ලැව්ගිනි දුම් අපේ පෙනහළුවලට මේ තරම් හානිකර ඇයි?
ලැව්ගිනිවලට නිරාවරණය වීමෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම්වලින් කොටහක් ඒ ගින්න මතමත් ඒ වගේම පුද්ගලයකු කොපමණ වේලාවක්, කොපමණ වාර ගණනක් දුම් ආශ්වාස කරන්නේද යන්න මතත් රඳා පවතිනවා.
“කොරෝනා වෛරසයෙන් අත්වූ යම් යහපතක් ගැන කියන්න කීවොත් මම හිතන්නේ අපි ආශ්වාස කරන වාතය ගැන අපිට යම් අවබෝධයක් ලබා දීමට එය සමත් වූ බවයි” මෙසේ කියන්නේ පාරිසරික ධූලකවේදියෙකු(toxicologist) සහ ඇමරිකාවේ අයිඩහෝ හී බොයිස් විශ්වවිද්‍යාලයේ ප්‍රජා හා පාරිසරික සෞඛ්‍ය සහකාර මහාචාර්ය ලූක් මොන්ට්‍රෝස් ය. හෙතෙම වායු දූෂණය විශේෂයෙන්ම, දැව දැවීම නිසා ඇතිවන දුම සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන පර්යේෂණ පවත්වන්නෙකි. ලැව් ගිනි නිසා ඇතිවන අධික උෂ්ණත්වය සහ දුම් අංශුවල මට්ටම ඉහළ යාම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුගේ පෙනහළුවලට පවා බලපෑමක් කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා. පෙනහළු හානියක් පවතින හෝ ස්වශන රෝගයකින් පෙළෙන්නෙකුට මද මට්ටමක දුම් අංශු පවා එම ස්වශන ආබාධ වැඩි කිරීමට හේතු වෙනවා. මෙය, ලැව්ගිනි දුම, එය ආශ්වාස කරන පුද්ගලයන් කෙරෙහි බලපාන අන්දම ගැන කතාවේ ආරම්භය පමණයි. ඉතිරිය ඒ වගේම, ලැව් ගිනි හමුවේ සෞඛ්‍ය සම්පන්නව පසුවන්නේ කෙලෙසද යන්න අවබෝධ කරගැනීමට සහාය වීම මේ ලිපියේ අරමුණයි.
ලැව් ගිනි දුමෙහි අඩංගු වන්නේ කුමක්ද?
ලැව්ගිනි දුමෙහි නිශ්චිත වශයෙන්ම අඩංගු වන්නේ කුමක්ද යන්න කාරණා කීපයක් මත රඳා පවතින්නක්. එකක් තමයි ගිනි ගෙන දැවෙන්නේ කුමක් ද — තෘණ ද, කටු ලැහැබ ද, නැතිනම් ගස් ද යන්න; ඒ වගේම තමයි, උෂ්ණත්වය — ගිනි දැල් ඉහළට නගිමින් සරුවට දැල්වෙන ගින්නක් ද නැත්නම් දුම් දමමින් යාන්තමට දැවෙමින් පවතින ගින්නක් ද යන්න; දුම ආශ්වාස කරන තැනැත්තා සහ දුම නිපදවන ගින්න අතර පවතින දුර ද වැදගත්වෙනවා.
ගින්දර ‘පදම්’වීමට පවතින හැකියාව් කෙරෙහි දුර ද බලපෑමක් සිදු කරනවා. ‘පදම් වීම'(aging) යන්නෙන් අදහස් කරන්නේ දුම වාතය හරහා ගමන් කරන අතරතුර සූර්යයා සහ අනෙකුත් රසායනික වලින් ඇති වන බලපෑම්ය. මෙම බලපෑම නිසා දුම වඩාත් විෂ සහිත විය හැකියි. මෙහිදී වැදගත් වෙන්නේ බොහෝ පුද්ගලයින් අළු ගැන හිතන කොට හිතට එන ආකාරයේ විශාල අංශුවලට ගින්නේ සිට වැඩි දුරක් ගමන් කිරීමට නොහැකියි. ඒත් කුඩා දුම් අංශු හෙවත් ඒයරසෝල මහද්ධ්වීප අතරේ පවා ගමන් කිරීමට පුළුවන්.
ලැව් ගිනි වලින් ඇතිවෙන දුමෙහි තනි තනි රසායනික සංයෝග දහස් ගණනක් තිබෙන්නට පුළුවන. මේවා අතර කාබන් මොනොක්සයිඩ, වාෂ්පශීල කාබනික සංයෝග, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රොකාබන සහ නයිට්‍රජන් ඔක්සයිඩ ද ඇතුළත් වෙනවා. ස්කන්ධය අනුව වඩාත්ම සුලබව පවතින දූෂකය(pollutant) වන්නේ විෂ්කම්භයෙන් මයික්‍රොමීටර් 2.5 ට අඩු අංශුමය ද්‍රව්‍ය හෙවත් පදාර්ථය(particulate matter – PM 2.5). ඒ කියන්නේ වැලි කැටයකට වඩා පනස් ගුණයකටත් වඩා කුඩායි. එහි සුලබත්වය නිසා තමයි සෞඛ්‍ය බලධාරීන් PM 2.5 ප්‍රමිතිකය උපයෝගී කරගෙන වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කරන්නේ.
