ගෝලීය වසංගතය අනාගතයේ අප ජීවත්වන විදිහ වෙනස් කරයි ද?

Posted by

ගෝලීය මහා විපත්තිය පසුපස විශාල පරිමාණයේ සමාජීය හා චර්යාමය වෙනස්කම් හඹා එනු ඇත. මේවායින් සමහරක් දැනටමත් පුරෝකතනය කළ හැකිය.

කොරෝනා ගෝලීය වසංගතයෙන් සුනාමි සමාන බලපෑම අපගේ පූර්ව දර්ශනය අඳුරු කරන ස්වභාවයක් ගනියි. මේ මොහොත ගතහොත් ලබන වසරේවත් නොව ලබන සතියවෙන විට වත් අපේ ලෝකය කෙබඳු වේ ද යන්න අපට පුරෝකතනය කළ නොහැකි තත්ත්වයක පවතී. එහෙත් චර්යාමය විද්‍යාව සහ ඉතිහාසයේ පුළුල් හස්තය අපට හඟවන්නේ කොවිඩ් 19 දිග කාලයකදී අපගේ ජීවිත පරිවර්තනය කරනු ඇති බවයි.

දැනටමත් දැකිය හැකි විපර්යාසයන් — මේවායින් සමහරක් පුරෝකතනය කළ හැකි අතර සමහරක් තවමත් අවබෝධ කර ගැනීමට අසීරුය —  ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟම ඉස්මත්තට ආයේය. ජනතා චර්යා රටාවේ සැලකිය යුතු විතැන්වීම් කොරෝනා වෛරසය මගින් නිර්මානය කරනු ලැබ ඇතැයි දකුණුදිග කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දැනට පවත්වාගෙන යනු ලබන අධ්‍යයනයක (මාර්තුවේ පලකල) පළමු වටයේ ප්‍රතිඵල වාර්තා කරයි. අධ්‍යයනයේ සොයාගැනීම් අතර ජනතාවගේ 85% ක් වෙනදාට වඩා වැඩියෙන් අත් සේදීමට හෝ සැනිටයිසර් භාවිතයට පෙළඹීම, සියයට 61 එකක් සමාජ දුරස්ථභාවය සඳහා වූ මාර්ගෝපදේශ පිළිපැදීම සහ 22% ආහාර හෝ ජලය වැනි අත්‍යවශ්‍ය දෑඑක්රැස්කර ගැනීම දැක්වේ.

මේ හා සමාන චර්යාමය විපර්යාසයන් එක්තරා දුරකට භීතිය මගින් මෙහෙයවනු ලබනවා විය හැකියැයි යේල් වෛද්‍ය විද්‍යාලයේ සෞඛ්‍ය මනෝ විද්‍යාඥ වැලරියා මාටිනෙස්-කයිගි පෙන්වාදෙයි. ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි. තමන්ගේ රැකියා අහිමිවී යාම හෝ වෛරසය ආසාදනය ය වීමට ඇති හැකියාව ගැන බියෙන් අධ්‍යනයට සම්බන්ධ වූ ස්වේච්ඡා දායකයන් විශාල පිරිසක්  ඊට මුහුණ දීමට සූදානමින් පසු වෙතැයි වාර්තා විය. එහෙත් බියෙන් මෙහෙයවනු ලබන චර්යාමය වෙනස්වීම් කල් නොපවතින බව ඇය කියයි. කොරෝනා වෛරසයේ ආරම්භක තර්ජනය පහව ගියාට පසුව අලුතෙන් ඇතිකරගත් හුරුපුරුදු චර්යාවන් ක්‍රම ක්‍රමයෙන් හීන වී යනු ඇති බවයි ඇයගේ අදහස. එහෙත් ඒවා මුළුමනින්ම  අතුරුදන් වී නොයයි . දැඩි අසහනකාරී, ව්‍යාසනකාරී අත්දැකීම් වලට මුහුණ පා ඉන් ගොඩ එන්නාවූ පුද්ගලයන් වරක් තමා අසහනයට පත් කළ ඒ ආකාරයේ අවස්ථා හා සිදුවීම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින අතර වර්තමානයේ මාරාන්තික  කොරෝනා අනතුරට මුහුණ දී සිටින ජනතාව අනාගතයේ දී එවැන්නක් හමුවේ මේ චර්යා ප්‍රයෝජනයට ගැනීමට පෙළඹෙනු ඇත.

