දෙපයින් ඇවිද ගෙන ගිය පෞරාණික කිඹුලන්
ලෝකයේ කොතැනක හිටියත් කිඹුලන් ඇවිදින්නේ එකම තාලයකට නේ. පාද හතර පාවිච්චි කරමින් දෙපැත්තට පැද්දි පැද්දි කිඹුලන් බාව ඇදගෙන යන ගමන ඇසින් දැක ඇති එසේ නැතත් අඩුම තරමින් රූපවාහිනියෙන් හෝ චිත්‍රපටවල හෝ නොදැකපු කෙනෙක් නැති තරම්. ඒත් මේ මහ පොළොවේ එක්තරා කාලයකදී දෙපයින් ඇවිද ගෙන ගිය කිඹුලන් සිටී යයි කියලා කවුරු හරි කිව්වොත් අපි පුදුමයට පත්වෙනවා නේද?
අපි විතරක් නෙමෙයි, “ඇතැම් ඩයිනෝසරයන් ගමන් කළ ආකාරයෙන් පිටුපස ගාත්‍රා දෙකෙන් ඇවිදගෙන ගිය පෞරාණික කිඹුලන් විශේෂයක් සිටි බවට ෆොසිල සාක්ෂි සොයාගත් අන්තර්ජාතික විද්‍යාඥයන් කණ්ඩායමක් ද ඒ අන්දමට පුදුමයට පත්ව තිබෙනවා. දිගින් මීටර් තුනක් ඉක්ම වන මේ කිඹුලන් විශේෂය තවත් වෙනස් පෞරාණික සත්ව විශේෂයක් වන ටෙරෝසෝරයන්ගේ(pterosaurs) ගේ ෆොසිල ගත පාද සලකුණුවල සමානත්වය නිසා මොවුන් ටෙරෝසෝරයන් යයි පර්යේෂකයන් මුලින් කල්පනා කළ බව” කුවීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පුරා තත්ත්ව විද්‍යාඥ (paleontologist) ආචාර්ය ඇන්තනි රොමිලියෝ කියා සිටියි.
Trackway evidence for large bipedal crocodylomorphs from the Cretaceous of Korea
මොවුන් පිළිබඳ තොරතුරු පර්යේෂකයන්ට අනාවරණය කර ගැනීමට හැකි වූයේ පොසිල ගත පාද සලකුණු පරික්ෂා කිරීමෙනි. “එක ස්ථානයකදී සොයාගත්ත පාද සටහන් මුලින් අදහස් කළේ යෝධ දෙපා ටෙරෝසෝරයෙකගේ කියාලයි” රෝමිලියෝ තවදුරටත් පැහැදිලි කරයි, “ මේ පාද සලකුණු දිගින් සෙන්ටි මීටර් දහ අටත්(අඟල් 7ක් පමණ) විසි හතරක් (අඟල් දහයක් පමණ) පමණ වෙනවා. ඒ නිසා තේරුම්ගන්න පුළුවන් වන්නේ පාද සටහන් තැබූ සතුන්ගේ දෙපා වැඩිහිටි මිනිසකුගේ දෙපාවලට උසින් සමාන බවකුයි. අපි ගණන් බලා ඇති අන්දමට මේ සතුන් දිගින් මීටර් තුනක් පමණ වෙනවා. සැලකිල්ලට ගත යුතු අනිත් කාරණාව තමයි සෑම තැනකම පාද සටහන් තිබුණාට අත් සටහන් නැතිනම් හස්ත සලකුණු නොතිබීම”.
එහෙත් හස්ත සලකුණු නොමැති වීමට හේතුව සොයා ගැනීමට චින්ජු ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේයුං සු කිම් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට හැකි විණ. “සාමාන්‍යයෙන් කිඹුලන් ඇවිදින්නේ උක්කුටික ඉරියව්වෙන් දෙපැත්තට පැද්දි පැද්දි. එහෙම් ඇවිදින කොට ඇතිවෙන පාද සලකුණු බොහොම පළල්. ඒත් මේවා හරිම පටුයි. හරියට කිඹුලෙක් අතුරක(කඹයක් මත) ගමන් කරනවා නම් හටගන්න ඒවා වගේ” මහාචාර්ය කිම් පැහැදිලි කරයි. මේ සාධක සමඟ, වලිගය ඇද ගෙන ගිය බවට සලකුණු නොතිබීම යන කාරණාව ද සැලකිල්ලට ගත් විට මෙම සතුන් දෙපයින් ඇවිද යන්නට ඇතැයි යන්න පැහැදිලි වූ බව හෙතෙම කියා සිටී. “මොවුන් ඇවිදගෙන යන්න ඇත්තේ ඇතැම් ඩයිනෝසරයන් ඇවිදගෙන යන ආකාරයට. ඒත් මේ පා සලකුණු ඩයිනෝසරයන්ගේ නෙවෙයි ඩයිනෝසරයන් මෙන්ම ඔවුන්ගෙන් පැවත එන පක්ෂීන් ඇවිදින්නේ පා ඇඟිලි වලින්. කිඹුලන් ඇවිදින්නේ මනුෂ්‍ය අප වගේ පතුල් පොළොවේ ගැටෙන පරිදි අඩි තබමිනුයි”.
වසර මිලියන 110-120 අතර කාලයකට පෙර තබන ලද මෙම පා අඩි සොයාගනු ලැබුවේ වර්තමානයේ දකුණු කොරියාව ලෙස හඳුන්වනු ලබන රටේ සත්ව පා සලකුණු සටහන්ව ඇති ස්ථාන ගණනාවක විශ්ලේෂණයකින් පසුවයි. හස්ත සලකුණු නොතිබීම පර්යේෂකයන්ට මුල දී ගැටලුවක් විය. මන්ද වර්තමානයේ ආකෘතිකව දැකිය හැකි කිඹුලන් සිවුපා නිසාවෙනි. “පොසිල ගත කිඹුල් මං කඩ ආසියාවේ බොහෝම දුලබයි. ඉතින් පා සලකුණු සියයක් පමණ සොයා ගැනීමට හැකිවීම සුවිශේෂීය”යි ආචාර්ය රොමිලියෝ කියයි.
සිවු පා සතුන් ඇවිදගෙන යන විට පස්සේ ගාතා දෙක ඉදිරි ගාත්‍රා වලින් තැනුණු සලකුණු මතම තැබීම සාමාන්‍යයෙන් සිදු වන්නක්. ඒත් කොරියාවේ ස්ථානවලින් සොයා ගනු ලැබූ එවැනි සලකුණු මත මේ ආකාරයට සලකුණු තැබූ බවට සාක්ෂි නැත. එලෙස සලකුණු සටහන් වී නැත්තේ සංරක්ෂණයේ දුර්වලතාවන් නිසා නොවෙයි. මන්ද, “මේ පොසිල සුවිශේෂීව ආරක්ෂා වී තිබෙනවා පා ඇඟිලි කොට්ට මෙන් යටි පතුල් වල කොරල වල විස්තර පවා පැහැදිලිව සටහන් වී තිබෙනවා” ආචාර්ය රොමිලියෝ පෙන්වා දෙයි.
මේ අධ්‍යන වාර්තාව Scientific Reports හි පළ වී තිබේ.
ScienceDaily හි පළ වූ Researchers Stunned to Discover Ancient Crocodiles That Walked on Two Legs යන ලිපිය ඇසුරෙනි