දුම මනුෂ්‍යයන්ගේ ශරීර වලට සිදු කරන්නේ කුමක් ද?
සෞඛ්‍යමය නිර්දේශ ඉදිරිපත් කරන විට දී ප්‍රමිතිකය සඳහා PM 2.5 භාවිතා කිරීමට තවත් හේතුවක් තියෙනවා. අපේ පෙනහළු ඇතුලටම රිංගා වඩාත්ම හානියක් සිදු කිරීමට හැකි අංශුවල සීමාව එයින් නියම කෙරෙනවා. PM 2.5 ට වඩා වැඩි අංශුවලින් ආරක්ෂා වීම සඳහා මනුෂ්‍ය ශරීරය තුළ ස්වභාවිකම ආරක්ෂක යාන්ත්‍රණ පවතිනවා. දුම් ගසන ගින්නක් සහිත තැනකදී ඔබේ නාසය සීරුව විට හෝ එසේ නැත්නම් සෙම පිටතට දැමූ විට ඒ ශ්ලේෂ්මල කළු හෝ දුඹුරු පැහැ ගන්නා බව ඔබට පෙනී යනවා ඇති. ඒ තමයි පෙර කිව් යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රතිඵල.
කොහොම වුණත් ඇත්තටම ඉතා කුඩා අංශු මේ ආරක්ෂක යාන්ත්‍රණ නොතකා ගමන් කරන අතර රුධිරයට ඔක්සිජන් එකතු වන ස්ථානයවන වායුකෝෂ වල ක්‍රියාකාරීත්වයට ද බාධා පමුණුවයි. වාසනාවකට මෙන් මෙම වායු කෝෂ වල සුවිශේෂිත ප්‍රතිශක්ති සෛල තියෙනවා. ඒවා හඳුන්වනු ලබන්නෙ මහාභක්ෂාණු(macrophages) යනුවෙන්. ඒවායේ කාර්යය වෙන්නේ පිටතින් පැමිණෙන යම් ද්‍රව්‍යයක් ඇත්නම් එය ඉවත් කිරීම හෝ විනාශ කිරීමයි. කෙසේවෙතත්, දැව මගින් ඇතිවෙන ඉහල මට්ටමක දුමට දිගින් දිගටම නිරාවරණයවීමෙන් මහාභක්ෂාණුවල ක්‍රියාකාරීත්වය යටපත්කොට පෙනහළු ප්‍රදාහය ඉහල දමීමට මඟ පෑදිය හැකි බව අධ්යයන පෙන්නුම් කරනවා.
කොවිඩ් 19 රෝග ලක්ෂණ සම්බන්ධයෙන් මෙයින් මතු වන අර්ථය කුමක් ද?
දුමට නිරාවරණය වීමේදී එහි ප්රමාණය(මාත්‍රාව), නිරන්තරතාව සහ කොපමණ වේලාවක් ද යන්න වැදගත් වෙනවා. කෙටි කාලීන නිරාවරණය ඇස් වලට මෙන්ම උගුරට උත්කෝපනයක් ඇති කරන්න පුළුවන්. එහෙත් දිගු කාලීනව ලැව්ගිනි දුමට දවස් ගණන් තිස්සේ සති ගණන් තිස්සේ නිරාවරණය වීමත් එසේ නැත්නම් දුම ආශ්වාස කිරීමත් පෙනහලු හානිවීමේ අවදානම වැඩි කිරීමටත් එමෙන්ම හෘත්වාහිනී ප්රශ්න කෙරෙහි දායක වීමටත් ඉඩ තිබෙනවා. දුම් පදාර්ථ මෙන්ම ව්‍යාධිකාරක ඇතුළුව බාහිරින් පැමිණෙන ද්රව්ය ඉවත් කිරීම මහා භක්ෂාණුවල කාර්යය ලෙස සැලකුවොත් දුමට නිරාවරණය වීමත් වෛරස ආසාදනයක අවදානමක් අතර සම්බන්ධයක් දැකිම සාධාරණයි.