 

අතීතයෙන් උගත් පාඩම්

1918 ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතයේ දී එක්සත් ජනපදය තුළ 675,000 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. එහෙත් එම ව්‍යසනය මගින්  සමාජය තුළ යහපත් ස්වස්ථතා හුරුපුරුදු ස්ථාපිත කිරීමට සමත් විණ. වසංගතයට පසුව ගෙවුණු කාලයේදී දුම්රිය ස්ථාන වැනි තැන් වල “කෙල ගැසීම නීතිවිරෝධීයි“ යන පණිවිඩය සහිත දැන්වීම් පුවරු මතුවන්නට විය. කහින විට මුව වසා ගැනීම ආචාරශීලී සාමාන්‍ය පුරුද්ද බවට පත්විය. එය කලින් අසා වත් නොතිබූ පුරුද්දකි. කොරෝනා වෛරසය හමුවේ අප අනුගමනය කිරීම ඇරඹූ ඇතැම් චර්යාවන් අප අතරේ රැඳී පවතිනු ඇතැයි බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියේ චර්යා විද්‍යාඥ ‍කේට් වයිට් පෙන්වා දෙයි. “මතුපිටවල් විසබීජහරණයට අප ඇතිකරගත් පුරුද්ද නම් අප අතරේ දිගටම තියේවි“ ඇය කියයි. දෙදෙනකු මුණ ගැසුණු විට අතට දීම වෙනුවට අළුතින් පටන් ගත් පුරුදුත් එලෙසමයි. “රැස්වීමක් කැඳෙව්වහම සමහරු අහනවා ඇවිල්ල එකතැන එකට ඉඳගෙනම රැස්වෙන්න ඕනද කියලා. ඕව ඉස්සර ඇසූ ප්‍රශ්න නෙමෙයි.“ වයිට් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මහා වසංගතයක් හෝ වෙනත් විශාල ව්‍යසනයකින් පසුව කලක් යනතුරු පවතින අදහස වන්නේ ලෝකයේ මූලික වශයෙන් භාවිකථනයකළ (කලින් කිව නොහැකි)  නොහැකිය යන්නයි. ජීවිතය පෙර තිබුණාට වඩා අවිනිශ්චිත යන හැඟීමයි. චර්යා විද්‍යාඥයන් හා ආර්ථික විද්‍යාඥයන් අතර ජනප්‍රිය “පෙරික්සුම් සිද්ධාන්තයෙන් (prospect theory) කියවෙන්නේ තීරණය ගැනීමේදී අප වාසි වලට වඩා සිදුවිය හැකිය පාඩු ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවත් සහ යම් රෝගයකින් මිය යාම වැනි සිදු නොවන්නට ඉඩ තිබෙන අවස්ථා හුවා දක්වන බවත්ය. විපත්තියකින් පසුව නොවැළැක්විය හැකිව ඇතිවන තර්ජන පිළිබඳ අනියත බිය සමහරුන් අතරේ විශාලනය වී දැක්වේ.“සමහරු ඇතැම් සමාජමය අවස්ථාවන්වලට සහභාගී වී සිටීමෙන් වලකින්න පුලුවන්. සමහරක්දෙනා තවදුරටත් බසයෙන් ගමන් නොකර ඉන්න හිත හදාගන්න පුළුවන්.“ වයිට් කියයි.

ප්‍රමුඛතා වෙනස් කිරීම

දෙමං පාදන මේ ආකාර සිද්ධිවලින්, රජය  මහජන සෞඛ්‍යය ගැටලු විසඳීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුත්තී කුමණ ක්‍රියා මාර්ගද යන්න ගැන පුළුල් ආකල්ප  ප්‍රතිසංස්ථාපනයට හෙවත් නැවත යොමු කිරීමට මග පාදන්නට පුළුවනි. “අප අලුතෙන් අත්පත් කරගත් අන්න්‍යෝන්‍ය රැඳියාව,  වඩාත් සහයෝගශීලී සමාජ ආරක්ෂණ ජාලයක් ඉල්ලා සිටීමට අප මෙහෙය වන්නට ඉඩ ඇතැ” යි  කෝනෙල් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාඥ සූශාන් මෙට්ලර් පවසයි. වැඩි පිරිසක් වෙනුවෙන් විශ්ව සෞඛ්‍ය‍ය සත්කාරක පද්ධතියක් යනු කඩිනමින් අවශ්‍යතාවයක් බවයි ඇයගේ අදහස.

අතීත ගෝලීය වසංගත වලින් පසුව ද ආණ්ඩු මේ ආකාරයෙන්  පිළිවෙත් වෙනස් කිරීමට පෙළඹී ඇති බව මෙට්ලර් පෙන්වා දෙන්නීය. කෙසේ වෙතත් මෑත වසංගතයේදී පවා, වසර ගණනාවක් මුළුල්ලේ ඇමරිකානු සමාජය බෙදා වෙන්කරන   ධ්‍රැවීකරණයෙන් සහ අවිශ්වාසයන් පහ කිරීමට අපහසු වන ප්‍රවණතාවක් ඇති බව ඇය පෙන්වා දෙයි. එසේ වුව ද, වසංගතයකින් පසුව සහයෝගීතාව ගොඩ නැගීමේ විභවයක් ඇති බවත් සියල්ලෝම එකටම ක්‍රියා කළොත් අපට බොහෝ විශාල වෙනස්කම් ඇතිකර ගැනීමට හැකි” බවත් මතිමතාන්තර වශයෙන් ජනතාව තේරුම් ගනිමින් සිටිනවා”.

 

DISCOVER ඩිජිටල් සඟරාවෙහී පළ වූ How The COVID-19 Pandemic Will Change the Way We Live යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.