සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගුරුත්වාකර්ෂණ තරංග සුපිරි දැවැන්ත කළු කුහරයක් ඈතට පලවා හරියි

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන අටක් දුරින් පිහිටි 3C186 මන්දාකිණිය හෙවත් ගැලැක්සිය  සැලකෙන්නේ  මන්දාකිණි දෙකක ඝට්ටනයක ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම ගැලැක්සි මධ්‍යයෙහි පිහිටා තිබූ අති දැවැන්ත කළු කුහර දෙක ද එකට එක්වී (සංයෝග වී) ඇති බවක් පෙනී යන අතර දෙක එකතුවෙන් තනි සුපිරි දැවැන්ත කළු කුහරයක් නිර්මාණය වීය. සංයෝගය නිසා හටගත් ගුරුත්වාකර්ෂණ තරංග ස්පන්දනයක් මගින්,  මේ සුපිරි දැවැන්ත කළු කුහරය ඉවතට නෙරපා දමා ඇත.

මෙසේ නිර්මිත නව සුපිරි දැවැන්ත කළු කුහරය දැනටමත් එහි මන්දාකිණි හරයේ සිට ආලෝක වර්ෂ 35,000 ක් ඈතට ගොස් ඇතැයි නව අධ්‍යයනයකින් කියැවේ. මේ දුර අපේ පෘථිවිය සහ සූර්යයාගේ සිට  අපේ ක්ෂීරපථ මන්දාකිණියේ හරය දක්වා ඇති දුරට වඩා වැඩියි. තවද මේ දැවැන්තයා පැයට කිලෝමීටර මිලියන 7.6 ක (පැ.හැ.මිලියන 4.7 ක) වේගයකින් ගමන් කරන අතර වසර මිලියන 20 කදී සිය ගැලැක්සියෙන් සම්පූර්ණයෙන් ම ගැලවී යාමට මේ කළු කුහරයට හැකි වෙතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘‘අපි ගණන් බලා ඇති අන්දමට මේ නව කළු කුහරය ගැලැක්සියෙන් ඉවතට විසිවීම පිණිස අධිනව තාරාවන් හෙවත් සුපර්නෝවා මිලියන 100 ක් එකවර ස්පෝටනය වීමට අවශ්‍ය බලයක් යෙදවෙන්න ඇති’’ අධ්‍යයනයේ සම කර්තෘ,  ඉතාලියේ රෝමා ටේ‍්‍ර විශ්ව විද්‍යාලයේ  ස්ටෙෆානෝ බියන්චි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. (තාරකාවක අභ්‍යන්තර හරයේ ක‍්‍රියාත්මක වන බලයන් හි අස්ථාවරත්වය නිසා ඇතිවන අසමතුලිත තත්ත්වය හේතු කොට ගෙන හරයේ  ස්පෝටනයවන තරු, අධි නව තාරාවන් හෙවත් සුපර්නෝවා ලෙස හැඳින්වේ)

3C186 මන්දාකිණිය අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂක කණ්ඩායම විසින් යොදා ගනු ලැබුවේ නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයයි. මෙම ගැලැක්සිය ඇතුළත පිහිටි ක්වොසාරයක්(quasar)  හබල් අනුරූප මගින් හෙළි කෙරිණ. (අති දැවැන්ත කළු කුහරයක ඇදහිය නොහැකි තරම් ප‍්‍රභා ශක්තියෙහි ලකූණක් වන ක්වොසාර්වල පරස්පර විරෝධී ගුණ නිසා ව්‍යාජ තාරීය වස්තුව (Quasi-stellar object) යන නම ඊට යෙදේ. ක්වොසාර(Quasar) යන්න සෑදී ඇත්තේ Quasi-stellar යන්න කෙටි කර ගැනීමෙනි)

Image result for quasar

ඉහත දැක්වූ හබල් අනුරූප හෙළිකිරීම,  පුදුමය එළවන්නක් නොවේ. මන්ද, මන්දාකිණි සියල්ලෙහිම නැතොත්  මන්දාකිණි බහුතරයෙහි හරයන් තුළ සුපිරි දැවැන්ත කළු කුහර ඇති හෙයිනි.  එහෙත්3C186 හි  ක්වොසාරය ඇත්තේ ගැලැක්සි හරයෙහි නොවේ. ඇත්තටම මෙතෙක් නිරීක්ෂණය කරනු ලැබූ එවන් කිසිම කළු කුහරයක නොමැති ආකාරයට එය මන්දාකිණි මධ්‍යයෙන් දුරස්ථව පිහිටා තිබේ.