මෑතක අධ්‍යයන හඟවන්නේ PM 2.5 ට දිගු කාලීනව නිරාවරණය වීමෙන් කොරෝන වෛරසය වඩා මාරාන්තික කරන බවයි. එක්සත් ජනපදය පුරා සිදුකෙරුණු අධ්‍යයනයකින් පෙනී ගියේ එක්සත් ජනපදයේ ප්රාන්තයක සිට තවත් ප්‍රාන්තයක් අතර PM 2.5 ඉතා සුළු වැඩිවීමක් පවා කොරෝණා මරණ අනුපාත විශාල වශයෙන් වැඩි කිරීමට සම්බන්ධයක් තිබෙන බවයි.
සෞඛ්‍ය සම්පන්නව සිටීම සදහා අපට කළ හැක්කේ කුමක් ද?
මුලින්ම කියන්න ඕනේ අදාල ප්‍රදේශයෙහි වාතයේ ගුණාත්මක භාවය පිළිබඳ තොරතුරු ලබාගන්න ඒ වගේම ක්‍රියාකාරීව පවතින ලැව් ගිනි සම්බන්ධව සහ වඩා යහපත් සෞඛ්‍ය භාවිතයන් ගැන කරන නිර්දේශයන් මොනවාදැයි සොයා බලන්න ඕන වෙන්නේ ප්‍රාදේශීය මූලයන්ගෙන් කියන එකයි. හැකියාවක් තිබේ නම්, අදාල ප්‍රදේශයේ වාතයෙහි ගුණාත්මකභාවය පිළිබඳ අනතුරු හැඟවීමක් තිබෙන විට පිටත ගැවසීමෙන් හෝ ඇඟ වෙහෙසවන කාර්යයන් හී යෙදීමෙන් — අපි කියමුකෝ දිවීම බයිසිකල් පැදීම වැනි ඇඟ වෙහෙසවා කරන කාර්යන්ගෙන් ඈත්ව සිටීම යහපත් බව මතක තබා ගත යුතුය.
තවත් කාරණයක් තමයි සෑම වර්ගයකම මුව ආවරණ, දුමෙහි කුඩා අංශු වලින් ආරක්ෂාවක් ගෙන එන්නේ නැති බව. මේ සන්දර්භය තුළ ගතහොත් දැනට ඇති හොඳම දත්ත පෙන්නුම් කරන්නේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ දී වඩා හොඳ රෙදි මුව ආවරණ යන්නයි. මෙය, ආවරණය පැළඳ සිටිනා අයගේ අවට ඉන්නා අයට විශේෂයෙන් වැදගත් වන නමුත් මුව ආවරණ පැළඳ සිටින්නාට ද එක්තරා දුරකට ආරක්ෂාවක් සපයයි. කෙසේ වෙතත් බොහෝ රෙදි මුව ආවරණ ගින්නෙන් මතුවන දුම් අංශු වළක්වාලීමට සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ N95 වර්ගයේ මුව ආවරණයි. එහෙත් ඒවා තමන්ට නිසියාකාරව ගැලපේද යන්නත් ඒ වාගේම පැළඳීම පිළිබඳ පුහුණුවක් ලබා තිබේද යන්නත් වැදගත්. නිසියාකාරව ගැළපෙන්නේ නැත්නම් N95 මුව ආවරණ වුවද සාර්ථක ප්‍රතිඵල ගෙන එන්නේ නැහැ.
තවත් පිළියමක් ලෙස සැලකෙන්නේ පිරිසිදු අවකාශයක් සහිත ස්ථානයකට ප්‍රජාව එකතු වීමයි. මෙයින් අදහස් කෙරෙන්නේ පිරිසුදු වාතය ඇති විශේෂයෙන්ම වායු සමීකරණය කර ඇති ස්ථානයි. එසේ වුවද ගෝලීය මහා වසංගතයක දී පුද්ගලයින් ඇවුරුණු ස්ථානයක එකට සිටීම වෙනත් සෞඛ්‍ය අවදානම් නිර්මාණය කිරීමට හේතු වන්න පුළුවනි. තමන්ගේ නිවස තුළම වුවද වාය් සමීකරණ යොදාගැනීමෙන් එහෙම නැත්නම් වාත පිරිසිදු කරන උපකරන යොදාගැනීමෙන් එවැනි පිරිසුදු වාතය සහිත පරිසරයක් ගොඩ නගා ගන්න පුළුවන්. පරිසර ආරක්ෂක ඒජන්සිය(Environment Protection Agency) හෙවත් EPA ජනතාවට උපදෙස් දෙන්නේ අභ්‍යන්තර වාතය දූෂණය කරන ඕනෑම දෙයකට දායක වීමෙන් වළකින ලෙසයි. මේවා අතර වැකුම් ක්ලීනර් භාවිතය, ඉටිපන්දම් පත්තු කිරීම, ගෑස් ලිප් පත්තු කිරීම මෙන්ම දුම්පානය ද දැක්විය හැකියි.
The conversation හී පළවූ What’s in that wildfire smoke, and why is it so bad for your lungs? යන ලිපිය ඇසුරෙනි