අඥාත ශක්තිය යනු කුමක් ද?

Posted by

අඥාත ශක්තිය යනු කුමක් ද?

අඥාත ශක්තිය(dark energy) යනු විශ්වයේ වේගවත් ප්‍රසාරණය මෙහෙයවන අද්භූත ‘දෙයට’ භෞතික විද්‍යාඥයන් දී ඇති නමයි. එය, බලයක් හෝ ශක්ති ආකාරයක් විය හැකි අතර, එක් සාක්ෂියක් මගින් යෝජනා කරනු ලබන්නේ එය(අඥාත ශක්තිය) කළු කුහර තුළ සැඟවී ඇති බවයි.

අඥාත ශක්තිය පිළිබඳ ප්‍රමුඛතම පැහැදිලි කිරීම මගින් ඇඟවෙන්නේ එය අවකාශ-කාලයේ ඇතිරිල්ලට ආවේණික වූ සිර වී ඇති ශක්ති වර්ගයක් බවයි. (ඡායාරූප අනුග්‍රහය: Shutterstock)

අඥාත ශක්තිය යනු ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන එමෙන්ම විශ්වයේ ප්‍රසාරණය වේගවත් කිරීම සඳහා වගකිව යුතු අභිරහස් සංසිද්ධියකි. අඥාත ශක්තිය, විශ්වයේ ස්කන්ධ ශක්තියෙන් හතරෙන් තුනක් දක්වා සමන්විත වුවද,  එහි ගබ් වූ ස්වභාවය හඳුනා ගැනීම දශක ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාඥයින්ට  ප්‍රහෙලිකාවක්ව ඇත.  අඥාත ශක්තිය සහ  අඥාත පදාර්ථ යන දෙක අතර අඥාත යන වචනය පොදුවේ  දක්නට ලැබෙනවා හැර ඉන් ඔබ්බට දෙක අතර සැබෑ සම්බන්ධයක් නොමැත. අඥාත යන්නෙන් අදහස් කරන්නේ විද්‍යාඥයන් ඇත්තටම මේ දේවල් මොනවාදැයි නොදන්නා බවයි.

2023 දී විද්‍යාඥයන් කියා සිටියේ  අඥාත ශක්තිය කළු කුහර තුළ ගබඩා කර ඇති ශක්ති වර්ගයකින් පැහැදිලි කළ හැකිය යන්නට  ඔවුන්  සාක්ෂි සොයාගත් බවයි. එය සත්‍ය නම්, එම සොයාගැනීමෙන් අදහස් වන්නේ අඥාත ශක්තිය පැහැදිලි කිරීම සඳහා  වර්තමාන විශ්වයේ අපගේ ආකෘතීන් තුළ අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ සංකල්පයෙන් ඔබ්බට නව බලවේග හෝ ක්ෂේත්‍ර නොමැති බවයි. කෙසේ වෙතත්,  අඥාත ශක්තිය සඳහා පැහැදිලි කිරීමක් ලෙස භෞතික විද්‍යාඥයින් විසින් පුළුල් ලෙස පිළිගැනීමට පෙර නව සොයාගැනීම් තහවුරු කිරීමට පසු විපරම් සොයාගැනීම් අවශ්‍ය වේ

අඥාත ශක්තිය සොයාගත්තේ කවුද?