ඉතින් මේ අද්භූත වස්තුව වල්වැදුනේ ඇයි? 3C186 මන්දාකිණිය සතුව උදම් වලිග (tidal tails) යනුවෙන් දැක්වෙන චාපාකාර අංග ඇති බවද හබල් අනුරූප වලින් හෙළිවිය. ගැලැක්සී දෙක සංයෝග වීමේ දී ගුරුත්වාකර්ෂණ බලයන් මගින් උදම් වලිග ජනනය වෙයි. මෙම නිරීක්ෂණය සහ සෛදාන්තික කාරණා පදනම් කර ගනිමින් මේ අධ්‍යයනය පළ කරන්නේ ගැලැක්සි දෙක එකට එක ඝට්ටනය වීමත් සමගම සියල්ල ආරම්භ වන්නට ඇති බවයි. වසර බිලියන 1 කට හෝ 2 කට කලින් සිදු වූ ගැලැක්සි දෙකෙහි කළු කුහර ඝට්ටනය පටන් ගන්නා අවස්ථාවේ ඒවා,  එන්ට එන්ටම එකිනෙකට ආසන්න වෙමින් කැරකෙන්නට පටන් ගත්තේය. මෙය සිදු වෙද්දී, කළු කුහර ගුරුත්වාකර්ෂණ තරංග විමෝචනය කරන්නට විය.(අවකාශ-කාල ඇතිරිල්ලේ රැළිති ගැන මුල්වරට කියා සිටියේ ඇල්බට් අයින්ස්ටයින් මීට වසර සියයකට පෙරය. LIGO ලිගෝ හෙවත් Laser Interferometer Gravitational-Wave Observatory  ව්‍යාපෘතිය මගින් ගුරුත්වාකර්ෂණ තරංගපසුගිය වසරේ ප‍්‍රථම වරට සෘජුව හෙළි කර ගන්නා ලදී. (මේ හෙළිකර ගැනීම පිළිබඳ තතු වාර්තාවක් 2016 පෙබරවාරි 17 තතු හි පලවිය. මෙතැන ක්ලික් කර එය කියවන්න)

Related image

මේ සම්බන්ධයෙන් කියැවෙන්නේ මෙකී ගුරුත්වාකර්ෂණ තරංග වරණීය වශයෙන් එක් දිශාවකට විමෝචනය වන බවයි. ගැලැක්සි මධ්‍යයෙහි කළු කුහර දෙක අවසානයේ එකට එක් වූ පසු (සංයෝග වූ පසු) මෙම විමෝචන ඇන සිටි අතර අළුතෙන් බිහි වූ සුපිරි දැවැන්තයා විරුද්ධ දිශාවට වේගයෙන් පියඹා ගියේය. ‘‘අපේ න්‍යාය නිවැරදි නම් සුපිරි දැවැන්ත කළු කුහර වලට සංයෝග වීමට ඇත්තටම හැකි බවට ප‍්‍රබල සාක්ෂි තිබෙනවා.’’ බියන්චි නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ. ‘‘තාරකා  ස්කන්ධයක් සහිත(stellar-mass) කළු කුහර ඝට්ටන පිලිබඳ සාක්ෂි දැනටමත් තිබෙනවා. එහෙම වුණාට සුපිරි දැවැන්ත කළු කුහර නියාමනය  කිරීමේ ක‍්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන අතර තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැහැ.’’

ස්ලෝන ඩිජිටල් අහස් සමීක්ෂණයේ සහ නාසා ආයතනයේ චන්ද්‍ර-X කිරණ නිරීක්ෂණාගාරයේ දත්ත සංයෝජනය කරමින් සම්පාදනය කළ මෙම නව අධ්‍යයන වාර්තාව Astronomy & Astrophysics සඟරාවේ පළවේ.

Scientific American හි පළවූ Gravitational Waves Send Supermassive Black Hole Flying යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: