කොවිඩ් 19 මධ්‍යයේ  චර්යානුගත ප්‍රතිකාර ඇනහිටීම

Posted by

කොවිඩ් 19 මධ්‍යයේ  චර්යානුගත ප්‍රතිකාර ඇනහිටීම

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව කොරෝනා වෛරස වසංගතය වෙත අවධානය යොමු කර තිබියදී බරපතල රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීම නතර වී හෝ ඒවා නිර්ණය කිරීම ඇනහිට ඇත. මෙය ඛේදවාචකයක් වන අතර සෞඛ්‍යමය කාල බෝම්බයක් බවටද පත්විය හැකිය.

22 හැවිරිදි හැන්නාට වමනය නතර කරගත නොහැක. ඇය Ehlers-Danlos  රෝගයෙන් පෙළෙන්නීය.  සංකීර්ණ දුබලතාවක් හෙයින් ඇය ආන්ත්‍රික ඇනහිටීමට ද මුහුණපාන අතර ආහාර ගැනීමට සිදුව ඇත්තේ නලයක් මගිනි. ඒ මදිවාට දැන් ඇයට බඩවැල අවහිරයක් ද ඇත. ඇයට ඇති එකම විකල්පය ශල්‍යකර්මයකි. එහෙත් ඒ සඳහා තව මාස අටක් බලා සිටීමට සිදුවන බව සෞඛ්‍ය බලධාරීන් ඇයට දන්වා ඇත. ඊට හේතුව ජාතික සෞඛ්‍ය සේවයේ අවධානය කොරෝනා වෛරසය මහා වසංගතය කෙරෙහි යොමුව තිබීමයි. හැන්නා ඒ වන විටත්(ශල්‍යකර්මය සිදුකිරීම සඳහා) මාස නවයක් පොරොත්තු ලේඛනයේ සිටි අයෙකි.

ඇගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් පවතී. එහෙත් ඇය ඇගේ වෛද්‍යවරුන්ට දොස් නගන්නේ නැත. “දෙපොළක ගෙවල් දෙකක් එක සැරේ ගිනි ගන්නවා කියමු. එකක් තනිව පිහිටි ගෙයක්. අනික එක පෙළට ඇති නිවාස පේළියක  නිවසක්. තියෙන සම්පත් ප්‍රමාණවත් වන්නේ එක නිවසක් බේරා ගන්නට පමණක් නම් කරන්න තියෙන්නේ කුමක්ද?” සාධාරණ සිතින්  ඇය අසයි.

ඒත් ගෝලීය වසංගතය හමුවේ ඇය වැනි වෙනත් රෝගීන් ප්‍රතිකාර වලින් ඈත් කර තැබීමට රජය ක්‍රියා කිරීම ගැන හැන්නාට ඇත්තේ කලකිරීමකි. ශල්‍යකර්මය ඉක්මනට සිදු නොකළොත් බඩවැල් පුපුරා මිය යාමටත් ඉඩ ඇත. සත්කාරක සේවාවන් ගේ හිඟ පාඩු නිසාවෙන්, ඇයගේ තත්ත්වයේ පසුවන බොහොමයක් ගේ ඉරණම ද එයම විය හැකිය. ඇත්තවශයෙන්ම අද  බිතාන්‍ය මුහුණ පා සිටින දෙවෙනි මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව මෙයයි. කොවිඩ් 19 සමග හා එක්ව හෙමින් සීරුවේ වුවත් මේ අර්බුදය ජනතාවගේ ජීවිත අනතුරේ හෙලයි.

ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවාව රැක ගැනීමට හැකිවිණැයි පසුගිය කාලය පුරාවටම රජය පුරසාරම් දොඩයි. එහෙත් සැබැවින්ම සිදුවී ඇත්තේ රජය සෞඛ්‍ය සේවාවන් වසා දැමීමයි. ජීවිතයට තර්ජනයක් වන, බොහෝ දෙනා අතර සුලබ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් තුනෙන් දෙකකට පමණ ජාතික සෞඛ්‍ය සේවය, එහි සේවාවන් සැපයීම අවහිර කර ඇත. ඒ, රෝහල් තනිකරම කොවිඩ් 19 එරෙහි සටනට අවධානය යොමු කර තිබීමෙනි. කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සැලසීම පිණිස රෝහල් ඉඩකඩ මුදාගනු වස් එතරම් හදිසි නැති ශල්‍යකර්ම දස දහස් ගණනක් මෑතක දී කල් තබා ඇත. තවද රෝග විනිශ්ච පරීක්ෂණ හා බාහිර රෝගී හමුවීම් තාවකාලිකව නතර කර තිබේ. ස්කොට්ලන්තයේ, වේල්ස්හි සහ උතුරු අයර්ලන්තයේ පිළිකා නිවාරණ සේවාවන් නිල වශයෙන් අත්හිටුවා ඇති අතර එංගලන්තයේ ද ඇත්තටම එම සේවා තාවකාලිකව නතර කර ඇත.