විශ්වය ප්‍රසාරණය වන බව අවබෝධ කර ගැනීමේ ගෞරවය ඇමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් වෙත පැවරිය හැකි බව පෙණේ. හබල් අභ්‍යවකාශ දුරේක්ෂ වෙබ් අඩවිය දක්වන අන්දමට 1929 දී ඔහු නිරීක්ෂණය කළේ මන්දාකිණියක් පෘථිවියේ සිට ඈතටම පිහිටන තරමට එය වඩා වේගවත්ව අපෙන් ඈත් වන බවයි. අපගේ ග්‍රහලෝකය විශ්වයේ කේන්ද්‍රය බවක් මෙයින් අදහස් වන්නේ නොවේ; නමුත් අභ්‍යවකාශයේ ඇති සෑම දෙයක්ම නියත වේගයකින් අනෙක් සියල්ලෙන් ඉවතට ගමන් කරන බවයි. හබල්ගේ හෙළිදරව්වෙන් වසර 60කට පමණ පසු විද්‍යාඥයෝ තවත් විස්මිත සොයාගැනීමක් කළහ. පර්යේෂකයන් බොහෝ කලක සිට ඈත තාරකාවල ආලෝකය දෙස බලා විශ්වීය දුර මැනීමට උත්සාහ කර ඇත. එකිනෙකින් ස්වාධීන කණ්ඩායම් දෙකක් විසින් 1990 ගණන්වල අගභාගයේදී, දුරඈත සුපර්නෝවා පරීක්ෂා කිරීමෙන් පසු, තාරකා පිපිරුම්වල ආලෝකය බලාපොරොත්තු වූවාට වඩා අඩු බව සොයා ගන්නා ලදී. මෙයින් පෙන්නුම් කරන්නේ විශ්වය ප්‍රසාරණය වනවා පමණක් නොව, එහි ප්‍රසාරණය වේගවත් වන බවත්ය. එම සොයාගැනීම, සොයා ගත් අයට 2011 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි කර ගැනීමට මග පෑදූ අතර, එතැන් සිට භෞතික විද්‍යාඥයින්ට තව දුරටත් දැඩිව කල්පනා කිරීමට තුඩු දුන්නේය. මහා පිපිරුමේ සිට වර්තමානයේ මහා පරිමාණ මන්දාකිණි ව්‍යුහය දක්වා සියල්ල පැහැදිලි කරනු වස් විශ්වයේ ආකෘති ගොඩනැගීමට ඔවුහු, සංසිද්ධිය පිළිබඳ ඔවුන්ගේ දැනුම භාවිතා කළහ.  මෙම ආකෘතිවලින් සමහරක් පුරෝකථනය කරන්නේ දැන් සිට වසර බිලියන ගණනකට පසුව පවතින සෑම දෙයක්ම අඥාත ශක්තිය මගින් දරුණු ලෙස විනාශ කර දමනු ඇත යනුවෙනි.

 අඥාත ශක්තිය පිළිබඳ ප්‍රමුඛතම පැහැදිලි කිරීම මගින් ඇඟවෙන්නේ එය අවකාශ-කාලයේ ඇතිරිල්ලට ආවේණික වූ සිර වී ඇති ශක්ති වර්ගයක් බවයි. “මෙම සරල ආකෘතිය ප්‍රායෝගිකව ඉතා හොඳින් ක්‍රියාත්මක වන අතර එය ගුරුත්වාකර්ෂණ නියමය වෙනස් කිරීමකින් තොරව විශ්ව විද්‍යාත්මක ආකෘතියට සෘජු එකතු කිරීමකි”, එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ ගණිත භෞතික විද්‍යාඥයෙකු වන Baojiu Li,  Live Science වෙත ප්‍රකාශ කර ඇත. එහෙත් මෙම  අදහසෙහි එක් ප්‍රධාන ගැටලුවක් පවතී: භෞතික විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ රික්තකයේ ශක්තියේ අගය, විශ්ව විද්‍යාඥයින්(cosmologists) මිනුම්වල දී නිරීක්ෂණය කරන ප්‍රමාණයට වඩා දහයේ බල 120ක් වැඩි විය යුතු බවයි.

මෙම රූප සටහන මගින් අනාවරණය kerei. වක්‍රය නොගැඹුරු වන තරමට ප්‍රසාරණ වේගය වේගවත් වේ. මීට වසර බිලියන 7.5 කට පමණ පෙර විශ්වයේ වස්තූන් වේගයෙන් වේගයෙන් පියාසර කිරීමට පටන් ගත් විට වක්‍රය කැපී පෙනෙන ලෙස වෙනස් විය. මන්දාකිණි වෙන් කර දමන අද්භූත අඥාත බලයක් නිසා වේගවත් ප්‍රසාරණයට තවත් වේගයක් ඇති බවට තාරකා විද්‍යාඥයන් න්‍යාය කරති.Credi: NASA/STSci/Ann Feild

