුව ආවරන පැළඳීමෙන් ඔබට වෛරස ආසාදනය වීමේ අවදානම මෙන්ම ඔබ නොදැනුවත්වම හෝ වෙනත් අයකුට  වෛරස්  සම්ප්‍රේෂණය කිරීමේ අවදානම අඩුවන බව සැලකිල්ලට ගන්නා විට, ඔබ පොදු ප්‍රවාහනය යොදා ගන්නේ නම් ප්‍රජාව තුළ කොරෝනා වෛරසය සංසරණය වන තාක්, මුව ආවරණයක් සිරිතක් ලෙස පැළඳීම යෝග්‍ය යයි පැහැදිලිවම ඔබට තීරණය කළ හැකිය. නිදසුනක් දක්වතොත් ඔබ වයස අවුරුදු 65 ට වැඩි නම් නැතහොත් අධික රුධිර පීඩනය, හෘදයාබාධ හෝ දියවැඩියාව වැනි නිදන්ගත වෛද්‍යමය තත්ත්වයන්ගෙන් පෙලෙන්නෙක් නම් මේ යෝග්‍යතාව තවත් ප්‍රබල වේ.

“මුව ආවරන පැළඳීමට අමතරව දුරස්ථභාවය තබා ගැනීම මෙන්ම අත් සේදීම ද තවදුරටත් සිදු කළ යුතුමය

අදාළ රූපය

මීට විකල්ප වශයෙන් ඔබ දුම්රියකින් කෙටි දුරක් පිටත්ව යාමට තීරණය කළහොත් සමාජ දුරස්ථ භාවය රැක ගැනීමට හැකිවන පරිදි ඕනෑ තරම් (දුම්රියෙහි)ඉඩ ඇත්නම් ගමනේ දී ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගන්නා විට මුව ආවරණයක් පැළඳීම අත්‍යවශ්‍ය නොවිය හැකියි. කෙසේ වෙතත් ඔබ දුරගමනක් යන්නේ නම් සමාජ දුරස්ථභාවය රැකීමට බැරි තරමට පොදු ප්‍රවාහන රථයෙහි තද බදයක් ඇත්නම් වඩාත් ප්‍රඥාගෝචර වන්නේ ආවරණයක් පැළඳීම බවට ඔබ තීරණය කරන්නේ නම් එය නිසියාකාරව පළඳින හැටි සහ අනතුරුව එය ගලවන හැටි ගැන ඔබ දැනගැනීම අතිශය වැදගත් ය.

අනික, කිසිම මුව ආවරණයක් මගින් පූර්ණ ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි හෙයින් ඔබ කායික වශයෙන් දුරස්ථභාවය තබා ගැනීම මෙන්ම (හැකි සෑම විටකදීම)  අත් සේදීම ද තවදුරටත් සිදු කළ යුතුමය.

(අවධාරණය අපෙනි — සංස්කාරක)

 

The Conversation හී පළවූ  Should I wear a mask on public transport? යන ලිපිය ඇසුරෙනි 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.