අදාළ රූපය

කොරෝනා  හේතුවෙන් රෝහල් සේවා අවහිර වීම නිසා එංගලන්තයේ රෝහල් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනගතව  සිටින සංඛ්යාව, නත්තල වනවිට මිලියන 10 ඉක්මවනු ඇතැයි ජාතික සෞඛ්ය සේවයේ ප්‍රධානීහු පවසති. මේ සංඛ්යා ලේඛන අතරට ප්‍රතිකාර ගැනීමට පැමිණීමෙන් ස්වෙච්ඡාවෙන් වැළකී සිටි රෝගීන් ඇතුළත් නොවේ. ගෝලීය වසංගතය හමුවේ සෞඛ්ය සත්කාරක සේවා සීමාවීමේ නැතිනම් අඩුවීමේ  දිගුකාලීන  ඵලවිපාක සෙමින් නමුත් නොවැරදීම පුපුරා යන නොපිපිරවූ බෝම්බයක් හා සම කළ  හැකිය. පුද්ගලයින් තම තමන්ගේ නිදන්ගත රෝග තත්ත්වයන් නරක අතට හැරෙනු බලා සිටියදී මහා සෞඛ්ය ගැටළු අනාගතය සඳහා තැන්පත් කර තබනු ලැබ ඇත.  මොවුන්  අතුරෙන් බරපතලම තත්ත්වයේ පසුවන ආතුරයෝ මරණයේ අවදානමට මුහුණ දෙති. කොරෝනා වෛරස ව්‍යාප්තිය අභිමුඛව බ්‍රිතාන්යයේ බඩවැල පිලිකා ආතුරයන්ගේ සංඛ්‍යාවේ විස්මයජනක වැඩිවීමක් ඇතිවීමේ හැකියාව ගැන වෛද්යවරුන් අනතුරු අඟවති. මාර්තුවේ දී නිවාරණ සේවාව ප්‍රයෝගික වශයෙන් නතර කිරීම පිළිකාවෙන් දහස් ගණන් ජනතාව අකාලයේ මිය යාමට මග පාදනු ඇතැයි පුරෝකථනය කෙරේ.

 

අදාළ රූපය

ජාතික සෞඛ්ය සේවාව දිගටම පසු වූයේ දැඩි අර්බුදකාරී අවස්ථාවල ය. මෑතක කාල වල රෝගීන්ට ලබා දුන් දින අවලංගු කිරීම හරහා අපේක්ෂා කෙරුණේ,  රෝහලට පැමිණීමෙන් රෝගීන්ට කොරෝනා වෛරසය වැළඳීම වළක්වා ගැනීමය. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව මෙන්ම පුද්ගල ආරක්ෂක උපකරණ (PPE) හිඟයද මේ ගැටළුවට තවත් පොහොරක් විය. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ අරමුදල් හිඟයෙන් වසර ගණනාවක්  තිස්සේ පෙළෙන ජාතික සෞඛ්ය සේවාව ගෝලීය වසංගතය පටන් ගන්නා විට දී පවා පසුවූයේ අසීරු තත්ත්වයක වීමයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට යෙදවීමටත් පෙර එංගලන්ත ජාතික සෞඛ්ය සේවාවට හෙද නිලධාරීන් 40,000ක පමණ හිඟයක් පැවතිණ. රෝගීන් බොහොමයක් ඒ වනවිටත් ප්‍රතිකාර සඳහා වසරක පමණ කාලයක් බලා සිට ඇත. දශකයක් මුළුල්ලේ අරමුදල් කපා හැරීමට ලක් වී තිබූ අවස්ථවක ගෝලීය වසංගතයකට මුහුණ දීමට සිදුවීම එක් අතක් පස්සට තබා බැඳ සටන් කිරීමට බල කිරීමක් බඳු ය.

Hospital staff in scrubs

මෙය ගෝලීය වසංගතයේ දී රෝගාතුර වූවන්ට පමණක් නොව ඊට පෙර සිටම සෞඛ්‍ය ප්‍රශ්න වලින් පෙළුණු ආතුරයන් ද සම්බන්ධ අර්බුදයකි. දරුණුතම උත්ප්‍රාසය වන්නේ මෙයයි. නව කොරෝනා වෛරසය හමුවේ  ජනතාව බේරාගැනීම සඳහා  ක්ෂණිකව ක්‍රියා කිරීම සිදුවිය යුත්තක් බව සැබවි. එහෙත් එසේ ක්‍රියා  කිරීම ඔවුන්ගේ(ජනතාවගේ) සෞඛ්‍යය වෙනත් ආකාරයකින් අනතුරට හෙළා ඇත. මේ අතර කොවිඩ් 19 නිසාවෙන් ඇති වූ මහත් කඩා වැටීම හේතුකොට ගෙන ජාතික සෞඛ්ය සේවාවන්ට එහි සම්පූර්ණ සේවා පරාසය සැපයීමට හැකි වන පරිදි සේවාව යථා තත්ත්වයට පත්වීමට වසර හතරක් වත් ගතවනු ඇතැයි රෝහල් ප්‍රධානීහු අනතුරු හඟවති. මේ අනුව, ශල්‍යකර්ම සිදු කිරීම හා රෝග විනිශ්චය සඳහා වන පරීක්ෂණ වෙනුවෙන් රෝගීන්ට සාමාන්‍යයට වඩා වැඩි කාලයක් ගත වනු ඇත. ඊළඟ සීත සෘතුවේ දී ඇතිවන අතිරේක පීඩනය හා කොවිඩ් 19 දෙවැනි රැල්ලක් හටගැනීමේ හැකියාව ද සැලකිල්ලට ගෙන,  කළ හැකි සියල්ල ඉටු කරමින් සේවාවන් යථා තත්ත්වයට ගෙනඒමට රෝහල් කටයුතු කරමින් සිටින බවද ප්‍රධානීහු අවධාරණය කරති.

 

The Guardian හී පළවූ There’s a hidden crisis threatening lives alongside Covid-19: the lack of routine treatment සහ It’ll take four years for NHS to recover from Covid-19, health chiefs warn යන ලිපි ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.