2023 පෙබරවාරියේදී, විද්‍යාඥයන් විසින් මෙම කොස්මික් දැවැන්තයන් පුරෝකථනය කළාට වඩා වේගයෙන් වර්ධනය වන බව පෙන්වීමට පුරාණ සහ අක්‍රිය කළු කුහර වලින් මිනුම් භාවිතා කරන ලදී. සොයාගැනීම්වලින් පෙනී යන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාද රාමුව ඇතුළත විශ්වයේ ප්‍රසාරණය පැහැදිලි කළ හැකි අවකාශ-කාලයේ ඇතිරිල්ලට ​​ආවේණික වූ රික්ත ශක්තියක් කළු කුහරවල අඩංගු වන බවයි. නව සොයා ගැනීම සනාථ් වුවහොත්, එයින් අදහස් වන්නේ අඳුරු ශක්තිය පැහැදිලි කිරීමට අළුත් භෞතික විද්‍යාවක් අවශ්‍ය නොවන බවයි. ඔවුන්ගේ සොයාගැනීම් The Astrophysical Journal සහ The Astrophysical Journal Letters යන සඟරාවල පර්යේෂණ පත්‍රිකා දෙකක ප්‍රකාශයට පත්විය. විකල්ප අදහසක් මගින් ප්‍රකාශ කරනු ලබන්නේ අඳුරු ශක්තිය යනු අප දැනටත් දන්නා බල හතර (ගුරුත්වාකර්ෂණය, විද්‍යුත් චුම්භකත්වය සහ ප්‍රබල සහ දුර්වල න්‍යෂ්ටික බල) හා සම්බන්ධ වන අතිරේක මූලික බලයක් බවයි. එහෙත් අපගේ එදිනෙදා ජීවිතයේදී මිනිසුන්ට  මෙම අතිරේක බලය නොපෙනෙන්නේ මන්දැයි මෙම අනුමානය මගින් පැහැදිලි නොකරේ. ඉතින්, න්‍යායවාදීන් මෙම අද්භූත බලය යම් ආකාරයකින් සැඟවී පවතින බව යෝජනා කරන නිර්මාණාත්මක ආකෘති ද ගොඩනගා ඇත. අඥාත ශක්තියේ මනින ලද අගය, භෞතික විද්‍යාවේ ප්‍රතිමල්ලව කණ්ඩායම් අතර දැඩි විවාදයකට තුඩු දී ඇති මාතෘකාව බවට පත්ව තිබේ. සමහර පර්යේෂකයන් මහා පිපිරුමේ අඳුරු දෝංකාරයක් වන කොස්මික් ක්ෂුද්‍ර තරංග පසුබිම( cosmic microwave background) භාවිතයෙන් අඥාත ශක්තියේ බලය මැන බලා එක් ඇස්තමේන්තුවක් සකසා ඇත. කෙසේවෙතත්, ඈත විශ්වීය වස්තූන්ගේ ආලෝකය භාවිතා කරමින් අඥාත ශක්තියේ ප්‍රබලතාව මනින අනෙකුත් තාරකා විද්‍යාඥයින් වෙනස් අගයක් නිපදවා ඇති අතර විෂමතාව පැහැදිලි කිරීමට කිසිවෙකුට තවමත් නොහැකි වී තිබේ. සමහර විද්වතුන් යෝජනා කර ඇත්තේ අඥාත ශක්තියේ බලය  කාලයත් සමඟ වෙනස්වෙන බවයි. එහෙත්, එම අදහසේ යෝජකයන්ට මෙම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සමපදස්ථයන්(peers)  බහුතරයකට ඒත්තු ගැන්වීමක් කිරීමට තවමත් නොහැකි වී ඇත. වසර බිලියන 15 කට පෙර විශ්වයේ උපතේ සිට ප්‍රසාරණ වේගයේ වෙනස්වීම්

Live Science හී පළවන What Is dark energy? යන ලිපිය ඇසුරෙනි  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.